හැප්පිලා බලමුද?

 ඡායාරූපය:

හැප්පිලා බලමුද?

රජ මාළිගාවේ මුළුතැන්ගෙයි රාක්කයේ එකිනෙකට යාබදව කෝප්ප දෙකක් තිබුණා. එකක් යකඩින් තැනූ ඔපය වැටුණු කෝප්පයක්. අනෙක මැටියෙන් තනන ලද කැටයම් යෙදුවක්. මැටි කෝප්පය බැලූ බැල්මට හිත ඇදෙන පෙනුමකින් යුක්තයි. යකඩ කෝප්පයට යම් ඉරිසියාවක් ඇති වුණා. එය දිගටම හිර කරගෙන ඉන්න අමාරු වුණා. දවසක් එයා මැටි කෝප්පයට අභියෝගයක් කළා.

"උඹට බැහැ මා එක්ක හැප්පිලා දිනන්නට"

"සහතික ඇත්තයි ඒක. ඔබ හරි ශක්තිමත් අනෙක ඇයි අපි රණ්ඩු කරගන්නේ" මැටි කෝප්පය තම නිවුණු ස්වරයෙන් කිව්වා.

"උඹ මාන්නෙන් ඉදිමිලා ඉන්නේ, හිතුවද හැමතිස්සෙම උස්සන් ගියාට රජපවුලේ හයිය ලැබෙනවා කියලා" යකඩ බඳුනට තවත් තරහයි.

"මේ බලන්න මිත්‍රයා, අපි දෙන්නම කරන්නේ එකම කාර්යය. මොනවහරි පුරවන දෙයක් නොහලා තියාගන්න එක. අනෙක කවුරු පාවිච්චි කළත් මට එහෙම වෙනසක් නැහැ." මැටි බඳුන එහෙත් නිහඬව උන්නේ නැත.

"උඹ මහ බියගුල්ලෙක්, ඇයි ඈතට දුවන්නේ?" රාක්කයේ ටිකක් එහාට වෙන මැටි කෝප්පයට ආයේම චෝදනාවක්.

"මේ බලන්, ඇයි අපි රණ්ඩුකරගන්නේ? අපි දෙන්නම එක සමානයි. එහෙම වෙනසක් නැහැ." තමන් දිහාවට තර්ජනය කරමින් එන යකඩ බඳුනෙන් මඳක් ඈතට වෙමින් මැටි බඳුන කිව්වා.

"මේ බලපන් මෝඩයා, අපි දෙන්නා සමාන වෙන්නේ නැහැ. බලපන් මන් කොයිතරම් ශක්තිමත්ද කියලා. උඹ නිකන්ම කුඩු පට්ටම් කරලා දාන්න පුළුවන්. බලාපන් ළඟදිම උඹට වෙන දේ" යකඩ බඳුන යටිගිරියෙන් මොරදෙමින් කිව්වා.

"මේ බලන්න මිත්‍රයා, අපි දෙන්නා අරගල කරලා වැඩක් නැහැ. අපි දෙන්නා සමගියෙන් ඉඳිමු. "මැටි බඳුන මිත්‍රත්වයේ දෑත දිගුකරමින් කිව්වා.

එහෙත් යකඩ බඳුනට ඉවසීමක් තිබුණේ නැහැ. ටිකෙන් ටික මැටි බඳුන රාක්කයේ අයිනට තල්ලුකරන්න එය උත්සාහ දරමින් හිටියා.

මැටි බඳුනත් අසීරුවෙන් රාක්කයේ ඉඩක එල්ලිලා වගේ ඉන්නේ. තව මොහොතකින් තමන් බිමට වැටෙන බවත් ඉන් පස්සේ සියල්ල අහවර වෙනවා කියන එකත් එයාට වැටහුණා.කොහොම කිව්වත් යකඩ බඳුනේ අදහස වෙනස් නොවෙන නිසා මැටි බඳුන නිහඬව තමාගේ දෑස් පියාගෙන නිසොල්මනේ අවසන් ඉරණම අපේක්ෂාවෙන් හිටියා.

එකපාරටම තමන් පාවෙලා යනවා වගේ දැනුණා. තව මොහොතකින් සියල්ල අවසානයි. මොහොතින් මොහොත ගතවුණා. තමන්ගේ පතුල මතුපිටක් මත ගැටෙනු දැනුණු ඔහු ඇස් ඇර බැලුවා.

"සේවිකාව, මේ බඳුන් තබද්දි මෙයට වඩා සැලකිල්ලෙන් කරන්න. බලන්න තව මොහොතකින් මෙය බිම වැටෙන්නට තිබුණා" කිසිවකු එසේ කියනු මැටි බඳුනට ඇසුණා.

