‘ප්‍රදීපාගාරයක ඇස් බැල්ම’ තියුණුය

 ඡායාරූපය:

‘ප්‍රදීපාගාරයක ඇස් බැල්ම’ තියුණුය

සාහිත්‍ය කලා නිර්මාණකරුවා සිය නිර්මාණ තුළින් විශද කරන්නේ ඔහුගේ සමාජ දේශපාලන දැක්මයි. එය නිසගයෙන්ම ඔහුගේ හෝ ඇයගේ නිර්මාණ තුළ අඩංගු වන අතර සියුම්ව ඒවා නිරීක්ෂණය කරන රසිකයාට නිර්මාණය තුළ ඇති මේ දැක්ම වටහා ගත හැකි වේ. සැබෑ කලාකරුවකු යනු වඩා යහපත් සමාජයක් නිරන්තරයෙන් ප්‍රාර්ථනා කරන්නෙකි. ඒ නිසා ඔහුගේ හෝ ඇයගේ නිර්මාණයන්ගේ දිශානතිය සැකසෙන්නේ මේ ප්‍රගතිශීලි මාවත ඔස්සේය. නමුත් ඇතැමුන්ගේ නිර්මාණ දෘෂ්ටිය හා පෞද්ගලික දෘෂ්ටිය දෙබිඩි ස්වරූපයක් ගන්නා ආකාරයද පෙනේ. ඒ තුළ ඇත්තේ වංචනික බවකි. පෞද්ගලික ආත්මලාභයකි. නමුත් මේ ස්වරූපයන් දෙකම එකම සාම්‍යයකට මුසු කරවා ගත හැක්කේ සමාජ දේශපාලන දැක්මෙන් මෙන්ම නිර්මාණශීලිත්වයෙන් පදම් වූ නිර්මාණකරුවකුට පමණි.

රවි සිරිවර්ධන යනු වර්තමාන ගීත රචකයින් අතර ඉදිරියෙන්ම සිටින ගීත රචකයකි. ඔහු නිරන්තරයෙන් පෙනී සිටින්නේ කලාවට හිමි සමාජ කාර්යභාරය වෙනුවෙනි. ගීතය වඩාත් ගැඹුරු ජීවිත අත්දැකීමක් බවට පෙරළා ඒ තුළන් රසිකයාගේ ඥාන පරාසය පුළුල් කිරීම වෙනුවෙන් ඔහු නිතරම වෙහෙස වන්නෙකි. රවි ගීත රචනයට පිවිසෙන්නේ කවිය අත්පොත් කරමිනි. නමුත් ගීත රචනා ක්ෂේත්‍රයේ ඔහු ස්ථාවර වන විට තාවකාලිකව හෝ ඔහු කවිය භාවිතයෙන් ඈත් වෙයි. නමුත් කවිය අත්හැර නොයයි. කවිය පිළිබඳ සොයා බලයි. එය අධ්‍යයනය කරයි. දෙවන වටයේ ඔහු කවියට පිවිසෙන්නේ ඔහු විසින්ම සකසාගත් දේශපාලන සමාජ දැක්මකින් හා කවිය පිළිබඳ පුළුල් හැදෑරීමකිනි. "ප්‍රදීපාගාරයක ඇස් බැල්ම" ඔහුගේ නවතම කාව්‍ය සංග්‍රහය තුළ කුළුගැන්වෙන්නේ ඉහත කී පරිදි කවියෙකුගේ පරිණත විමෙන් උපදින නිර්මාණ ශක්තියයි.

රවි ගේ කවි එකතුවේ සංගෘහිත නිර්මාණ ඒවාගේ ස්වරූපය හා වස්තු විෂය ලෙස ගත් විට දෙකොටසකට බෙදා දැක්විය හැකිය. එකක් වර්තමානයේ අප ජීවත් වන විකල් සමාජයේ පැණෙන සංසිද්ධීන් සමාජ දේශපාලන කෝණයකින් නිරීක්ෂණය කරන ඒවාය. අනෙක් කොටස මානව සම්බන්ධතා නැතිනම් ආදරය සෙනෙහස පිළිබඳ වෙනස් අර්ථකථනයන්ගෙන් සැදුම් ලත් ඒවාය.

ගසක පැතුම ම

මලක් එල්ලන් හිනා වීම ද?

කොඳු නවා ගෙන ඵල දැරීම ද?

කුරුල්ලන් නමි

ඒ තමයි හැම ගසක යුතුකම

(පැතුම - පිටුව 11)

ගසක ඒකාකාරී දිවි පෙවෙත හැර ගසකට වෙනස් දිවිපෙවෙතක් උරුම නැතිද? එය සොයා යෑම නොකළ යුත්තක්ද? මේ ප්‍රශ්න කිරීම සමාජ විසින් තත්වාරෝපණය කරන ලද මිනිසා සදාතනිකව මුහුණ දෙන ගැටලුවයි. කෙනෙක් ජීවත් විය යුත්තේ සමාජය සකසා දෙන රාමුවේ පමණද? වෙනත් විකල්පීය හැසිරීමක් ස්වාධීනව උරුම කරගත නොහැකිද?

