උසස් ප්‍රබන්ධය

 ඡායාරූපය:

උසස් ප්‍රබන්ධය

[රවින්ද්‍ර විජේවර්ධන]

පුවත්පතට කෙටිකතාවක් එවූ කෙනෙක් ඔහුගේ කතාව පළ කිරීම බැහැර කිරීම ගැන විමසමින් පසුගිය දිනෙක මා හා වාදයක පැටලිණි. වාදය කෙළවර වූයේ “මං දැනගත්තා මගේ කතාව ඔබේ සාක්කුවට ගැළපෙන විධියට දාගන්නවා කියල” යනුවෙන් ඔහු දෝස්මුරයක් තැබීමෙනි. එහෙත් මට ගැටලුව වූයේ එම කතා රචකයා කතාවක සාර්ථක - අසාර්ථකභාවය පුද්ගලයා මත (මා මත) රඳා පවතී යැයි සිතීමය. මෙහිදී ඔහු වරදවා ගෙන ඇත්තේ ප්‍රබන්ධ කතාවක රස - නොරස මිනිය හැක්කේ රසඥතාවෙන් හෙබි රසික පාඨකයාට මිස එය කියවන සියලු පාඨකයාට (පොදු පාඨකයාට) නොවන බවයි. පොදු පාඨකයාට ප්‍රබන්ධයක රස ග්‍රහණය නොවේ. ඔහුට රසඥතා ශක්තියක් නොමැති බැවිනි. එනිසා එවැනි කෙනෙකු කතාවක් ගැන කවර සහතික දුන්නද ඵලක් ඇති දෙයක් නොවේ. එහෙත් අප කතාකරුවා ඉහළින් ගෙන ඇත්තේ ඒ රස විහීන පාඨකයා දුන් සහතිකය. ඔහුගේ කතාවේ රසාත්මක පක්ෂය ගැන රසිකයකු දෙන විවරණය පිළිගැනීමට ඔහුට සාහිත්‍යය ගැන හෝ ලිවීම ගැන අවබෝධයක් නැත.

කෙසේ වුව එම කතාකරුවා හා වාදයෙන් අනතුරුව මා කල්පනා කළේ කතාකරුවකු තමාගේ පාඨකයා හඳුනා නොගතහොත් මොන තරම් පහළ තැනකට වැටිය හැකිද යන්නයි. එහෙත් ඔහුගේ ඝෝෂාවෙන් එක් පැනයක් නැඟේ. එනම් ප්‍රබන්ධ කතාවක් මිනිය හැක්කේ කෙසේද යන්නයි. සැබැවින්ම ප්‍රබන්ධ කතාවක් තක්සේරු කරන්නේ කෙසේද?

ප්‍රබන්ධ කතාවක් ආමන්ත්‍රණය කළ යුත්තේ රසිකයාය. රසිකයා අමතයි නම් එහි හොඳ - නරක නිර්ණායක ගොඩනැඟෙන්නේ ඒ මතය. නිදසුනකට රසිකයාට කතාවක් රසවත් විය යුතුය. එය කියවීමෙන් රස වින්දනයක් ලැබිය යුතුය. ඒ අනුව ප්‍රබන්ධ කතාවක් රස නිපයීම එහි මූලික නිර්ණායකයකි. රසිකයාට රස වින්දනය පමණක් ප්‍රමාණවත් නැත. ඔහුට කිසියම් අවබෝධයක්ද ඇවැසිය. එය ආනන්දය තුළින් ලැබෙන ප්‍රඥාවකි. එනයින් ජීවිතාවලෝකනය ප්‍රබන්ධයේ තවත් මිනුමකි. රසිකයාට ප්‍රබන්ධය මගින් බාහිර යථාර්ථයෙන් ගැලවීමටද ඇවැසිය. නැතහොත් බාහිර ලෝකය වෙනුවට කල්පනා ලෝකයකට ඇතුළු වීමට ඇවැසිය. බාහිර ලෝකය ඔහුට සාහසිකය. ඒ අනුව ප්‍රබල කල්පනා ලෝකයක් උසස් නවකතාවේ/ කෙටිකතාවේ ලකුණකි. තවද පාඨකයකුට හැම විටම නැති වූ දෙයක් තිබේ. ඒ නැති වූ දේ ප්‍රබන්ධය සොයා දිය යුතුය. එය පෙර කී ජීවිතාවලෝකනය යැයි කෙනෙකුට කිව හැකිය. කෙසේ හෝ කතාවක් කියවා අවසන පාඨකයාට නැති වූ දේ ලැබුණාක් වැනි සහනයක් දැනිය යුතුය. ප්‍රබන්ධ කතාව ඒ සහනය පාඨකයා තුළ දැනවිය යුතුය. මේ අනුව ප්‍රබන්ධ කතාවක සියලු නිර්ණායක ගොඩනැඟෙන්නේ එහි පාඨකයාගේ වුවමනා එපාකම් මත යැයි කිව හැකිය.

