පිස්සෙක් !

 ඡායාරූපය:

පිස්සෙක් !

“ඔයාට වයස විසිහතයි"

වාට්ටුවට ඇතුළු වද්දීම උස් හඬින් එසේ ඇසෙද්දී මම තිගැස්සීමි. රෝගීන් පරීක්ෂා කරන මේසයේ සිටියේ හිතවත් වෛද්‍යවරයාත් නාඳුනන රෝගියකුත් පමණයි.

“හරිනේ මං කිව්වා” ඔහු තවමත් බුලත් කහට බැඳි දත් දෙපළ විලිස්සාගෙන සිනාසෙයි.

“හරි නේ! හරියටම හරි” මම කීවේ හිතවත් වෛද්‍ය සගයාගෙන් මේ කවුදැයි මුහුණේ අභිනයෙන් ඇස්වලින් විමසමිනි.

“ ඔයා බැඳලා නෑ !”

ඔහු නැවතත් කීවේය.

එවෙලේ නම් තිගැස්මක් ඇතිවිය. විවිධ වූ මනෝමූලික රෝගාබාධවලින් සිත් පෙලාගත් මිනිසුන් සහ ගැහැනුන් බොහෝ අය මට මෙහිදී මුණ ගැසිණ. කඩවර දෙවියන්ගෙන් වරම් ගත් අය, පත්තිනි අම්මාගේ වරමින් සුබ සෙත සාදන ආත්තම්මෙක්, සූනියම් අප්පච්චී කෙනෙක් සහ මහසෝනා ආදී නොයෙක් ආවේශයන් සමඟ ඇඳන් මතින් පනිමින් දුවමින් හිසකෙස් අහුරු අහුරු ඇද කඩා දමමින් දත කට පූට්ටු කරගත් අයද වරින් වර මෙහි පැමිණේ.

“හනේ ඇත්තනේ " මම සිනහ නඟමින් එදෙසට ගියෙමි.

“ඒකනේ... ඔයා මොනවද දන්නේ... මෙන්න මේ ඩොක්ටර්ට තේරෙනව මගේ බලේ” කියමින් ඔහුද මවෙත හැරුණේය.

“ඒ පාර ඔයත් පටන් ගත්තද නංගී? මට එක පේෂන්ට් කෙනෙක් ඇති. එයාව තව අවුස්සන්න එපා” කියමින් සහෝදර වෛද්‍යවරයා දොස් නඟන්නට විය.

ඔහු විටෙක සිනහ නඟමින්ද විටක තොරතෝංචියක් නැතිව කියවමින්ද සිටි අතර නගරයේ තැන තැන ඇවිදිමින් කියවමින් කුණු කරත්ත හෝ කුණු ගොඩවල් අවුස්සමින් සිටි නිසා පොලිසිය විසින් ඔහු රෝහල්ගත කර තිබිණ.

මෙවැන්නෝ නගරයේ තැන තැන කොතකුත් දකින්නට ලැබේ. එක්කෝ ඔවුන්ගේම ලෝකයක සිටින අතරමඟ යන එන මිනිසුන් ගැන වගක් නොකර සිටී. තවත් සමහරුන්ගේ මනෝ ව්‍යාකූල භාවය අවට ඇවිද යන එන්නන් වෙතටද පිටකරයි. බොහෝ නොසරුප් වදන් දොඩමින් මහමඟ යන එන මිනිසුන්ට බැණ වදී. තම අඟ පසඟ පෙන්වයි. ඊටත් දරුණු වී ගහන්නට එළවාගෙන දිව එති.

අප කුඩා කල ජීවත් වූ මහල් නිවාස සංකීර්ණය අසල මහාමාර්ගයේද මෙවැන්නකු සිටි බව මතකයට නැඟේ. කකුලේ තිබුණු විශාල තුවාලය රෙදි කැබැලිවලින් බැඳගෙන පාරේ යන එන මිනිසුන් හට නොයෙක් දෑ කියමින් සිටි ඔහුගේ කුසගිනි නිවන ලද්දේ ඔහුට අනුකම්පා කර අසල වූ හෝටලයෙන් ලබා දෙන්නාවූ ආහාර වේලකිනි.

හිටි ගමන් අතුරුදන් වන මොහු නවතින්නේද අංගොඩ පිහිටි ජාතික මානසික සෞඛ්‍ය ආයතනයෙහිය. ඒ පොලිසිය හෝ ප්‍රදේශවාසීන් එක්වී මොහු එහි ගෙන ගොස් දැමූ විට ය. යම්කිසි රාජ්‍ය උත්සවයක් සඳහා කොළඹ සිටි හිඟන්නන් ඈත කොහේ හරි ගෙන ගොස් දැමූ කාලයක මොහුද අතුරුදන් විය.

