කුරිරු දෛවය!

 ඡායාරූපය:

කුරිරු දෛවය!

අද කාර්යාල දිනයක් නොවූ නිසා අපේ වසම් කාර්යාල පරිශ්‍රයේ තිබුණේ දැඩි නිහඬතාවක්. ග්‍රාම නිලධාරිතුමා හෝ සමෘද්ධි නිලධාරිතුමිය කාර්යාලයට පැමිණ නැහැ. ඒ, අද ඔවුන්ගේ ක්ෂේත්‍ර කටයුතු සිදු වන දිනයක් නිසා විය යුතුයි. පරිසරයේ නිහඬ බව නිසාම මම උදේම වැඩ ටික කරන්න ගත්තා. ඒත් ටික වෙලාවක් යද්දි මට එළියෙන් ඇහුණේ ගැහැනු කටහඬක්. ඒ හඬ මගේ දොර ළඟමයි ඇසුණේ. මම පුටුවෙන් නැඟිට ගිහින් දොර සම්පූර්ණයෙන් විවෘත කළා.

“මිස්, මං ආවේ මිස් හම්බවෙන්න!”

දොර ළඟ සිටියේ මා දැක පුරුදු නැති වයස අවුරුදු හතළිහක පමණ කාන්තාවක්. ඈ දුටු මතින් මා සසල වුණා. ඇගේ සම පිලිස්සී ගිහින්. දරුණුවටම පිලිස්සිලා. සමේ ඇඹුරුණු හා සුදු පැහැ වුණු සලකුණු ඇඟ පුරා. මං කිව්වෙ මෙච්චරයි.

“එන්න ඇතුළට. ඇවිත් වාඩි වෙන්න.”

ඇය මගේ මේසය අසල පුටුවේ වාඩි වුණා. ඈ අත තිබුණේ ෆයිල් කවරයක්. පුටුවේ වාඩි වෙනවාත් සමඟ තරුණියකුත් පැමිණ ඇය අසලින් හිටගත්තා. ඇගේ පෙනුමත් හැසිරීමත් අසාමාන්‍යයි. හරියට නුහුගුණයක් තියෙන කෙනෙක් වගේ. ඔවුන් දෙදෙනා ඉදිරියේ මං මොහොතකට අසරණ වුණා වගේ වුණා. ඒත් මා ලත් කම්පනය හංගාගෙන ඉන්න මට පුළුවන් වුණේ නැහැ. කාන්තාව මා දෙස බලාගෙන කළ හඬ අවදි කිරීමෙන් ඒ බව තහවුරු වුණා.

“මිස්, මිස්ට හිතාගන්නත් බැහැ නේද අපි ගැන.”

ඇගේ වදන් ඒ. එවදන් මා තවත් සලිත කළා.

“නැහැ. මම මේ කල්පනා කළේ ඔය දෙන්නා මං කලින් දැකලා නැහැ නේද කියල.”

මං අමාරුවෙන් වචන පෙරළුවා.

“මිස්, මේ මගේ දුව. ශාලිකා. වසය අවුරුදු විස්සයි. මම සමන්ති. අපි ඉන්නේ මංගල මාවතේ.”

එහෙම කියපු සමන්ති දුව දෙස බැලුවා.

“පුතේ, ඔයා එළියෙන් වාඩි වෙලා ඉන්න.”

ඇය දියණියට පැවසුවා. දියණිය මව කී දේ වටහාගෙන කිසි පැකිලීමක් නැතිව කාර්යාල කාමරයෙන් පිටතට ගියා. මට ඔවුන්ගේ හැසිරීම තවම ව්‍යාකූලයි. අපේ කාර්යාලයට ඕන තරම් මිනිස්සු එනවා. ඔවුන් සමහර විට හැසිරෙන්නේ කිසි ඉවක් බවක් නැතිව. ඒත් මේ අම්මයි දුවයි බොහොම පිළිවෙළට තමන්ගේ වැඩ කරගන්න උත්සාහ කරන බව පේනවා.

“මිස්, මම ආවේ මිස්ගෙන් උදව්වක් බලාගෙන.”

සමන්ති මගේ නිහැඬියාව බිඳ දැම්මා.

“ඔව්. කියන්නකෝ. මම මොනවද කරන්න ඕන?”

“මිස්, මගේ කතාව අවුරුදු විස්සක් පරණ එකක්. ඒ කතාව මේ ගමේ නොදන්න කෙනෙක් නැහැ. ගස් ගල් පවා කියයි මටයි දරුවටයි වෙච්ච අපරාදේ.”

