මරණ දැන්වීම්

මරණ දැන්වීම්

උපත නිශ්චයකි. එය හඳුනාගැනීමට බොහෝ පෙර දැනුම්දීම් තිබේ. විපත එසේ නොවේ. පැමිණෙන දිනය නිශ්චිත නැත. උපතට සැමරුම් ඇතත් විපත එසේ සැමරිය යුතු නැතැයි සදාචාර සම්පන්න සමාජය විශ්වාස කරයි. උපතේදී විපත සිදුවන දිනය නිශ්චය කළ නොහැකි වීද උපත සහ විපත නිශ්චිතව සඳහන් වන්නේනම් ඒ මරණ දැන්වීමක පමණි.

මරණය නොදන්වා පැමිණෙන බව හැමෝම දනිති. දිනය කවදාදැයි නොදන්නා නමුදු දිනෙක මැරෙනා බව අප සියල්ලෝම දනිති. උපතක පෙරමඟ සලකුණු ලෙහෙසියෙන් හඳුනාගත හැකිය. එකී ලක්ෂණ විපතකට වඩා ස්ථීරසාරය. උප්පත්තිය සැලසුම් කළ හැකිය. එසේ කළ නොහැක්කේ මරණය පමණි. උපතට පෙර මෙන්ම පසුද සැමරුම් ඇත. එහෙත් විපත ඇත්තේ බොහෝ සැලසුම්, සැමරුම් අගය. මරණය නොදන්වා පැමිණෙන්නේ වීද ජීවිත කාලය පුරා එය අපට විවිධ මාර්ග ඔස්සේ දනවමින් පවතී. අවසන අප මියගිය බව දන්වන්නට වන්නේ මරණ දැන්වීමකිනි. මරණය අපව දනවන කොතෙක් අවස්ථා විඳිය හැකි වුවද අපට කිසි දිනෙක දැකිය නොහැක්කේ ‘මරණ දැන්වීම’ පමණි.

දැන් කාලය සහ තාලය වෙනස් වී ඇත. එබැවින් ජීවත්ව සිටියදී වුවද ඔබට ඔබේ ‘මරණ දැන්වීම’ දැකගැනීමට අවස්ථාව උදාවේ. කලෙක ෆේස්බුක්වාසීහු සියතින්ම සිය මරණ දැන්වීම් පළකර ගත්හ. ඉන් නොනැවතී ක්‍රමක්‍රමයෙන් අනෙකාගේ මරණ දැන්වීමද පළකරමින් පවතින්නේය. මෑත කාලයේ අප දෑස් ඉදිරියේම ජීවත්ව සිටි බොහෝ අය මියගියහ. අප ඔවුන් වෙනුවෙන් ශෝකයද පළ කර, නිර්වාණ සුවයද පැතූහ. යුතුකමක් ලෙස පණිවිඩය ඔවුනොවුන් අතර බෙදාහදා ගත්තෝය. සතුට කෙසේ වෙතත් දුක බෙදාහදා ගැනීමට අප ලෝබ නැත. එහිදී අපේ ක්‍රියාකාරී බව බොහෝ ඉදිරියෙන් පවතී. සුබපැතීමට පැනලා පැමිණීම අපට ජානවලින්ම පිහිටා තිබේ. එය උපතටද විපතටද කියා අපට අදාළම නැත. ඒ තබා එය ඇත්තද නැත්තද කියා වුවද තැකීමක් නැත.

ජීවත්ව සිටියදී මැරුණු බව ප්‍රසිද්ධ වීම දීර්ඝායුෂ ලැබීමට හේතුවක් යැයිද මතයක් පවතී. එය එසේනම් එකිනෙකාට මරණ දැන්වීම් ගසාගෙන දීර්ඝායුෂ පතාගැනීමේ උත්සව වුවද නුදුරේදීම පැමිණිය හැකිය. මැරෙන දිනය දීර්ඝ කළ නොහැකි බව දනිතත් ආයුෂ ටිකක් හෝ දිග වෙනවාට අකමැති කිසිවෙක් නැත. සෑම දහමක සසර අනිත්‍ය බව කියා ඇතත් ජීවත්වීම උදෙසා සෙත් ශාන්ති ඇත්තේ එබැවින් විය යුතුය. මරණය ඇත්තේ ජීවිතය කෙළවර බව දන්නේ වුවද තමන්ට කලින් අනෙකාගේ ජීවිතය කෙළවර වීම අපේක්ෂා කරන පැතුම් ඇත්තෝ අප අතර නොවේද..?

