කෑම

 ඡායාරූපය:

කෑම

[වෛද්‍ය බෝධිනී සමරතුංග]

නොනවත්වා හිස සොලවමින් සිටි ලෙච්චමී මට කිසිදාක අමතක නොවේ. ඇය සිටියේ මහලු නිවාසයකය. හිස සොලවමින් සිටින්නට වී ඇත්තේ ඇගේ රෝගී බව නිසාය. ඒ බවක් නොදැන සිටි ඇය මෙහි ගෙන ආවේ උතුරු කොන මහලු නිවාසය පවත්වාගෙන යන කන්‍යාසොයුරියන් විසිනි. ඇගේ දෙකනේ තිබූ ප්ලාස්ටික් ඇට අමුණා තනන ලද තරමක් දිග කරාබු යුගලයද ඒ හිස සෙලවිල්ල සමඟ රිද්මයානුකූලව සෙලවේ. එය සංස්ථානික මහා ධමනිය හෘදයට සම්බන්ධ වන තැන තිබෙන කපාට හරියාකාරව ක්‍රියාත්මක නොවීම නිසා ඇතිවන තත්ත්වයක ලක්ෂණයකි.

ඇයගේ අක්මාව අකර්මණ්‍යව ඇති බවක් පෙනෙන්නට විය. ස්කෑන් මඟින් ඉඟිකළ යම් යම් වර්ධනයන් මොනවාදැයි වටහා ගන්නට ඉන් සුළු පටක ප්‍රමාණයක් ගෙන සෛල පරීක්ෂා කළ යුතුය. මේ පැමිණ තිබුණේ කොළඹ ගොස් ඒ පරීක්ෂණ කරවාගතයුතු නිසාය.

හවස වාට්ටුව පුරා රෝගීන් බලමින් යන අප වෙත පැමිණෙන ලෙච්චමී ඔබමොබ බලයි.

“බත් කන්න බෑ ඩොක්ටර්..."

"කෑම නම් කටේ තියන්න බෑ”

සෙලවෙන හිසෙන් ඇයගෙන් ලැබෙන එවන් අහිංසක චෝදනා අපට නම් බොහොම හුරුපුරුදුය.

“එහෙනම් මොනවටද ආස?”යැයි ඇසූ විට ඇගේ පිළිතුර ඉඳිආප්ප හෝ ආප්පය. වෙනත් රෝගීන්ට වාගේ යම් දෙයක් කඩෙන් ගෙන්වා ගැනීමට ඇය අත මුදල් නොවීය. හැමදාම හවසට මේ අයට ඕනෑ කෑම වර්ගය විමසා ඒවා ගෙනෙන්නට කවරකු හෝ පිටත් කළ යුතුය. ඒ සඳහා මුදල් දෙන්නේ වෛද්‍යවරුන් වන අප කවරකු හෝ විසිනි.

මොවුන් බොහෝ කලක් සිටියේ යුද්ධයෙන් බැටකමිනි. දැන් සිටින්නේ ආර්ථික යුද්ධයෙන් බැට කන සමාජයකය.

“මෙහෙ එන්න ලෙච්චමී…කොළඹ යවන්නේ අක්මාවෙන් පොඩි ඉන්ජෙක්ශන් එකකින් පොඩි කොටසක් අරන් බලන පරීක්ෂණයට”

අපි ඇයට පහදා දෙන්නෙමු.

“ආ...”

විසල් කරගත් දෙනෙතින් අප දෙස බලාගෙන ඉන්නා ඇය ඊළඟ මොහොතේ “අනේ තව ටික කාලයයිනේ. මං ඔහේ ඉන්නම්”යැයි කියමින් ඉවත යයි.

මේ දුරු ඈත කොනේ සිට අගනුවරට ගිලන්රථයක් ගෙන්වා ගැනීම ලේසි පහසු කටයුත්තක් නොවේ.

ඔය අතරේ අපට දැනගැනීමට ලැබෙන්නේ හෘද කපාට සැත්කමක් කරගතයුතු විනෝදන් නමැති රෝගියකුද පිරිමි කායික රෝග වාට්ටුවට ඇතුළු කර ඇති බවය. දැන් ඔහු සහ ලෙච්චමී යන දෙදෙනාම අගනුවරට යවාගත හැකි වාහනයක් සොයාගත් මහා සංග්‍රාමයෙන් පසු මුහුණ දුන් අමාරුම කාර්යය වූයේ ඔවුන් දෙදෙනා මේ පරීක්ෂණ සහ සැත්කම්වලට කැමති කරගන්නා එකය.

