ස්වයංවර වස්තුව

 ඡායාරූපය:

ස්වයංවර වස්තුව

සතරැස් නුවර වූ කලී දැන් එකම යුධ පිටියෙක සෙයියාවෙන් ඇළලී ගොසිනැ... ඒ උකටලී මංගල හස්තිරාජ තෙම අභිමුවැ නේක සංදර්ශනයැ. දණ නැමීමට නිස්සා සොයන හස්තියා සිත් ගැනීමට රාජාපාක්ෂිකයෝ නේක විගඩම් පාත්.

මංගල හස්ති තෙම වූ කලී වඩාත් කෙට්ටුවැ දෙරණ හොත් පරඬැලක් මෙනි. තතු වූ කලී හස්තියා ඔසවා දන නමවා ගැනීමටද පාසු සේ හේ ඔත්පලයැ.

මා රජයැ මා රජයැ වදනින් ඇත් රජ සවන් පැළෙන නොපැළෙන තරම්‍යැ.

විකසිතයානෝ, මහේන්ද්‍රයානෝ, මිත්‍රයානෝ, අනුදිසයානෝ ඈ චාතුර් මා රජවරු නේක වාසි බස් දොඩත්.

පවත් මෙසේ තිබියදී එක් කැත් කුමරියක මහත්වූ සිහ ගජ්ජනාවක් කළායැ.

"මතු අභිෂේක වන්නාවූ රජතෙමේ හට අගබිසෝ නම් මේ මම්ම වම්හැ" කුමරී තමෝ ගජ්ජනා කළහැ.

මේ වූ කලී හස්ති රාජයාගේ සවනට මී බිඳු වන් වියැ.. සාගින්දර අතුරුදන්වැ මහත් වූ උද්යෝගයෙන් නැඟී සිටි හස්ති රජු තෙවරක් කුංචනාද කළේයැ. රාජාපේක්ෂක සියලු කැත්ගොත් ඇත්තහු වහ වහා හස්තිරාජයා අභිමුක වියැ.

"කිමැ මේ නම් මාත් හාස්කමෙකැ... ඔත්පල වූ ඇත් තෙමේ වහා නැඟී සිටියේ කිමැ" රාජාපේක්ෂකයෝ විමති වූහැ.

"හස්තියාන... නුඹ වූ කලී අහර වර්ජිතයැ... නිදි වර්ජිතයැ... ඔත්පලයැ.. එසේ තිබියදී මෙසේ උට්ඨාන වීමේ හාස්කම් කවරේදැ" යි විකසිතයානෝ ඇසූහැ.

සොඬය ඔසවා යළිත් හඬ නඟා

"එම්බා... මා එක් කැත් කුමරියක සීහ ගජ්ජනාවෙන් අවදි වීමි" ඇත්‍ රජු පිළිවදන් දුන්හැ.

"ඒ කිනම් කුමරියකදැ... කිනම් ගජ්ජනාවෙක්දැ" යි අරුණදිසියා විමැසීය.

"මතු අභිෂේක ලබන්නාවූ රජුගේ අග්‍රබිසෝ තොමෝ හෙවත් ඉත්ථි රත්නය පහළව ඇත්තාහැ. ඇගේ සීහ ගජ්ජනාවෙන් මා ප්‍රබෝධවීමි. ඇත්‍ රජ සොම්නසින් පැවැසීයැ.

"රජකු නැති කළ බිසෝවරුන් පහළ වීම අභෞයහැ... ඇත්‍ රජ සිහි ඵලවනු... රජකු අභිමුව දන නැමීමට සූදානම් වනු" වර්ණදැව තෙමේ පැවසීයැ.

මුව කර්ණය තෙක් විහිදූ මිත්‍ර රජු...,

"අදෝමැයි... තොප රජකු නැතැයි පවසන්නේ කිමැ... මෙනුවර අභිෂේක කළ රජු මම්‍යැ..ඉඳින් කුමරී මා අන්තඃපුරයට පහළ වූ කුල කතකැ. ඈ මා වෙත වඩම්මා දුනමැනවැ" යි මිත්‍ර රජු පැවැසීයැ. එවදනින් සියල්ලෝ තුෂ්නිම්භූත වියැ.

ඇත්‍ රජ හාස්‍ය හා කෝපය මුසු හඬ අවදි කළේයැ.

"මෝඝ පුරුෂයිනි... බලව..., පෙර අප මහා බල පරාක්‍රමයෙන් යුත් රජුන් පවා ඉත්ථි රත්නය නිසාවෙන් රජ්‍යත්වය තාවුරු කළෝයැ. ඉඳින් කැත් ගොත් ඇති උභයකුල පර්ශුද්ධ කුමරීන් නැති කල්හි මධුරාපුර කැත් කුමරින් පාවා ගත් බැව් තොප නොදන්නෙහිදැ" යි විමසීයැ.

සියල්ලෝ මදක් පාෂාණීභූත වූහැ. එකිනෙකා මුවින් මුවැ බැලූහැ.

"ඇත් රජුනි ඉඳින් මෙවර රාජාවරණයට නුඹ දන නොනමන්නේද?" සච්චපේමයෝ පිළිවිසූහැ.

