උයන එක මහ දෙයක්ද?

 ඡායාරූපය:

උයන එක මහ දෙයක්ද?

ඇත්තටම ගෙදර උයනවා කියන එක මහා ලොකු දෙයක්ද? අපේ රටේ නම් නැන්දම්මලා ලේලිලා අතර නෑනලා නෑනලා අතර සමහර වෙලාවට කෙහෙවලු පටලවා ගන්න තරමට දුරදිග යන සිද්ධියක් තමයි දෛනික ඉවීම කියන්නේ. සමහර අයට ගෙදර තියෙන බරපතළම කාර්ය තමයි ඉවිල්ල කියන්නේ. රැකියාවක් කරන කාර්යබහුල ගෘහණියක් නම් ඒ තත්ත්වය තවත් බැරෑරුම් වනවා. ඇත්තටම උයන එක මහා ලොකු දෙයක් කරගන්නේ අපිළිවෙළ මිසක් වෙනත් හේතුවක් නිසා නොවෙයි. පොඩ්ඩක් හිතලා බැලුවොත් ඔබටම ඒ බව වැටහේවි.

ගොඩක් දෙනා උයන දේ තීරණය කරන්නේ ඒ වෙලාවටයි. ශීතකරණයේ දොර ඇරගෙන ඔළුව කසමින් "අද මොනවද උයන්නේ?" කියලා ඔබට කල්පනා කරන්නට වෙන්නේ නැහැ හෙට දවසේ උයමන ගැන කුඩා හෝ සැලසුමක් අද රාත්‍රියේ හෝ හෙට උදෑසනම හෝ හිතේ තියාගන්නවා නම්. ඒ සඳහා meal plans ලියලා ශීතකරණයේ අලවාගෙන සිටීම අත්‍යවශ්‍ය නැහැ. මම හිතන්නේ එහෙම දකින එක තරමක කම්මැළි වැඩක්. අපේ අම්මලා පොළෙන් එළවළු, මාළු මිලදී ගනිද්දිම හිතින් සැලසුමක් හදාගත්තා "හෙට මේ කොස් ටික හදනවා, අනිද්දට බටු වෑංජනය හදනවා.." කියලා. නරක් වීම, වර්ණ සංකලනය, රසය කියන ඔය කාරණා හැමදේම හිතේ තියාගෙනයි ඔවුන් ඒ සැලසුම හදාගන්නේ. අද ගෘහණියෝ එදාට වඩා කාර්යබහුල බව ඇත්ත. නමුත් ඉවීම සරල කරගත් තරමට ඔබට උයන්න ඕනෑතරම් සැලසුම් හිතේ මැවේවි.

ඊළඟට ගොඩක් ගෘහණියන්ට ප්‍රශ්න ඇතිවෙන්නේ උයන්න ගන්න දේවල් ගැන අවබෝධයක් නැතිකම නිසයි. සමහරු මුළු දවසෙම වෙහෙස වෙලා මහා බරපතළ කෑම වට්ටෝරු හදලා හෙම්බත් වෙනවා. අන්තිමට උයපු හැමදේම එක වගෙයි. උදාහරණයක් විදියට හැම වෑංජනයම පොල්කිරි එකතු කරලා හදන්න ගියොත් තරමක් අසීරුයි. ඒ වෙනුවට ටිකක් මහන්සි වෙලා වෑංජනයක් දෙකක් උයලා අනිත් ඒවා සරලව හදාගන්න පුළුවන් විදිහට තෝරාගන්න. සලාදයක් කියන්නේ ඒ වගේ වෙලාවකට ඉක්මනට හදන්න පුළුවන් ආහාරයක් වගේම කෑම මේසයට හොඳ පෙනුමකුත් එක් කරන දෙයක්. ඒ වගේම කිරට එක් වෑංජනයක් හදනවා නම් අනෙක් දේවල් මිරිසට, තෙලට හෝ අමුවෙන් හදාගන්න බලන්න. එයින් ආහාර වේලට විවිධත්වය ඇති කරනවා වගේම වැඩි කරදරයක් නොවී ඉක්මනින් හදාගන්නත් පුළුවන්.