හරි පුදුමයි. අවසන් මොහොතේ තමාව බේරාගන්න මුළුතැන්ගෙයි පාලිකාව සමත්වෙලා. පහළ රාක්කයක සුරක්ෂිතවයි දැන් රඳවලා තියෙන්නේ. යන්තමින් ගැලවුණා කියලා මැටි බඳුන සැනසුම් සුසුමක් හෙළුවා. යකඩ බඳුනටත් ඉන්පස්සේ කරන්න දෙයක් නැතුව තරහෙන් පුපුරමින් හිටියා.

කාලයක් තිස්සෙම මැටි බඳුනේ නවාතැන වෙලා තිබ්බේ ඉහළ රාක්කෙ වුණාට එදා ඉඳන් පහළ රාක්කේ ඉඩක් වෙන් වුණා.

කාලය හරි ඉක්මනින් ගතවුණා. කාලයේ වැලිතලාවන් මතින් රජ පෙළපත විනාශ වෙලා ගිහින් නටබුන් මාලිගාවත් පොළෙවේ වැළලී ගියා.

ශතවර්ෂ ගණනාවකට පස්සේ පුරාවිද්‍ය කැණීම් කණ්ඩායමක් මේ ප්‍රදේශයේ කැණීම් කටයුත්තක් කරමින් සිටියා.එම කණ්ඩායමේ අයෙක් යමක් කැණීම් අතරින් පාදාගෙන.

"බලන්න, මෙතන යමක් තියෙන හැඩයි"

කණ්ඩායම එකතුවෙලා උනන්දුවෙන් බලාගෙන හිටියා. ඔව්! එතනින් මතුකරගෙන තිබුණේ මැටි බඳුනක්. කැටයම් සහිත බඳුන පිසදාගෙන ඔපය ලැබෙනකොට පිරිසට හරි ප්‍රීතියක්.

"බලන්න එය හරි අපූරුයි. මෙය නම් හරිම වටිනා එකක්" කණ්ඩායමේ අයෙක් කිව්වා.

"මෙය බොහෝවිට මුළුතැන්ගෙයක් විය හැකියි. බලන්න තව යමක් ඇති." ප්‍රධානියා කැණීම් කණ්ඩායම දිරිමත් කළා.

මැටි බඳුන තමන් කාලෙකට පස්සේ අව් රැල්ලක පහස විඳිමින් සිටියා. එයට යමක් එක්වරම සිහිපත්වුණා.

"කෝ මගේ මිත්‍රයා, යකඩ බඳුන"

මැටි බඳුන අවධානයෙන් කැණීම දෙස බලාගෙන උන්නා. තමන් හිටිය තැන ඉඳන් කොතනද එයා ඉන්න ඕන කියලා එයා හොඳටම දන්නවා.

කැණීම් කණ්ඩායම යකඩ බඳුන: ඔව් ඒ ආඩම්බරකාර බඳුන තිබුණ තැන කණිමින් සිටියා. කනගාටුයි එතැන ඉතිරිවෙලා තිබ්බේ කළු පාටට ඉතිරිවෙච්ච මලකඩ ශේෂයක් විතරයි.

ඇත්තටම තමන් දුබලයෙක් නොවුණ බව මැටි බඳුන වටහාගත්තා. ශක්තිය කියන දෙය කොයි මොහොතක නැතිවෙලා දුබලයෙක් වෙන්න වෙයිද කියලා මැටි බඳුන හිතන්නට පටන් ගත්තා. දුබලයන් කියා කෙනෙක් අවමානයට ලක්කිරීමෙන් වැළකිලා තමන් සතු කාර්ය නිවැරදිව කරගෙන ඉන්න එකයි වටින්නේ යැයි තමන් කියූ වදන් සිහිපත් කරගෙන මැටි බඳුන වැදගත් පාඩමක් අවබෝධ කරගත්තා.

ඉතින් දිනුම් කණුව කියවන නිරන්තරයෙන් එය ගැන විමසන මිතුරනි, අප අද දවසේ දුබලයකු ලෙස සලකන කෙනෙක්, වඩා ශක්තිවන්තයෙක් විය හැකියි. කිසිම විටෙක කෙනකු කිසිවෙක් අවතක්සේරු නොකරන්න. හැම කෙනකු තුළම යම් ශක්තියක් ගබඩා වී තිබෙනවා. ඉන් වැඩගන්න හැකිනම් ඔබ විශිෂ්ටයකු ලෙස එසවී පෙනෙනු ඇත.

[මේනක මදුජිත්]

මාතෘකා