එහෙත් ප්‍රබන්ධ රචකයකු ලියන්නේ පාඨකයාගේ වුවමනා එපාකම් සඳහා නොවේ. ප්‍රබන්ධ රචකයාට පාඨකයාට මෙන්ම ජීවිතයේ නැති වූ දෙයක් තිබේ. ඔහුට ජීවිතය අතෘප්තිකරය. බැවහැර ලෝකයේ කිසිදු දේකින් ඔහුගේ අතෘප්තිය පහ නොවේ. එහෙත් ප්‍රබන්ධකරණයෙන් ඔහුට තෘප්තිය ලැබේ. ඔහු කතා ලියන්නේ එනිසාය. තමාගේ තෘප්තිය පසෙක ලා පාඨකයා තෘප්තිමත් කිරීමට ඔහු ලිවහොත් ඔහුගේ කතාව උසස් වන්නේ නැත. මීට හොඳම නිදසුන පාඨකයා වෙනුවෙන් ලියන අප ලේඛක - ලේඛිකාවන් බහුතරයකගේ ප්‍රබන්ධ කෘතිය. අද ජාතික හෝ ජාත්‍යන්තර දිනවලට - ලෝක කාන්තා දිනයට, ලෝක වැඩිහිටි දිනයට. ලෝක ළමා දිනයට.... - පුවත්පත්වල කෙටිකතා පළ වේ. මේ කෙටිකතා විශ්ව සාහිත්‍යධරයන් ලියූ ඒවා නොවේ, අපේම කතාකරුවන්/ කතාකාරියන් ලියූ ඒවාය. එහෙත් ඒ කෙටිකතා එකක්වත් සැබෑ කෙටිකතා - සාර්ථක කෙටිකතා - ලෙස සැලකිය හැකිද? නොහැකිය. ඇයි? ඒ, අප පාඨකයා ගැන සිතමින් ලියන නිසාය.

මා හා විවාදයේ පැටලුණු කතාකරුවා තර්ක කළ තවද කරුණක් තිබේ. ඔහු කීවේ තමාට ගැඹුරු අත්දැකීම්වලට වඩා ඉතා සරල අත්දැකීම් ඇති බවත් ඔහු සලිත කරන්නේ ඒ සරල දේවල් බවත්ය. එහෙත් අත්දැකීම්වල සරල - ගැඹුරු භේදයක් ඇද්ද? කතාකරුවකුට සරල - සංකීර්ණ අත්දැකීම් දෙකක් නැත. ඔහු ලිවිය යුත්තේ (ඔහුගෙන් ලියවෙන්නේ) ඔහු සසල කරන දෙයක් පමණි. සංකීර්ණ යැයි, ගැඹුරු යැයි පිළිගැන්වූ දෙයක් ප්‍රබන්ධකරුවකුට ලිවිය නොහැකිය. ඒ අනුව කතාවකට සරලත්වයක් හෝ ගැඹුරක් එක් වන්නේ කතාකරුවාගේ ප්‍රතිභාව මත යැයි කිව හැකිය. ප්‍රතිභාව ඉහළ නම් ජනතාවාදී කතාකරුවකුගෙන් වුව පාඨකයා සසල කරන ප්‍රබල ප්‍රබන්ධ බිහි විය හැකිය. චිංගීස් අයිත්මාතව් මීට එක් නිදසුනකි. ඔහු සෝවියට් සමූහාණ්ඩුව වෙනුවෙන් පෙනී සිටි, සමූහ ගොවිපළවල් ඉහළින් වැණූ, ජනතාවාදීන්ගේ ඉහළම සාහිත්‍ය සම්මානය වූ ලෙනින් ත්‍යාගයද ලැබූ නවකතාකරුවෙකි. එහෙත් ඔහු ඉහළ ප්‍රතිභාවක් හිමි අයෙකි. එනිසා ඔහුගේ ප්‍රබන්ධ ජනතාවාදී ලක්ෂණ දරූවත් උසස් රසිකයා සසල කරන ගැඹුරකින් යුතුය.

