බෝපාල් සහ බෝගහගොඩ

 ඡායාරූපය:

බෝපාල් සහ බෝගහගොඩ

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ 1984 දෙසැම්බර් 3 වැනිදා සිදු වූ බෝපාල් ඛේදවාචකය පිළිබඳව ඔබ බොහෝ විට අසා තිබෙන්නට පුළුවන්. එදා මෙදාතුර ලොව සිදු වූ බිහිසුණුම කාර්මික අනතුර ලෙස සැලකෙන මෙම ව්‍යසනයට හේතුව යුනියන් කාර්බයිඩ් ඉන්දියා ලිමිටඩ් සමාගමේ කර්මාන්තශාලාවකින් කාන්දු වූ මෙතිල් අයිසොසයනේට් නම් විෂ වායුවක්. නිල සංඛ්‍යාලේඛන අනුව එමඟින් 3,787 දෙනකුට ජීවිත අහිමි වූ බව සඳහන් වුවත් මෙම අවාසනාවන්ත සිදුවීමෙන් පසු ගතවූ පළමු සති දෙක ඇතුළත 8,000ක් පමණ මියගිය බවත් පසු කාලීනව එහි සෘජු සහ වක්‍ර බලපෑම්වලින් තවත් එවැනිම සංඛ්‍යාවක් මියගිය බවත් ඇතැම් වාර්තා පෙන්වා දෙනවා. තවද එමඟින් ලක්ෂ හයක් පමණ විවිධ තාවකාලික සහ ස්ථීර ආබාධවලට ලක් වූ බව ඉන්දීය බලධාරීන් පිළිගන්නවා. ලාභය පමණක් අපේක්ෂාවෙන් අදාළ සමාගම තම කර්මාන්තශාලාවේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු නොකර සිටීම සහ හදිසි අනතුරු වැළක්වීමේ පද්ධති අකර්මණ්‍යව පැවතීම මෙම අවාසනාවන්ත තත්ත්වය ඇති වීමට මුල් වූ බව මේ වන විට කිසිවකුටත් රහසක් නොවෙයි.

ඉන්දියාවේ බෝපාල් ඛේදවාචකය සිදු වී වසර තිස්පහක් පමණ ගත වී ඇතත් ඉන්දියන් සාගරයේ අමුතු ඇටයේ බලධාරීන් තවමත් එවැනි කාර්මික අනතුරු අවදානම් නොතකා සිටීමෙන් සහ ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග නොගෙන සිටීමෙන් බැටකන ජනතාවක් පිළිබඳව අපට ගාල්ල, බෝගහගොඩ ප්‍රදේශයෙන් අසන්නට ලැබෙන්නේ වසර ගණනාවක සිටයි. දිවයිනේ ප්‍රකට සමාගමකට අයිති පරණ ටයර් ප්‍රතිචක්‍රී කරණය කරන කර්මාන්තශාලාවකින් සිදු වන වායු දූෂණය නිසා බලවත් අපහසුතාවට පත්ව සිටින මෙම ජනතාව පිළිබඳව ලියුම්කරු පසුගිය ජුනි මස දහවැනිදා සුළු සටහනක් පමණක් තැබුවා. ඒ මේ සම්බන්ධයෙන් ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවේ තීන්දුව ඊට දින කිහිපයකට පසුව ලැබෙන්න තිබුණු නිසා. නමුත් එම නඩු තීන්දුවෙනුත් ජනතාවගේ අපේක්ෂා ඉටු වුණේ නැහැ.