"ඉදින් ඉත්ථී රත්නය මුලින් පහළ වූ කළ ඒ ඈ සතු කාරියකැ" යි ඇත් රජු පැවසීයැ.

"වැටහුම් නොවේ..යි විකසිතයා පැවසීයැ.

"එම්බා විකසිතය... ඒ කුමරි තොමෝ හට වල්ලභ වන්නා රජවනු ඒකාන්තයැ..."

"ඉඳින් ඈ වල්ලභ කෙසේ නම් නිර්ණය වේද?" ගොටු අභය තෙම ඇසීයැ.

"දුහුන.. ඒ ස්වයංවරයෙකි... ඈ ස්වයංවරයකින් වල්ලභයා නිර්ණය කරණු ඇත." මංගල හස්තියා පැවසීයැ.

මෙපවත් දන තුඩ තුඩ රැව්දී මේ රාජාපේක්ෂක භාරින්ගේ සවන් වැකිනැ. උන් වඩාත් නොසන්සුන් වූහැ. ගොත් පිල් නොතකා සිය වල්ලභයන් බේරා ගැනීමේ රිස්සෙන් එක් වූහැ.

"කිමැ... මේ කැත්කුමරී කවරකු ස්වයංවර කළද අප එකකු හට හෝ නොපනත් කමෙකි..."

"ඉඳින් ඈ අග බිසෝවැ අප හුදු අන්තඃපුර බිසෝවරු වෙත්."

අප වල්ලභයන් රැක්ක මනායැ."

මෙසේ සිත සිතා නොසතුටුවැ කල් මැරූහැ.

රාජාපේක්ෂකයෙක් එකිනෙකා ඒ කැත් කුමරී සිත් ගනු වස් එකිනෙකාට සොරා නේක උපායන් කළහැ.

දින සති මාස ගත වියැ. ස්වයං වරයකට කැඳවීම් නොවීයැ රාජාපේක්ෂකයන් කොහොල් සිත් ඇතිවැ කතිකා කළහැ.

"බලව..., මේ නම් නිසි ඉත්ථි රත්නය නොව... අනෙකකුයැ."

"මෑ තතු සෙව්ව මනායැ" ආදී කොහොල් බස් අතර සතරැස් නුවරට චූඩා මාණික්‍ය වූ රාජසේන නම් සුව මැති තෙමේ පැමිණියේය.

"සගයිනි මෑ තතු විමසන්නේ නම් ඊට නිස්සා මා පුත්‍ර රත්නය වූ චතුසෙන්යැ" පවසා ඔහු පුත් චතුසෙන් නම් ගැටවර තෙමේ බැනවීයැ.

"කොහොල් නොකරනු... කුමරී නිසි ඉත්ථී රත්නයමැයි... ඒ මා මොනවට දනිමි..." යි චතුසෙන් පැවසීය.

"ඒ කිනම් කරුණුදැ..." මැති මැත්තෝ එක හඬින් ඇසූහැ.

"සගයිනි, මෙකුමරිය වැදීමට ඈ මවුතොමෝ තිඹිරි ගෙයි විලිලන කල නාභිච්ඡේදනය සඳහා සැත සැපයූවේ මම් වෙමි" යි පැවැසීය.

මැති කැල කොහොල් හැරපියා වහ වහා හස්ති රාජයා අභිමුවට වන්හැ.

"කිමැ හස්තියාන ඒ ඉත්ථී රත්නය මෙතුවක් අප ස්වයංවරයට නොකැඳවීයැ... ඒ කිමැ" යි කීරාල විමැසීය.

ඇත් රජු විමතියෙන්,

"කිනම් කුමරියකදැ" යි විමැසීයැ.

එකිනෙකා උනුන් දෙස බලා...,

"නුඹ දෑ මුසාවෙන් අප මුලා කරන්නේදැ?” යි ඇසීය.

"සාගින්දරේ සිටි මා උමතුවෙන් දෙඩූ වදන් විය හැක. ඉත්ථි චක්‍ර ආදී රත්නයන් පහළවීමට නම් සක්විති වත් පුරනා පෙර පින් ඇති නිරිඳුන්ම වියයුතුය. ඉඳින් එවැන්නෙක් මෙලෝ නැත්තාහ." ඇත් රජු පැවසීය.

ඉඳින් දැන් රජු තෝරන්නහු කවරහුද?" යි විකසිත් ඇසීය.

"ඉදින් මින් මතුද දන නමා රජු තෝරන්නා මම්ම වෙමි." යි ඇත් රජු පවසදිදී සියල්ලෝ පෙර නොවූ විරූ ලෙස ඇත්‍ රජු පැදකුණු කළහ. කාජ්ජ බෝජ්ජ දුන්හැ. වැලිත් එකිනෙකාට සොරා හස්ති වන්දනාවේ නිරත වියැ. පෙරකී බිසෝ තොමෝ රජකු පත්වන තෙක් උක්කුටියෙන් බලා සිටියෝය.

[සුසන්ත බණ්ඩාර]

මාතෘකා