අවට සමාජයේ පුද්ගලයන් මානසිකව හෝ කායිකව පීඩාවට පත් කරන්නන් ඔවුන්ගේ මානසික රෝගය නිසා “පිස්සු මිනිහෙක් “ යැයි සුළු කොට සැලකිය යුතු නොවේ. එවන් අයවලුන් පාරවල් පුරා අනෙක් මිනිස්සුන්ට කරදර කරන්නට ඉඩ නොදී ඔවුන් ගෙන ගොස් අවශ්‍ය මනෝවෛද්‍ය සහාය රෝහලකින් ලබා දීම නීතිය හා සාමය සුරකින පොලිසියේ වගකීම වේ.

එක් දිනක් අප නගරය වෙත යද්දී දුටුවේ මුළු ඇඟම තෙතබරිත වූ සිරුරෙන් කුඩා දන්නා හඳුනන මානසික රෝගී කාන්තාවක මහාමාර්ගය දිගේ ඇවිදගෙන එන අයුරුය. වාහනය නතර කළ විට ඇය අප හඳුනාගත්තාය.

“ආ සෑර් කොහොමද මම මේ නාගත්තා මේ යනවා” යැයි කියූ ඇය උතුරු කොනේ සිට අංගොඩ එවූ රෝගියෙකි. හිසකෙස්වලින් ඇඳුම්වලින් නොනවත්වා වතුර බේරෙන්නේ මේ දැන් කොහේ හෝ වැවක ඇළක ගිලී ආවාක් මෙනි.

“ආනේ නඟින්න නඟින්න අපි එක්ක යමු” කියමින් වාහනය නැවැත්වූ වෛද්‍ය සොයුරා ඇයට ඇවිටිලි කරද්දී ඇය දුවන්නට පටන් ගත්තේ අප ඇය රැගෙන යන්නේ කොහේදැයි දන්නා නිසාය. වහා ක්‍රියාත්මක වූ අප පොලිසියේ සහාය පතමින් ඈ සෙවීමට එහෙ මෙහෙ ගියද යළි ඇය සොයා ගත නොහැකි විය.

පාරවල් පුරා දුවමින්, කඩපිල් පාලම් යට නිදා ගනිමින්, අත පා මුදල් සොයාගන්නා මෙවැන්නවුන් කොළඹ නගරයේ බොහෝය. ඇතැම් මානසික රෝගීන් නගරයේ වීදි පුරා සැරිසරින අතර අපචාරයන්ට පවා ගොදුරු වේ. එවන් තරුණියන් දරුවන් ප්‍රසූත කිරීමට පැමිණ සිටියදී මට හමුවේ. ඔවුන්ගේ දරුවන් අවසානයේ නතර වෙන්නේ අනාථ නිවාසවලය.

මේ රටට සමාජයට මෙවැනි පිරිස් මහ බරකි. ඔවුන් හට දරාගන්නට නොහැකි වූ ජීවිතය සමාජයට බරක් වී පිළිලයක් වී වැනසී යෑම සමාජ ඛේදවාචකයකි. මෙවැන්නවුන් ගැන තීරණ ගැනීමේ බලයක් ඇත්තේ කා හට දැයි මම විචිකිච්ඡාවෙන් සිටිමි. රෝගාබාදවලට බෙහෙත් කර ඇබ්බැහිවීම්වලට ලක්වි ඇත්නම් පුනරුත්ථාපනය කර ඔවුන් මේ සමාජයට හිතකර වැඩිහිටියන් බවට පත් කිරීමේ කර්තව්‍ය ඇත්තේ රජයක් මතය.

“නෝනා දැන් මට බොහොම සනීපයි. මට ඉන්න තැනක් හොයලා දෙන්න” යැයි කියූ මා ගැන අනාවැකි පැවසූ ඒ මිනිසා හිත ගත සන්සුන් කරගත් මොහොතක අපට ආයාචනා කළේය.

උතුරු කොන අප මනෝ වෛද්‍ය අංශය මඟින් උදවු උපකාර කරමින් සම්පූර්ණ සහයෝගය ලබා දුන් මහලු නිවාස වැඩිහිටි නිවාස බොහෝමයක් තිබිණි.

එවන් තැනක ඔහුට සැනසීමෙන් කාලය ගතකරන්නට ඉඩක් ලැබී තිබුණි.

[වෛද්‍ය බෝධිනී සමරතුංග]

මාතෘකා