එවර ඇය දෑසට නැඟුණු කඳුළු පිස දා ගත්තා. අනතුරුව ඇය ඇගේ කතාව මා ඉදිරියේ දිගහැරියා.

“මිස්, මම හන්දියේ හෝටලේ කරපු වීරසිංහ මුදලාලිගේ එකම දුව. දැන් හෝටලේ කරන්නේ මගේ මහත්තයා, සරත්. මට මේ දුව හම්බ වෙන්නයි හිටියේ මේ කරදරේ වෙනකොට. ඇත්තටම දුව හම්බ වෙන්න ඔන්න මෙන්න. එදා ඉරිදා දවසක්. මම දවල්ට කාලා පත්තරයක් බල බලා හිටියා. අම්මාත් ගෙදර හිටියා. අම්මා බබාට මහපු ඇඳුම් සෝද සෝදා හිටියේ. මම ඇඳගෙන සිටියේ සිල්ක් මිශ්‍ර ගවුමක්. මට තේ බොන්න හිතුණා. දර ළිප පත්තු කළොත් හොඳයි කියල හිතලා මං අම්මාට කථා නොකරම කුස්සියට ගියා. දර කෝටු ටික ළිපට ළං කරලා භුමිතෙල් බෝතලේ ළිපට හළලා ගිනිකූර ගැහුවා. ඒ එක්කම ඒ ගින්දර මගේ ඇඟට ආවා. මම දන්නේ එච්චරයි. සිහිය එනකොට මම සිටියේ දැඩි සත්කාර ඒකකයේ. සිහිය ආව ගමන්ම දුව සීසර් කරලා ගත්තා. ඉපදෙනකොට දුව සාමාන්‍ය දරුවෙක් වගේ පෙනුණා. ඒත් එයා ලොකු වෙනකොට මනස දුර්වල වුණා. එයා සෙමෙන් වැඩෙන දරුවෙක් කියල දොස්තරලා සොයා ගත්තා. ඒකට හේතු වෙලා තියෙන්නේ එදා මම ගින්දරට පිච්චුණ එකලු.”

ඇය දිගු සුසුමක් හෙළුවා. සැබැවින්ම ඒ කතාව මාව ගොළු කළා. මට ඇය එක්ක කථා කරන්න බොහෝ දේ තිබුණා. ඒත් මගේ මුවින් වදන් පිට වුණේ නෑ. අන්තිමේ, සෑහෙන වෙලාවකට පස්සේ මගේ හඬ පිට වුණා.

“මම ඕන උදව්වක් කරන්නම්. මොකක්ද දැන් කෙරෙන්න ඕන?”

“මිස්, අපි දුවව සෙමෙන් වැඩෙන දරුවන් ඉන්න ඉස්කෝලෙකට දාලා ඉගැන්වුවා. එයා සෑහෙන හොඳට එහි ඉගෙනගත්තා. දැන් එයාට රූපලාවණ්‍ය පාඨමාලාවක් කරන්න ඕනලු. මිස් දන්නා රජයේ හොඳ තැනක් කථා කරලා දෙන්න පුළුවන්ද? ඒකටයි මම මේ ආවේ.”

ඇගේ ඉල්ලීම එයයි. මා කිව යුත්තේ කුමක්ද? මට ලොකු රාජ්‍ය හෝ පෞද්ගලික සබඳතා නෑ. ඒත් මම ඇයට සුබවාදී පිළිතුරක් දුන්නා.

“හා. පුළුවන් තරම් ඉක්මනින් මම ඔයාට එහෙම තැනක් සොයලා දෙන්නම්.”

දවසේ රාජකාරි තව කොච්චර ඉතුරු වුණත් මට ඒවා කරන්න හිත හදාගන්න පුළුවන් වුණේ නැහැ. ඇගේ කතාවෙන් මා මනසින් බිඳ වැටුණා. ඒත් ඇය! ඇය ශක්තිමත්ව නැඟී සිටිනවා. ඇය අවුරුදු විස්සක් පුරා සිය දියණිය වෙනුවෙන් කැප වෙනවා. දෙවියනි, දෛවය අප එකිනෙකාට මෙතරම් අකාරුණික ලෙස සලකන්නේ ඇයි? ඇය මගෙන් සමුගෙන ගිය පසු මමත් වසම් කාර්යාලයෙන් පිටව ගියා.

 

[එරංගා පල්ලියගුරුගේ]

මාතෘකා