ප්‍රබන්ධ රචකයාට දැක්මක් තිබිය යුතු යැයි කියනු ලැබේ. ඔහුට දැක්මක් පැවතියහොත් එවැනි දැක්මක් - අන්තර් දැක්මක් - ප්‍රබන්ධයටද පිවිසිය හැකිය. එහෙත් කතාකරුවකුට තිබිය යුත්තේ සමාජ දැක්මක් නොවන බවය, මා සිතන්නේ. ඔහුට තිබිය යුත්තේ ජීවිත දැක්මකි. ජීවිත දැක්ම - සමාජ දැක්ම කියා දෙකක් නැති බවත්, ඇත්තේ එකක් බවත්, ඒ එක මගින් ඒ දෙකම හැඟවෙන බවත් ජනතාවාදී විචාරකයකුට කිව හැකිය. කෙසේ වුව ජනතාවාදියා ඒ කවරක් වැහැරුවත් ඒ දෙකෙන් ඔහු ගන්නේ සමාජය පිළිබඳ දෘෂ්ටිය බව කිව යුතුය. මා කියන්නේ එය වැරදි බවය. ජීවිත දැක්මක් පැවතියහොත් ඒ දැක්ම ප්‍රබන්ධයට පිවිසේ. එහෙත් වඩා වැදගත් දේ ඒ දැක්ම - නිවැරදි දැක්ම - තුළින් පාඨකයාට (උසස් පාඨකයාට) ප්‍රබන්ධයේ විවිධ අර්ථ සොයා ගැනීමට හැකි වීමයි. ඒ අනුව බහුඅර්ථවත්භාවය නොහොත් බහුශාබ්ධිකතාව (Polyphony) උසස් ප්‍රබන්ධයේ ලකුණකි. එහෙත් ඒ බහුශාබ්ධිකතාව ඇති වන්නේ ප්‍රබන්ධ කතාකරුවාට නිවැරදි ජීවන දැක්මක් පැවතියහොත්ය. සමාජ දැක්ම කතාකරුවා පාඨකයාට හිමි කරදෙන අන්තර්දැක්ම සීමා කරයි. ඒ සීමාව තුළ පාඨකයාට බහුඅරුත් සොයා ගැනීම දුෂ්කර වේ.

හරුකි මුරකාමිගේ Kafka on the Shore නවකතාව පාඨකායට බහුඅරුත් සපයන නවකතාවකි. එය කියවන වාරයක් පාසා අලුත් අරුතක් පාදා ගැනීමට පාඨකයාට හැකි වේ. ඒ, කතාකරුවාගේ ජීවින දැක්මේ පටුත්වය ඔහු ලියන කඩදාසිය ඉක්මවා පැතිරෙන බැවිනි. දොස්තොයෙව්ස්කිගේ 'අපරාධය හා දඬුවම', 'බිම්ගෙයි සිරකරුවා', 'ධවල රාත්‍රීන්' වැනි ප්‍රබන්ධ කතා කියවන විට පාඨකයාට ලැබෙන ජීවිතාවබෝධය වචනවලට පෙරළිය නොහැකිය. එවැනි පුළුල් අවබෝධයක් ලැබෙන්නේ කතාකරුවා 'කාඩ් කුට්ටමේ' එක් 'කඩදාසියක්' පෙරළීම ඔස්සේය. සෙසු 'කඩදාසි' පෙරළෙන්නේ ඉබේය. මෙසේ එක් ස්පර්ෂයකින් තවත් ස්පර්ෂයන් අනන්තයක් ඉපදවිය හැක්කේ විසල් ජීවන දැක්මක් ඇති කතාකරුවකුටය. සමාජ දැක්මක් - පටු ජීවන දැක්මක් - ඇති අයකුට කිසිදා මෙවැනි ස්පර්ෂයන් ඇති කළ නොහැකිය.

