වීරයන් අබ්බවමු!

 ඡායාරූපය:

වීරයන් අබ්බවමු!

ජීවිතය පුරා අපි එක එක හීන දකිනවා. සුන්දර හීනයක් අපි නැවත නැවත වුණත් දකින්න කැමතියි. අසුන්දර මහ භයානක හීනවලට බයවෙලා නැඟිටලා කෑ මොර දීපු මතකයන් පවා ජීවිත කතාවල තියෙනවා. සමහර ජීවිත කතා නපුරු හීන වගේ හරිම අසුන්දරයි. තවෙකෙක්ගේ කතාව සුරංගනා කතාවක් වගේ හරිම ලස්සන, දුක් දොම්නස් නැති කතාන්දර. ඇත්තටම නපුරු හීනයක් වගේ අසුන්දර ජීවිත කතා තිබුණු මිනිසුන් බොහෝ වෙහෙසවෙමින් තමන්ගේ ජීවන කතාව සුන්දර බවට පත්කරගන්නට උත්සාහ කරනවා. අපි පටන් ගත්තු තැන නොවෙයි වැදගත්, අපි කොතනද නතර වෙන්නේ කියන කාරණය මතයි ලෝකය මතකයේ තියාගෙන ඉන්නේ.

සාර්ථකත්වය ස්පර්ෂ කරපු මිනිසුන්ගේ ජීවන කතාවලින් මොනවද අපිට ගන්න පුළුවන් කියලා අවධානයෙන් බලමු. සෑම මිනිසෙක්ම අනන්‍ය කෙනෙක්. කවදාවත් කිසිවෙක් හා සම වෙන්නට බැහැ. නමුත් ඔබට ඔහු ඇසුරෙන් ඊටත් වඩා සමාජයේ වැදගත් මිනිසෙක් වෙන්න පුළුවන්. ඒ නිසායි අසාර්ථකත්වය, පීඩනය, දුගී බව, ප්‍රචණ්ඩත්වය වැනි මිනිසුන් පසුපසට ඇද දමන සාධක පරාජය කළ මිනිසුන්ගේ කතා කියවිය යුත්තේ.

කවදාවත් කිසිවෙකුට සම වෙන්න නොහැකියි කියලා කියන්නේ ඔබට ගමනක් නෑ කියන එක නෙවෙයි. ඔබේ ගමන ඔබ හඹා යන වීරයා පසු කරමින් යන ගමනක් බවට පත්වෙන්නේ කැප වීම මතයි. වීරයාගෙන් හරියාකාරව ඉගෙන නොගෙන ඔහු කොපි කරන්නට පටන් ගත්තොත් වෙන්නේ සදාකාලිකවම වීරයාගේ සෙවණැල්ලෙන් වැසුණු කෙනෙක් වෙන්නයි.

පරමාදර්ශී චරිත කියන්නේ යමක් සමාජයට දායාද කළ මිනිසුන්. නිතැතින්ම ඔවුන් වීරයන් බවට පත් වෙනවා. ඉතින් මිනිසුන් තමන්ගේ වීරයා වෙනුවෙන් පෙනී ඉන්නවා. ඔහු වෙනුවෙන් කතා කරනවා.ඒ වගේ හැසිරෙන්න උත්සාහ කරනවා. බාහිර පෙනුම ගොඩනඟාගන්න උත්සාහ කරනවා. එහි වරදක් වෙන්නේ නැහැ. ඒත් කොයිතරම් දුරට ඔහු ප්‍රකට කරපු වටිනාකම් උකහාගන්නවාදැයි සැකයක් තියෙනවා.

විශේෂයෙන් ලංකාව ඇතුළේ වීරයන් හරියට භාවිත කරන වාතාවරණයක් නැහැ. සමහර වෙලාවට ප්‍රකට කරන ලක්ෂණයක් තමයි අද ඉන්න වීරයාට ඒ තත්වය ඉක්මනින් අහිමි වෙලා ප්‍රතිවීරයෙක් වෙන එක. කතාවක් තියෙනවා "වීරයන්ට ඉන්න ලොකුම සතුරා අනුගාමිකයන්" කියලා.ලොවට වෙනසක් කරපු උත්තම මිනිසුන්ගේ නියමාදර්ශ පසෙකලමින් අනුගාමිකයන් වෙනස් මාර්ග ඔස්සේ ගමන් කරන්නේ ඒ නිසයි.

ආගමික ශාස්තෘවරුන්ගේ ඉගැන්වීම් කොයිතරම් දුරට අනුගාමිකයන් විසින් විවිධාකාරයෙන් යොදාගන්නවාදැයි තේරුම්ගන්න එක ආගමක් පාදක කරගෙන කොයිතරම් නිකායන් බෙදී ඇත්දැයි සිතීම ප්‍රමාණවත්. මෙහෙම වෙන්නෙ ඇයි? අනුගාමිකයන් විසින් තමන්ගේ වීරයන්ගේ ප්‍රතිරූපය පමණක් කරතබාගෙන යෑමෙන්. ඉන් වීරයාටත් වෙන්නේ ලොකු අගෞරවයක්. සමාජ ප්‍රගමනයට හේතු වන මානව සිතුවිලි වර්ධනයට බාධාවක්.

