යක්ෂ පැටිකිරිය

යක්ෂ පැටිකිරිය

[ගාමිණී බස්නායක]

යක්කු වගේ වැඩ කරන මිනිසුන්ද යක්කු වගේ වැඩ කඩාකප්පල් කරන උදවියද ඕනෑතරම්ය. යක්කුන්ගෙන් වැඩගත්තු පරම්පරාවන් සේම බුදුන්ගෙන් බණ අසා දමනය වුණ යකුන්ද එක එක කාලවලදී කරළියට පැමිණෙයි. ආලවක යකා, මහසොහොන් යකා, කඩවර යකා, මළ යකා, කළු කුමාරයා ආදී මෙකී නොකී යක්ෂ සේනාවේ පරම්පරා ගලනය අවසානයේ නතර වූයේ ග්‍රීස් යකා ළඟය. ග්‍රීස් යකා ගං දොරවල හක්කලං කොරමින් වයසක ගෑනු පරාණම හොයපු එකනේ පුදුමේ කියන්නේ. ඕං ඉතිං ඉස්සර කාලේ නං යක්කු ඉව අල්ල අල්ලා ආවාය කියන්නේ නවයොවුන් වියේ මගුල් කිල්ලක් හොයාගෙන කියනවනේ. පෙති ගෝඹර ඉහිණු තරුණ ළමිස්සියන් ගෙදට්ට නාකි වෙනකොට කළුකුමාරයා බැල්ල හෙළන එක ගංතුලානේ සදා-දොළොස් කපටම වුණාය කියලයි පැරැන්නන් කියන්නේ. කාලයත් එක්ක හැමදේම වෙනස් වෙන හිංදද කොහෙද දැංනං තනි පංගලමේ යන උදවියට බැල්ම හෙළනවා කියන්නේ සුදු ඇඳගත්තු යක්කු කියනවනේ. කොහොමටත් විජයත් අන්දුං කුන්දුං කරන්න පුළුවන් ඉනාවක් තිබුණය කියන්නෙත් යකින්නියක් වෙච්ච කුවේණියගේ අතේ කියනවනේ. කුවේණිය කොරපු ශාපයටද කොහෙද මේ දිවයින අකාමකා යනවා කියලයි ඇතැම් අය කියන්නේ. එසේ මෙසේ කෙසේ කිව්වත් යක්කු ගැන කතා සහ යක්ෂ කතාවල නම් නිමාවක් විසිඑක්වැනි සියවසෙත් දකින්න නොලැබෙන එකමනේ කරුමේ කියන්නේ.

යන යකා කොරහ බිඳගෙන යනවා කියල කතාවට කියනවා වගේ කුවේණිය මියැදුණායින් පස්සෙන් පහුව එක එක යක්කු ගං දොරං ගානේ හක්කලං කළාය කියලයි කට්ටිය කියන්නේ. ජාතිවාදී යකා හිංදා ලංකාවේ අස්සක් මුල්ලක් නෑර මිනිස්සු දාස් ගාණක් මියැදුණු විත්තිය දැං කාට කාටත් අමතකයි නොවැ. ඒ ජාතිවාදී යකාවම දඩමීමා කරගෙන හරි හම්බ කරගත්තු උදවියත් ලංකාවේ ඕනෑතරම් සිටීම පුදුමයට කරුණක් නෙවෙයි නේ. ජාතිවාදී යකා පිටමං වෙන්නටත් කලියෙං ආව ආගමික යකා පටන් ගත්තෙම මහපොළොව නො උසුලණ විනාශයක් කරගෙනම. පාස්කු ප්‍රහාරය වුණාටත් වඩා වැඩි හානියක් වෙන්ට පටන් ගත්තේ ඊට පහුපස්සේ පාරක් පාරක් ගානේ වීදි බැස්ස යක්ෂ විමානේ හිංදයි. කොහොමින් කොහොම හරි සමහරු නිදාගෙන ඉන්න යක්කුත් අවුස්සගෙන කනවෝ කනවෝ කිය කියා දුවන අපූරුව තමයි බලන්නම බැරි. යක්කුන්ගේ ලේ නහරවල දුවන කවුරු කවුරුත් තමන්ගේ පපුවේ අරලේ මේ ලේ කිය කියා බෝඩ් කෑලි ගහගත්තෙත් යක්කු පාංසු වෙලා කියලයි කියන්නේ. යක්කුන්ගෙන් වැඩ ගත්තු උදවියට අවසානෙට සිද්දවුණේ යකා වැහුණා වගේ යකා කියන කියන විදිහට බඩ පිනුම් ගහන්ඩ.