ප්‍රබන්ධය අන් කිසිවක් නොව ජීවිත විවරණයකි. විද්‍යා ප්‍රබන්ධය කලක් මෙරට ඉතා ජනප්‍රිය සාහිත්‍ය ශානරයක් විය. වෙසෙසින් ආතර් සී. ක්ලාක්ගේ ‘2001: A Space Odyssey’ විද්‍යා ප්‍රබන්ධ මාලාව එවැනි ප්‍රවණතාවක් ඇති කළ බව අපි අත්දුටුවෙමු. එහෙත් විද්‍යා ප්‍රබන්ධය කෙතරම් ෆැන්ටසිමය වුවත් ඉන් ජීවිතාවලෝකනයක් නොකරයි නම් (එය ඇති කරන්නේ විස්මය පමණක් නම්) එය උසස් ප්‍රබන්ධයක් නොවේ. මිහායිල් බුල්ගකොව්ගේ ‘බල්ලෙකුගේ හදවත’ නවකතාවේ කතානායකයා බල්ලෙකිි. ජැක් ලන්ඩන්ගේ ‘වනපෙත අඬගසයි’ (‘Call of the Wild’) නවකතාවේද කතානායකයා බල්ලෙකි. එහෙත් මේ කතා දෙකම බල්ලන් ගැන කතා නොවේ. ඉන් කෙරෙන්නේ මනුෂ්‍ය ජීවිත විවරණයකි. ඒවා උසස් වන්නේ එම ජීවිත විවරණයන් උත්තර රසිකයා සසල කරන තරම් ප්‍රබල බැවිනි. මේ අනුව ජීවිත විවරණයෙන් තොරව ප්‍රබන්ධයක් නොපවතින බව කිව යුතුය.

වර්තමාන අධිතාක්ෂණය, වෙසෙසින් දෘශ්‍ය මාධ්‍යයේ ප්‍රබලත්වය තුළ මුද්‍රිත මාධ්‍යයට පැවතිය හැකිද කියා පසුගිය දිනවල විවාදයක් ඇති විය. එහෙත් මා සිතන්නේ ප්‍රබන්ධය පවතින තාක් මුද්‍රිත මාධ්‍යය පසු නොබසින බවය. නිසැකවම කිසිදු දෘශ්‍ය මාධ්‍යයකට තෝල්ස්තෝයිගේ ‘ඇනා කැරනිනා’, දොස්තොයෙව්ස්කිගේ ‘අපරාධය හා දඬුවම’ පසු කළ නොහැකිය. සරච්චන්ද්‍රගේ ‘මළගිය ඇත්තෝ’, ‘මළවුන්ගේ අවුරුදු දා’ ද පසු කළ නොහැකිය. සැබැවින්ම අනාගතයේ මුද්‍රිත මාධ්‍යයේ පැවැත්ම තීරණය කරන්නේ සිල්ලර ප්‍රබන්ධ මත නොව සම්භාව්‍ය ප්‍රබන්ධ මත බව කිව හැකිය. එවැනි සම්භාව්‍ය නිර්මාණයකට දහදිය හෙළනු වෙනුවට තමාගේ කතාව පුවත්පතේ පළ නොකළේ ඇයිදැයි කෙනෙකු විමසීමෙන් පැහැදිලි වන්නේ ඔහු ප්‍රබන්ධ රචනයට නුසුදුස්සකු බව පමණක් නොවේ, සිංහල ප්‍රබන්ධයට සම්භාව්‍ය තලයට යෑමට දුෂ්කර මාර්ගයක් තරණය කිරීමටද සිදු වන බවය.

මාතෘකා