අප බොහෝ කාලයක් වැයකර රෝගය සහ ඉන්ද්‍රිය ගැන විශේෂ පැහැදිලි කිරීම් ගණනාවකින් අවසානයේ ඔවුන් දෙදෙනාම අගනුවර යෑමට එකඟ විය.

“අනේ එහෙනම් යන්න බෑ දෙයියෝ” විටින්විට ලෙච්චමී පවසයි. විනෝදන් කියන්නේත් ඒ හා සමාන අකැමති ප්‍රකාශනය.

“අපිට සිංහල බෑනේ” ඔවුන්ගේ එකම නිදහසට කාරණාව එයය.

විවිධ ජාති, ආගම්වල සම්මිශ්‍රණයක් වූ ලංකාවේ බොහෝ ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණදීම අසීරු වන්නේ සන්නිවේදනයේ ඇති දුර්වලතා නිසාය. එහි ගිය අපි බොහෝ දෙනෙක් සුළු කාලයකින් දමිළ බස ඉගෙන කතා කරන්නට වීමු. එයට ප්‍රධාන හේතුව ඔවුන් සහ අප වෙන් කරන එක් දරුණු ආගාදයක් ලෙස මේ භාෂාව නොදැනීම අප විසින් හඳුනාගෙන තිබූ නිසාය.

එක්කෝ ඔවුනට සිංහල බැරිය. නොඑසේනම් කිසිදාක නොදුටු අගනුවර ගැනද එහි මිනිසුන් ගැනද ප්‍රමාණය ඉක්ම වූ බයක් කුතුහලයක් ඔවුන්ගේ සිත් තුළ ජනිත වී තිබිණ. සෙසු ලෝකය හා සලකන විට ඉතා කුඩා වපසරියක මේ භාෂා සියල්ල කතාකරන අයෙක් සොයාගැනීමද අපහසුය.

ඉන් දින හතරකට පසු උදෑසන වාට්ටුවට ගිය මා දුටුවේ බොහොම හුරුපුරුදු සෙලවිල්ලක් සහිත හිසකි.

“මොකෝ ලෙච්චමී වුණේ..කෝ රිපෝට් එක? ”මම ඇසුවේ කුතුහලයෙනි.

“මං කොළඹ ගිහින් ආවා”ඇය කීවේ එපමණකි. මහත් වැර වෑයම් කොට අසා දැනගත් පරිදි ඇය අගනුවරට ගොස් පැමිණ ඇත්තේ පරීක්ෂණ කිසිවක් නොකරමිනි.

“අනේ ඩොක්ටර්... දොස්තර මහත්තයෙක් ලොකු ෆෝම් එකක් කියවලා අස්සන් කරන්න කීවා. අම්මෝ මට බය හිතුණා. කොහොමත් මැරෙන එකේ ඔහොම මැරෙන්න බෑ"

එසේ කියමින් ඇය හිස සොලව සොලවා ඉවත ගියාය. සවස් වන විට නැවතත් කෑම පිළිබඳ චෝදනා නැඟෙන්නට විය.

“ඩොක්ටර් ඉඳිආප්ප නම් කන්න පුළුවන්”සෙලවෙන හිසින් ඇය මට එසේ කීවාය.

විනෝදන් සිදුකර තිබුණේද ලෙච්චමී මෙන්ම සැත්කම ප්‍රතික්ෂේප කිරීමය. එකල ඔවුන්ගේ බිය ගැන අපට දැනුණේ පුදුමයකි. ඒ උතුරු දකුණ බෙදෙන්නට වූ ත්‍රස්තවාදී යුද්ධයේ අතුරු කතාවකි.

රෝගියා වෙත සිදුකරනු ලබන ප්‍රතිකාර සහ ඒවායේ අතුරු ප්‍රතිඵල ඔවුන් වෙත ඉදිරිපත් කළ යුතුමය. මේ සියල්ලෙන්ම ඔවුන්ගේ ජීවිත සුරැකෙන බවද ඒ සමඟම ඔවුන් වෙත දිය යුතු පණිවිඩයයි. එමෙන්ම වැරැද්දක් සිදුවූ තැන එය පිළිගෙන වහා ඒ වරද නිවැරදි කිරීම සිදුකළ යුතුවේ. අක්මාවේ සහ හෘදයේ කළ යුතු මූලික පරීක්ෂණ අවශ්‍ය නැතැයි බියවූ ලෙච්චමී සහ විනෝදන් වැන්නෝ අදත් බෙහෙත් අහුරු ගිලිමින් පණනල රැකගැනීමට පොරබදිති.

 

(නම් ගම් මන:කල්පිතය)

 

මාතෘකා