මත්ද්‍රව්‍ය යකත් දැං අස්ප ගණං හිංදා පයිසෙකට මායිං නොකරන උදවිය තහනම් මත් වතුර බීල පාරක් පාරක් ගානේ මියැදෙනවා. මත්ද්‍රව්‍ය යක්කු භාවිත කරන උදවියට මරණ දඬුවම නියම කළත් ඒ උදවිය ඒමත්තෙම වැටිල නැහෙන එකනේ කරුමේ. විශාලා මහනුවර වගේ යක්කු හැම තැනම. පාරක තොටක ගියත් වාහන උඩ නැගල අහිංසක මිනිස්සු යටකරගෙන යන්නේ යකා අවේශ වුණා වගේ. පංචසීලය සාමාදන් වෙලා වැහි පිරිතයි මහා මංගල සූත්‍රයයි අහගෙන ගෙදරින් එළියට බහින යක්කු පාරතොට මුණගැහෙන ළමා දැරිවියන්ටත් පාඩුවේ යන්ට එන්ට නොදෙන එකනේ පුදුමේ. දැං දැං ඒ යක්කු කැම්පස්වලටත් රිංගගෙන අලුතෙන් එන කොල්ලො කුරුට්ටන්ට යම ලෝකේ දඬුවම් නියම කොරනවා කියන්නේ. ඔය අව්අස්සෙම තමයි අපේම යක්කු අපි කන බොන බෝගවලට ලෝකයේ වැඩියෙන්ම කෘමිනාශකයි රසායනික පොහොරයි යොදනවා කියල ආරංචි වුණේ. කොහොමින් කොහොම හරි ලංකාවේ වැඩි හරියක් ඉන්නේ වකුගඩු රෝගයට ගොදුරු වෙලා. තවත් උදවියට පිළිකා. තවත් උදවියට සුවකළ නොහැකි රෝගාබාධ කන්දරාවයි. යමක් කමක් ඇති උදවිය සිංගප්පූරු ගියාට අහිංසක මිනිසුන්ට නම් දෙයියන්ගෙම පිහිට විතරයි ඉල්ලන්න වෙන්නේ. මිනිස්සුන්ට යක්කු වැහිලා. උපදින්නයි මැරෙන්නයි පස්මහ බැලුම් නොබලන උදවිය අනෙක් හැම මගුලටම සුබ වෙලාවල් බලනවා. සමහර යක්කු හිතාමතාම මේ වගේ මිනිස්සුන්ව තමන්ගෙම ආදායම් මාර්ග කරගන්න එකයි කරුමේ කියන්නේ.

හොඳ හොඳ සෙල්ලං එළිවෙන ජාමෙට කිව්වා වගේ ජනාධිපතිවරණයක් ළඟ එන්න එන්න යක්කු වීදි බහින්න පටං අරං. ඒත් එක්කම මිථ්‍යාවත් වීදි බැහැලා. සමහරු දිනන්න හිතාගෙන පොල් ගහනකොට සමහර යක්කු සීනිගම ගිහිං මිරිස් අඹරනවා අනෙක් එකා කම්බස් වෙන්න කියල හිතාගෙන. වැස්ස වස්සන්න පුළුවන් යක්කුයි ලංකාව සුරපුරයක් කරන්නම් කියන යක්කුන්ගෙනුයි පාර තොට පිරී ඉතිරිලා යන්න වැඩි කාලයක් ගත නොවෙන්නත් පුළුවන්. සීසර් මැරුවට පස්සේ මාර්ක් ඇන්ටනී මිනිස්සුන්ගේ හැඟීම් දැනීම් කුපිත කරමින් මිනිසුන්ගේ උරිස් මතින් රජ වුණා වගේ කාට කාටත් රජ වෙන්නටත් වරම් ලැබෙන්නටත් පුළුවන්. ඒත් ඉතිං මේ යක්කුන්ට රජවෙන හැටි දැනගත්තට රජ කරවන හැටි නොදන්නකමනේ කරුමේ කියන්නේ. කොහොමටත් හෙට අනිද්දත් යක්කු තව තව උපදින්නටත් පුළුවන්. යක්කුන්ට ගිය රටනේ කියල බිම බලං ඉන්නවද? යක්කු වුණත් ගස් බැදල “ඉන්න හිතෙන රටක්” කොරවන්ඩ කටයුතු කරන එකයි මේ යක්කුන්ට තියෙන වගකීම වෙන්නේ. දහඅට සන්නියේ මහා කෝල යක්ෂයා තවත් යක්කු දහඅටක් මවලා විශාලා මහනුවර තුන් බිය ඇතිකළා වගේ කොරන්න කලින් පුරවැසි යක්කු පෙරමුණ ගන්ට ඕන කාලේ හරි...

 

මාතෘකා