බුදුන් වහන්සේ දේශනා කළ පරිදි "ධර්මය කියන්නෙ පහුරක්." එය අපේ වර්ධනයට අවශ්‍ය වන මඟ පෙන්වීම කරන්නක්. වීරයොත් එහෙමමයි. ඔවුන් අපේ ජීවිතවල අසීරු අවස්ථා තරණය කරගන්න "පහුරක්"කරගන්නවා මිසක් කරතියාගන්න අවශ්‍ය නැහැ නේද? වීරයා කරේ තියාගෙන කියවා කියවා ඉඳිමින් හෝ ඔහු වෙනුවෙන් දිවි හිමියෙන් පෙනී සිටීමෙන් කුමන පලක් තිබේද?

ලෝකයට සාර්ථක බලපෑමක් කරපු මිනිසුන්ගේ ජීවිතකතා කියවා බලන්න කියලා ආදරණීය බලකිරීමක් කරන්නයි මෙතුවක් දුරට කියාගෙන ආවේ.බිංදුවේ ඉඳන් පටන් ගත් මිනිසුන්ගේ කතාවන්,බිංදුවටත් පහළට ඇදවැටුනු මිනිසුන් නැඟීසිටි ආකාරය ගෙනෙන බුද්ධිමය ආලෝකය නිසියාකාරව ප්‍රයෝජනයට ගතහොත් ඔබ නිරත ජීවන මාර්ගයට කදිම අත්වැලක් කරගත හැකි බවයි මා කියන්නට උත්සාහගන්නේ.

වීරයන් කියන්නේ ලෝකයට බලපෑමක් කළ මිනිසුන්. වීරයන් අවභාවිත කරමින් නිෂ්ඵල ලෙස කාලය ගෙවීම නිරර්ථක ක්‍රියාවක්. ඔවුන්ගේ කියුම් කෙරුම්, ජීවන චර්යා අධ්‍යයනය කර යමක් ජීවිතයට උකහාගැනීමයි කළ යුත්තේ.

මාලේ ගෙලේ-චේ පපුවේ

කිසිම දෙයක් නෑ ඔළුවේ

වීරයන් අදහන බොහෝ දෙනෙකුට ඒ තත්ත්වය අදාළයි. ලංකාව ඇතුළේ අවභාවිත කරපු වීරයන් දෙන්නෙක් තමයි චේ ගුවේරා සහ බොබ් මාලේ. ඔවුන්ගේ ජීවිතයෙන් උගත් පාඩම් මොනවාදැයි ලාංකේය සමාජය ස්වයං විවේචනයක් කරන්නට අවශ්‍යයි. නැවත නැවතත් අනාගතයේ වීරයන්ට අපි කරන්නෙත් ඔය දෙයමයි. අතීතයේ ආගමික නායකයන්ගේ ඉගැන්වීම් වලට වුණෙත් මෙය නොවේද?

මෙවන් මිනිසුන් ඇසුරෙන්, කියූ කියුම් ඇසුරෙන් ඉගෙන ගන්න උත්ප්‍රේරණය කරන වදන් මූලික අත්වැලක් සපයනවා. ඇස ගැටුණොත් අහක දාන්න එපා. එය ජීවිතයට ලොකු අත්වැලක් වනු නිසැකයි.

"ලෝකයට ඔබව වෙනස් කරන්නට ඉඩ දෙන්න. ඔබට ඉන් පසුව ලෝකය වෙනස් කරන්නට හැකියි"

චේ ගුවේරා වරක් එලෙස පැවසුවා. ඔවුන් පැවසූ වදන්වලින් කොතරම් දිරියක් ජීවිතය උදෙසා මුහු කරගත හැකි නොවේද?

"ඔබ යම් තැනකින් හෝ ආරම්භයක් නොගතහොත්, ඔබට යාහැකි ගමනක් නැහැ."

බොබ් මාලේ එලෙස පැවසුවා. ඔබේ ඉලක්කගත ගමන එක පියවරකින් හෝ ආරම්භ කළ යුතු බවයි ඔහු කියාදෙන්නේ.

වීරයන් හඹායන්න. කොයියම් මොහොතකවත් ඔවුන් අවභාවිත නොකර ජීවිතයට හරවත් යමක් එකතු කරගැනීමයි ඔවුන්ට කරන සැබෑ ගෞරවය වන්නේ. වීරයන් නොමරමු. වීරයන් අභිභවමු.!!!

[මේනක මදුජිත්]

මාතෘකා