අත්‍යවශ්‍ය කළමනා අත ළඟින් තියාගැනීමත් ඉවීම පහසු කරනවා. කුළුබඩු බෝතල් රාක්කයේ අසුරද්දී හැම වෑංජනයකටම දාන්න අවශ්‍ය වන දේවල් ඉදිරියෙන්ම තියන්න. ඒ වගේම සංකීර්ණ බෝතල් කුළුබඩු අසුරන්න යොදාගන්නේ නැතිව පහසුවෙන් පියන් විවෘත කළ හැකි හොඳින් වැහෙන සරල බඳුන් තෝරාගන්න.

ශීතකරණයේ එළවළු අසුරද්දී ඉක්මනටම උයන්න ගන්න දේවල් උඩින්ම අසුරන්න. අමු මිරිස්, තක්කාලි, කරපිංචා වගේ දේවල් හිස් අයිස්ක්‍රීම් පෙට්ටිවලට හෝ දමා වෙන වෙනම තියන්න. නැත්නම් තක්කාලි ගෙඩිය හොයන්නයි, අමු මිරිස් කරල හොයන්නයි ඔබට විටින් විට එළවළු කූඩයම අදින්නට වෙනවා. මස්, මාළු වර්ග කලින්ම ශුද්ධ කරලා කෑලි කපලා එක් එක් ආහාරවේලට සෑහෙන ප්‍රමාණයට වෙන වෙනම භාජනවලට දමලා පියන වසා deep freezer දාන්න. මස්වලට කහ, ලුණු, ගම්මිරිස් අතගාලාම දාලා තියන්න පුළුවන් නම් උයන්න කලින් අමුතුවෙන් වෙලාවක් පදම් වෙන්න තියන්න උවමනා වෙන්නෙත් නැහැ.

ඊළඟට තියෙන්නේ මුළුතැන්ගෙය සහ උයන්න ගත්ත දේවල් පිරිසුදු කිරීමයි. සමහර අය උයද්දී කුස්සිය බලන්න අප්‍රසන්නයි. සින්ක් එක ළඟ බිම වතුර හලාගෙන, ලූනු පොතු, එළවළු පොතු, පොල් කුඩු හතර අතේ හලාගෙන. හැඳි, පිහි හැම තැනම. මේකත් ඉවීම එපාවෙන ප්‍රධානම කාරණාවක්. උයන්න ගනිද්දී කසළ දාගන්න කුඩා භාජනයක් එළවළු කපන තැනම තියාගන්න. උයන්න ගන්න දේවල් සෝදන්න සින්ක් එක ළඟ භාජනයක් තියාගන්න. උයන ගමන්ම අස් කරන්න. උදාහරණ විදියට පොල් බ්ලෙන්ඩර් කළොත් කිරි ටික වෙන් කර ගන්න ගමන්ම ඔබ පොල් කුඩු ඉවත්කරලා බ්ලෙන්ඩර් කප් එකත් පිරිසුදු කරගන්න. පස්සේ කරන්නම් කියලා තිබ්බොත් වෙන්නේ වැඩ වැඩි වෙන එක විතරයි. වෑංජනයක් ළිපේ තියෙද්දි ඒක ඉදෙනකම් නිකම් හිටගෙන බලාගෙන ඉන්නෙ නැතුව භාජන හෝදන්න, කුස්සිය අතුගාන්න, කුණු අස්කරන්න, සින්ක් එක මදින්න ඒ වෙලාව යොදාගන්න පුළුවන්. ඒ විදිහට උයද්දීම අස් කරනවා නම් උයලා ඉවර වෙද්දී කුස්සියත් පිරිසුදුයි. ඔබ පාවිච්චි කරන්නේ එකම කටින් බෝඩ් එකක්, පිහියක් නම් මස්, මාළු කැපුවට පස්සේ නැවත වෙනත් දෙයක් කපන්න ගන්නවා නම් පිහි මිටේ සිටම සියල්ල සෝදාගන්න සිදුවෙනවා. නැත්නම් ගෑවෙන හැම තැනම පිලී ගඳ හමනවා. ඒ නිසා මුලින් එළවළු, පළා වර්ග කපා අවසන් කර ඊට පසු මස්, මාළු කැපීමෙන් ඔබට අමතර කාලයක් වෙහෙසක් වැය නොකර ඒ දේවල් කරගත හැකියි.