ජීවිතය යුද්ධයක් බව අප නිතර පවසන්නකි. එහෙත් යුද්ධයේදී මරණය ක්‍රීඩාවකි. ක්‍රීඩාවේදී දිනුමට යුද්ධද ඇතිවේ. දිනවීම් සහ දැනවීම් අතර ඇත්තේද තරගයකි. ඔබ ජීවත්වන්නේ ඔබ වෙනුවෙන්දැයි ඔබ එක් මොහොතකට සිතා ඇත්තේද? සිතුවේනම් මරණය යෙහෙකැයි ඔබට සිතෙනු ඇත. ඔබේ ජීවිතයේ ‘දැන්වීම’ කියවාගන්න. එහි ඇත්තේ ‘අල්පයක්’, ‘ස්වල්පයක්’ කියා නේද? තව කල්පයක් ගියත් ඒ අල්පයෙන් ඔබට සැනසිය හැකිද? නොහැකිය. ඒ ජීවිතය යනු රැස් කිරීම බවට ඔබට ඇති විශ්වාසයයි. රැස්කිරීමට වෙහෙස විය යුතුය. ජීවත්වීමම වෙහෙසකි. ඉන් නිදහස්වීමට මරණය පැමිණිය යුතුය. ඔබට නොදන්වා එය පැමිණෙන තෙක් ඔබ වෙහෙස වන්නේ ජීවත්වීමට නොවේද? මේ අප කාගෙත් ජීවිතවල අප නොකියවූ දැන්වීමය.

ඔබ මරණය දැක තිබේද? සියයට අනූවක උත්තරය ‘ඔව්’ විය හැකිය. ඔබ ‘නෑ’ යන උත්තරය දුන්නද ඔබට එය නොදැක සිටිය නොහැකිය. ඔබට ආයුධ දුටුවිට මරණය පෙනේවි. සුදුකොඩි, මල්වඩම්, ගොක්කොළ, සොහොන් කොත් දුටුවිටත් මරණය පෙනේවි. සුළඟක්, වැස්සක් පමණක් නොව, පාලකයෙක්, ජන්දයක් සිහිවුණත් මරණයක් පෙනේවී. ඒ ඔබ මරණය තුළ ජීවත්වන මිනිසකු බැවිනි. ඔබ කෙතරම් හොඳින් ජීවිතය සැලසුම් කළද ඔබේ මරණය ඔබට සැලසුම් කළ නොහැකිය. එය කෙරෙනුයේ තවකකු විසිනි. ඔබට ජීවිතය දැනේනම් මරණයට කවුරු දැන්වීම් ගැසුවත් පසුතැවිලි වියයුතු නැත. ඔබ පසුතැවිලි විය යුත්තේ ජීවිතය තුළ ඔබ මැරෙමින් පවතින බව දැනේනම් පමණි.

ජීවිත කාලයේම අප අපව සරසාගනී. සැරසිලි ජීවිතය කරගනී. එහෙත් අපට අපේ මරණය සරසාගත නොහැකිය. එය සරසනු ලබන්නේ තවකකු විසිනි. ජීවිතය සරසන්නට මිනිසුන් නොසොයන අප, මරණින් පසු අපව සරසන මිනිසුන් අපේක්ෂා කරයි. ඔබ සරන්නේ මිනිසුන් සමඟ නම් මරණින් පසු ඔබව සැරසීම වදයක් කරගත යුතු නැත. ජීවිතය තුළ ඔබ සැරිසැරූ අයුරු ඔබව මරණින් පසු සරසනු ඇත. ඒ ඔබේ ‘මරණ දැන්වීම’ ය. ජීවත්වන කාලය තුළම එය ඔබටම සකසා ගත හැකිය.

මියෙන බව දන්නා නිසා, මියයමින් ජීවත්විය යුතු නැත. ජීවිතය තුළ මැරෙන වාර ගණන අවම වූ විට මරණය තුළ සරන එකම ක්‍රීඩාවකි. නොමැරී සිටීමට නොව, සටන ඇත්තේ ජීවත්වීමටය. බිය වියයුත්තේ මරණයට නොව, ජීවිතය තුළ ඔබව මරණ හේතූන්වලටය. ඔබ කැමැත්ත දියයුත්තේ ඔබට මරණය පෙන්වන මිනිසුන්ට නොව, ජීවිතය පෙන්වන මිනිසුන්ටය. මරණය පොදුය. එය පෙන්වීම ලෙහෙසිය. ජීවිතය අපහසුය. එය පෙන්වන්නෝ දුලබය. මැරෙන්නට පෙර ඔබේ දැන්වීම ජීවිතය මත අලවාගන්න.

[ධනුෂ්ක බස්නායක]

මාතෘකා