ප්‍රදේශයේ ජන ජීවිතයට සහ පරිසරයට බලපෑම් එල්ලකරන මෙම රබර් කර්මාන්තශාලාවට එරෙහිව බෝගහගොඩ ජනතාව අවුරුදු ගණනාවක් තිස්සේ කොතෙකුත් අරගල කළත් තවමත් එම පීඩාවන්ගෙන් ගොඩ ඒමට ඔවුන්ට හැකියාවක් ලැබී නැහැ. මෙම කම්හලෙන් සිදු වන විනාශකාරී බලපෑමට එරෙහිව පරිසර සංවිධාන සහ සමාජ ක්‍රියාකාරීන් ගෙන ගිය අරගලයේ ප්‍රතිඵලයක් ලෙස 2018 අවුරුද්දේ පෙබරවාරි 21 වැනිදා සමාගමේ සභාපතිවරයා සියලු බලධාරීන් සහ නිලධාරීන් ඉදිරියේ පොරොන්දු වුණේ එම අවුරුද්ද අවසන් වීමට පෙර අදාළ කර්මාන්තශාලාව වහලා දාන්න. නමුත් අපේක්ෂා කළ පරිදි එසේ සිදුවූයේ නැහැ. ඒ වෙනුවට සිදුවුණේ මෙම සටනේ නායකයන්ට හිංසා කරමින්, සටනට සහයෝගය දැක්වූ ප්‍රාදේශීය දේශපාලකයන්, විදුහල්පතිවරුන්, භික්ෂුන්, මෙන්ම ප්‍රජා නායකයන්ට ලංසු තබමින් සහ තමන්ගෙන් සිදු වන වැරැද්ද වහගන්න පැලැස්තර අලවමින් ‘දේශීය’ සමාගම දේශයටම වළ කැපීමයි.

ඒ නිසා ‘ඉන්න හිතෙන රටක්’ වෙනුවෙන් මහා පරිමාණයෙන් ප්‍රචාරක ව්‍යාපාර දියත් වෙද්දී තවමත් බෝගහගොඩ ජනතාවට ජීවත්වීමට සිදු වී ඇත්තේ ‘ඉන්න හිටින්නට නොහැකි’ පරිසරයකයි. ‘ළඟම පාසල - හොඳම පාසල’ යැයි කොයි තරම් පාඩම් කෙරෙව්වත් බෝගහගොඩ, දොරපේ ද්වියිතීයික පාසලේ දරුවන්ට අකුරු කිරීමට සිදු වී ඇත්තේ නිතර විෂ වායු කාන්දුවීමෙන් රෝගාබාධවලට ලක් වී රෝහල්ගතවීමට සිදුවන පාසලකයි. ආශ්‍රිත ප්‍රජාවට හිසරදය, ක්ලාන්තය, සහ ඔක්කාර ඇති කරන ඇතැම් විට සිහිසුන් කර රෝහල්ගත කරන විෂ වායුව කර්මාන්තශාලාවෙන් බාහිර පරිසරයට නිකුත්වීම වැළැක්වීමට බලධාරීන්ට තවමත් හැකියාව ලැබී නොතිබීම විමතිය දනවනසුලුයි.

ශ්‍රී ලංකාව තුළ ඕනෑම කර්මාන්තශාලාවක් පවත්වාගෙන යෑම සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබාගතයුතු වුවත් මෙම කර්මාන්තශාලාව අවුරුදු කිහිපයක් තිස්සේ ක්‍රියාත්මක වන්නේ එවැනි බලපත්‍රයක්ද නොමැතිව බවයි දැනගන්නට ඇත්තේ. නමුත් ඒ ගැන හාරා අවුස්සන්නට හෝ ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නට, මහජනතාවගේ බදු මුදලින් නඩත්තු වන පරිසර ආරක්ෂණ ආයතනවල මහජන බදු මුදලින් යැපෙන කිසිම රාජ්‍ය නිලධාරියෙක් ඉදිරිපත් වන්නේත් නැහැ. නමුත් තමන්ට සිදු වී ඇති අවනඩුව කියන්නට අධිකරණයට යාමට ජනතාව කටයුතු කරද්දී නම් එම නඩුවලින් චූදිතයන් නිදහස් වන ආකාරයට කොම්පැනියට අවශ්‍ය පරිදි සාක්ෂි ලබාදීමට නම් එම නිලධාරීන් ඉතා ඕනෑකමින් කටයුතු කළ බව පැහැදිලියි. ප්‍රාදේශීය, පළාත් සහ ජාතික මට්ටමේ දේශපාලකයන් පමණක් නොවෙයි ජනාධිපති දක්වාත් මේ ප්‍රශ්නය ගිහින් තිබුණත් ඔවුන් එම පුටුවල ඉන්දවූ ඡන්දදායකයන්ට තවමත් සැනසීමක් නැත්තේ මේ රට පාලනය කරන්නේ වෙන කවුරු හරි හින්දද මන්දා?

මාතෘකා