සමහර ගෘහණියන් නවීන ඉවුම් උපකරණ කොච්චර මිලදී ගත්තත් ඒවා පාවිච්චි නොකර අරපරිස්සමට අරන් තියාගෙන ඉන්නවා. ඒ අරපරිස්සම නෙමේ මෝඩකමයි. වෙලාව ඉතිරි කරගන්න ඉවීම වදයක් නොවෙන්න තමයි ඔය උපකරණ හදන්නේ. රයිස් කුකර් එක හදිසියකට උයන්නයි ගත්තේ කියාගෙන හැමදාම දුම් පිඹිමින් දර ලිපේ බත උයන අයත් තවමත් ඉන්නවා. ඒ වගේම හදිසි වෙලාවට ගන්න ඕන දේවල් ටිකක් ගබඩා කර තියාගන්න. දියර පොල්කිරි පැකට්, මයෝනීස් සෝස්, ඔලිව් තෙල් කියන්නේ සලාදයක් රස කරගන්න උදවු කරන දේවල්.

ඒ වගේම කුස්සිය පිරිසුදු කරන දේවල් පිරිසුදුව තියාගන්න. සින්ක් එක මදින බ්‍රෂ්, වළන් මදින බ්‍රෂ්, ටයිල් ක්ලීන් කරන ඒවා වෙන වෙනම අරන් තියන්න. එකම දේකින් හැමදේම පිරිසුදු කරන්න යන්න එපා. හෑන්ඩ් වොෂ් එකක්, දියර භාජන පිරිසුදු කාරකයක් කියන්නෙත් කුස්සිය පිරිසුදුව තියාගන්න ගොඩක් උදවු වෙන දේවල්. මීට අමතරව ටිකක් වියදම් කරලා හොඳින් වැහෙන කුණු බඳුනක් ගන්න එක පාඩුවක් නෙවෙයි. ඉතිරි වූ කෑම ආයේ කෑමට ගන්නේ නැත්නම් ශීතකරණයේ පුරවා ගන්නෙ නැතිව දෙවරක් නොසිතා කුණු බඳුනට දාන්න. කෑම කාලා අවසන් කරද්දීම වලං පිඟන් සියල්ලම සෝදා දමන්න. ඉඳුල් වළන් පසුව සෝදන්න තියනවා කියන්නේ ඉවරයක් නැති වැඩ ගොඩගැසීමක්.

ඉවීම කරදරයක් වෙන නිසා සමහරු වේලාසන උයලා freeze කරනවා. සමහරු සතියකට සෑහෙන්න එළවළු කපලා ශීතකරණයේ තියාගන්නවා. මම නම් හිතන්නේ ඒක කෑමවල ස්වභාවික රසයට බාධාවක්. හෙට උදේ උයන්න තියෙන දේ අද රෑ කපලා ලෑස්ති කළාට කමක් නැහැ. ඒත් එළවළුවක් වුණත් ඒ අවස්ථාවේම කපලා ගනිද්දී රස වැඩියි. පිරිසුදු කරන, අස් කරන වැඩ පහසුවෙන් කරගන්න විදියට මුළුතැන්ගේ සැලසුම් කරගන්නවා නම් ඒකත් ලොකු පහසුවක්. දවසට වේල් තුනක් ඉවීම පවා මට කරදරයක් නොවෙන්නේ පිළිවෙළකට ඒ දෙවල් කරන්න පුරුදු වෙලා සිටින නිසා වගේම ඉවීමට වැඩි කාලයක් වැය නොකරන නිසයි.

හැමදේම වගේ ඉවීමත් සැලසුමකට පිළිවෙළකට කරන්න පුරුදු වෙනවා නම් උයනවා කියන්නේ මහ දෙයක් නෙමේ. ඇත්තටම ඒක ලොකු විනෝදයක්. සුන්දර කලාවක්.

[සජිනි උයන්ගොඩ]

මාතෘකා