තේරුම් ගැනීම

 ඡායාරූපය:

තේරුම් ගැනීම

පරිසරය නිර්මාණය වී ඇත්තේ සිද්ධි සහ සාධක මුල් කරගෙනය. එය එක් තනි සිදුවීමකට ලඝු වී නැත. හුදෙකලා සාධකයක් ලෙස ගිනිය නොහැකි තරමට එකට බැඳුණු පුරුක් එහි තිබේ. සමස්ත අවස්ථාව වටහා ගැනීමට පුරුකෙන් පුරුක විමසා බැලිය යුතුය. වේදයක් මෙන් මානසික අභ්‍යාස සහිතව අධ්‍යයනය කළ යුතුය. ‘තේරුම් ගැනීම’ තරමක් බැරෑරුම් කටයුත්තක් වීද ‘තේරුම’ ‘ගැනීම’ පහසුවෙන් කළ හැකිය.

අපට බොහෝ විට අසා හුරුපුරුදු “මා තේරුම් ගන්න.” යන ආයාචනය සහ "මට එය තේරුම්ගත නොහැකිය." යන අඳෝනාවය. අප වැස්ස හඳුනයි. එය ඵලයකි. වැස්සෙහි හේතුව වැහි ලකුණුය. නළලට එක් අතක් තබා අහස කියවන ගැමියකු "අද නම් වැස්සක් එන්න වගේ" යැයි කියනු ඔබ අසා තිබේද..? ඒ අනාවැකිය කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට වඩා ස්ථීර බව නිරීක්ෂණය කර තිබේද? පරිසරය කියවන්නට ඔබ පරිසරවේදියකු විය යුතු නැත. අනාවැකි කියන්නට ඔබ විද්‍යාඥයකු විය යුතුද නැත. වළාකුලක පැහැය, සුළඟක වේගය, කුරුල්ලකුගේ නාදය, ගෙම්බකුගේ හඬ පවා වැස්සක පෙරනිමිතිය. විදුලි, අකුණු එන්නේ ඊට බොහෝ පසුවය. ඔබ පාරිසරික මිනිසකු නම්, ඔබව තේරුම් ගන්න යැයි කිසිවකුට ආයාචනා කළයුතු වන්නේ නැත. ඔබම පාරිසරික සාධක කියවා එහි තේරුම ලබා ගනී.

ලෝක මුස්ලිම් සම්මේලනයේ මහ ලේකම් මොහොමඩ් බින් අබ්දුල්ලා කරීම් අල් ඉසා පසුගියදා ලංකාවට පැමිණ සිටියේය. ඔහුට තවත් තනතුරක් තිබිණි. එය වූයේ "ජාත්‍යන්තර විද්වතුන්ගේ සම්මේලනයේ සභාපති" යන්නයි. ඔබ ඔහුගේ මාධ්‍ය හමු නිරීක්ෂණය කළේ නම් ඔහු ඉංග්‍රීසි භාෂාව කතා නොකළ බව පෙනෙන්නට ඇත. ජාත්‍යන්තර කියූ සැනින් සුද්දාගේ භාෂාව වමාරනු දැක්මේ දොළ බොහෝ අයට උපදී. භාෂාව යනු සන්නිවේදන උපකරණයකි. ලොව සියලු භාෂාවන් ඔබ දැනසිටිය යුතු යැයි ඉන් අදහස් නොවේ. විද්වතකු මැනීමට ඔහු ප්‍රගුණ කර ඇති භාෂා ප්‍රමාණය සාධකයක් නොවේ. වැදගත් වන්නේ ඔහුට ඇති සමාජ දැක්මයි. ඔහුගේ පාරිසරික හැසිරීමයි. අපට යමකු තේරුම් ගැනීමට ඔහුගේ භාෂාව, දැනුම් මට්ටම, සමාජ තත්ත්වය, සමෙහි පාට, අඳින ඇඳුම හෝ අන් කිසිවක් අවැසි නොවේ. ඔහුගේ හෝ ඇයගේ සමස්ත ක්‍රියාදාමයෙහි තේරුම පමණක් ගැනීම සෑහේ.