ප්‍රේමය පිළිබඳ කවියාගේ වෙනස් කියවීම අපූරුවට නිර්මාණය වන අවස්ථා ගණනාවක් මෙම කෘතියේ සංගෘහිත වේ. 'ඒ රහස් කුටියේ නිවෙමි', 'නුඹෙ දෙතොල් මධු සාද ඉසිඹුව', 'ඉසුරුමුණි ප්‍රේමය මට නොමැත ලස්සන', 'ආදරය කියන්නේ සොයා යන එකට', 'පෙම්බරාණෙනි! එන්න දවසක', 'අත් හරින්නට ලෙහෙසි තැනකින් අල්ල ගත යුතු' වැනි නිර්මාණ ප්‍රේමය පිළිබඳ කවියාගේ වෙනස් කියවීම ස්ඵුට කරයි.

මේ රහස් කුටියට ඇවිත්

නුඹේ ආදර දෑස් පොකුණෙහි

මහද විසකටු සෙමෙන් ගලවමි

පැසවලා විස ගලන තැන්වල

නුඹේ ජීවක වචන ගල්වමි

 

එවන් සවසක නුඹෙන් සමුගෙන

සිනා කුසුමක් ගෙදර ගෙනයමි

ගෙදර කවුරුත් පුදුම කරවා

දෙතුන් දවසක් එමල රැකගමි

(ඒ රහස් කුටියේ නිවෙමි - පිටුව 13)

'ප්‍රදීපාගාරයක ඇස් බැල්ම' කෘතියේ දැකිය හැකි සුවිශේෂතා දෙකක්ද නිරීක්ෂණය කළ හැකිය. එනම්, රවි ගොඩ නගාගෙන ඇති පැසුණු කවි බසයි. අනෙක් කාරණය අනුභූතිය විනිවිදින ඔහුගේ පරිකල්පනීය ඉසියුම් බවයි. ඔහුගේ පැසුණු කවි බසට එක් උදාහරණයකි මේ.

තුරු වියන් ඇඳගත්ත සිරුරුය

ඇස් තෙමී ගලන දිය කඳුරුය

පපුව මැද ඇනුන කටු පඳුරුය

හිරු සිරස ඇතත්, යට අඳුරුය

(සල්ලි හැදිලලු කන්දෙ ගස්වල - පිටුව 27)

"මාළුවාගේ සැඟවුණ ශෝකය" වැනි නිර්මාණයක රවිගේ ඉසියුම් පරිකල්පනය මනාව කැපී පෙනේ. සුරතල් මසුන් ඇතිකරන ටැංකියක පසෙකට වී සිටින මාළුවෙකු දකින කවියාගේ පරිකල්පනය අවදිවන්නේ ඒ මාළුවාගේම සිතුම් දහර ඔස්සේය. ආරක්ෂා සහිත ටැංකියේ අනෙක් මාළුන් ආරක්ෂා සහිතව සතුටින් වෙසෙන මුත් එක් මාළුවෙකු සොව ගැන කවියාගේ පරිකල්පනය මෙබඳුය.

බේරෙමින් මෝරුන් කෙරෙන්

ගැලවෙමින් මා දැල්වලින්

වෙහෙස වී

හරි හම්බ කරගත් මසවුලින්

වින්ද සැනසුම

සිහි කරයි මේ මාළුවා දැඩි ශෝකයෙන්

අනෙක් මාළුන්

නොදත් රහසක් හිර කරන්

නිසල දියඹෙහි කොරල් තුරු යට

ගැබ්බරව සිටි පෙම්වතිය

මග හැරී ඇති බව

දන්නෙ නෑ ටැංකියෙ මසුන්

( මාළුවාගේ සැඟවුණ ශෝකය - පිටුව 25 )

රවි ගේ කවි කිහිපයක ඔහු විශ්වාස කරන දේශපාලනය හා ප්‍රාර්ථනා කරන සමාජ වෙනස වෙනුවෙන් ඔහු තුළ ඇති නොනිමි අරගලය ඍජුවම මතු වේ. 'අරගල බිමේ පත්තු වන සහෝදර පහන', 'කවි ම විතරක් නොවේ වැඩබිම' වැනි කවිවල මෙය මනාව දැකිය හැකිය.

අපේ හිත් එක තැනට එනතුරු

රාජාලියන්ගේ ගොදුරු බිම

අපේ ජීවිතමයි

සහෝදරයිනි

කවි ම විතරක් නොවේ වැඩ බිම

ඔබේ දහදිය නව ලොවක අරුණයි.

(කවිම විතරක් නොවේ වැඩ බිම - පිටුව 57)

ඒ නමුදු ඔහුගේ කවිකම හා පැසුණු පරිකල්පනීය සියුම් පෞරුෂය මතුව එන්නේ අත්දැකීම විනිවිද ගොස් වෙනත් තලයක් රසිකයාට මතු කර දෙන අනෙක් කවිවලය. ඒවා විශාල ආලෝකයක් රසික සිත්වලට එල්ල කරයි. ඒ ආලෝකය තියුණුය. දිගුය.

[කපිල එම්. ගමගේ]

 

මාතෘකා