පසුගිය දින කිහිපය පුරා ජනප්‍රිය කතාබහ වූයේ "සායනික අපද්‍රව්‍ය" ගැනය. එසේත් නොමැතිනම් "එංගලන්තයේ කුණු" ගැනය. මගේ සිහියට නැඟුණේම "මීතොටමුල්ල කුණු" කන්දයි. ඒ අපේ කුණුගොඩට යටවී මියගිය අපේ මිනිසුන් ගැනයි. අදටත් අපේ කුණුවලින් රටපුරා හමන දුගඳයි. අප කලින් කලට තලු මරන්නට වචන හොයනා මිනිසුන්ය. වඳ දොස්තරලා, පෘතුගීසි වෙද්දුන්ගේ සිට මද්‍රසා පාසල්, කාති උසාවි, ශරියා විශ්ව විද්‍යල වැනි වචනවලට දේශපාලන වේදිකා තනා තිබේ. ශබ්දයේ රිද්මය හසුවූ බැවින් ඔහේ කියෙව්වාට ඔය එකඳු වචනයක හෝ තේරුම ඇසුවහොත් එදාට අපි අනාථය. දොස්තරලාට ලෙඩ්ඩුන්ට බෙහෙත් නැති එකත් දේශපාලන වේදිකාවකි. මීඩියාවලට නවක වදයේ කුණු රසයත් ප්‍රවෘත්තියකි. සායනයේ සිට ශාසනය දක්වා අපද්‍රව්‍ය නැති තැනක් නැත. වේදිකාවල ඒවා මාතෘකා කොට තවත් ගඳ ගස්වනවා විනා, පිළියම් දුන් කෙනෙක්ද නැත. කතාවේ කෙටිම තේරුම ඒකය.

"ධර්මිෂ්ඨ සමාජයක්" වේදිකා නාට්‍යයයේ තැනෙක මෙවන් අදහසක් කියැවේ. "අපිට හැමදාම ඇපල් කන්න ලැබුණේ හතරට කපලා එක කෑල්ලයි. ඒත් දවසක් තාත්තා අපි හැමෝටම ඇපල් ගෙඩිය ගානේ දුන්නා. මට හොඳට මතකයි ඒ දවස. 83 ජූලිවල තාත්තලා දෙමළ කඩ කඩපු දවස..." මේ ඉතිහාසයේ කතාවකි. නමුත් අදටත් සිදුවෙමින් පවතින කතාවකි. අපි බෙදාගෙන කෑමට ප්‍රිය මිනිසුන් නොවේ. වඩා ප්‍රිය උදුරාගෙන, බදාගෙන කෑමය. බදා වැළැඳගැනීමේ සතුට විඳ හුරු නැති අපට, හුරුකරමින් යන්නේ බෙදී වෙන්වීමය. උපයාගෙන කෑම හුරු නැති අප, හුරුවෙමින් ඇත්තේම උදුරාගෙන කෑමටය. පක්ෂ වීමට වඩා අප කැමති විරුද්ධ වීමටය. විරුද්ධ පක්ෂ, ආණ්ඩු පක්ෂ බවටත් ආණ්ඩු පක්ෂ විරුද්ධ පක්ෂ බවටත් පෙරළෙන්නේ මේ න්‍යායෙනි. අපට තාමත් තේරුම් නොයන බව ඔවුන් හොඳින් තේරුම් ගත් න්‍යායද ඒකය.

අපේ සතුට ඇත්තේ "කඳුළු කවුන්ට් ඩවුන්" කිරීම තුළය. පාස්කු කඳුළු තාමත් මාකට් ඒකය. ලෝකය ව්‍යසනවලින් සහනය ලබාගන්නේ අතීතය පාඩමක් කොට එය නැවත සිදුනොවීමට වග බලා ගැනීමෙනි. එකී සිදුවීම් කෙරෙහි බලපෑ සියලු සාධක මානසිකව සහ පාරිසරිකව කියවා ගැනීමෙනි. අප සිදුවීම් කියවා ගන්නේ චරිත සහ කතා වෙන් කොට බෙදාගැනීමෙනි. චරිත කතාව පූර්ණව ගෙන කියවා තේරුම් ගැනීම තාමත් අපට ආධුනිකය. අප හැමදාමත් කළේ තවකෙකුගේ දිනුමට අත්පොඩි තලා, ඔවුන්ගේ පරාජයේදී හිත් රිදවා ගැනීමය. අප දිනුමට සහ පැරදුමට හේතූ නොදන්නේ ඒකය. ලෝක බොක්සිං ශූර මොහොමඩ් අලී ඒ ගැන අපූරූ කතාවක් කියා තිබේ. " ඔබ පරාජය වන්නේ වැටුණු දවසට නොවේ. නැඟිටීම ප්‍රතික්ෂේප කළ දවසටය." ඔබව තේරුම් ගන්නැයි අනෙකාට කෑගැසීම නවතන්න. ඔබ වටා සිදුවන සියල්ල එකතුකොට එකට කියවාගන්න. එවිට “හුදෙකලා සිදුවීම් එකම දාමයක පුරුක්ය” යන තේරුම ගැනීමට අපහසු නැත.

මාතෘකා