මෙවන් සමාජය ගෙනෙයි විනාශය

 ඡායාරූපය:

මෙවන් සමාජය ගෙනෙයි විනාශය

අවුරුදු මාසය අවසන් වෙමින් පවතී. වෙනදා වෙසක් එන තුරුම අපේ රටේ අවුරුදුය. එහෙත් හිටි හැටියේම මෙවර අවුරුද්ද අත්හිටුවා තිබේ. සියලු උත්සව නවතා දමා ඇත. නෑගම් යෑම්වල ද අඩුවක් පවතී. රටම මළ ගෙයක් වගේය. වසර දහයකට පෙර රටේ තිබූ භීතිය යළිත් ඇතිවී තිබේ. ජීවිත පරදුවට තබා වසර තිහක් තිස්සේ යුද වැද දිනාගත් ඒ නිදහස එක මොහොතකින් විනාශ කර තිබේ. ඒ ත්‍රස්තවාදියාගේ හැටිය. ආගම දහම නොහඳුනන හිත් පිත් නැති ත්‍රස්තවාදියාට ඕනෑම විනාශයක් කළ හැකිය. ඒ බව යළිත් වරක් තහවුරු කර තිබේ. එහෙත් එවැනි අය බිහිවන්නේ අප අතරින්ම නොවේදැයි මට හිතුනේ මේ කතාව ඇසූ විටය.

එදා පොඩි හිටියන් වූ අපේ දරුවන් දැන් වැඩිහිටියන්ය. ඔවුන් අවුරුද්දට අප බලන්නට එන්නේ මහ ගෙදර එනවා කියාය. මවුපියන්ට බුලත්දී වැඳ ආශීර්වාද ලබා ගැනීම ඔවුන්ගේ අපේක්ෂාවය. ඒ කටයුතු දැන් අහවරය. දැන් ඔවුන්ගේ අපේක්ෂාව අප ඔවුන්ගේ ගෙවල්වලට පැමිණීමය. මවුව්පියන්ට තමන් අතින් සෑදූ කෑම වේලක් දෙන්නට ඔවුන්ට තිබෙන්නේ මහත් උවමනාවකි. ඒ එදා මෙදා තුර අප රටේ පවතින මහා සංස්කෘතියේ සවිමත් බැඳීමකි. විසිරී සිටින පවුලේ හැමෝම එකට එකතු වී ආහාර වේලක් ගැනීම තරම් වෙනත් සතුටක් අවුරුද්දේ නැත. මේ සතුට මේ අවුරුද්දෙත් ඒ ආකාරයෙන්ම අපි අත්වින්දෙමු.

නාරාහේන්පිට පදිංචි වී සිටින අපේ ලොකු පුතාගේ නිවසේ අවුරුදු වෙනුවෙන් දිනක් ගත කළ මාත් බිරිඳත් ආපසු එන අපේක්ෂාවෙන් සිටියේ නාරාහේන්පිට දුම්රිය ස්ථානයේය. ඒ පසුගිය 21දාඅය. අප සිටියේ පාදුක්ක බලා එන දුම්රිය පැමිණෙන තුරුය. අප දෙදෙනා බංකුවක වාඩිවී සිටි අතර එහි කෙළවර වාඩිවී සිටියේ තවත් මැදි වයස ඉක්මවූ පුද්ගලයෙකි.

වෙලාව උදේ 9.56ය. මගේ බෑගයේ තිබූ දුරකථනයට එක දිගට පණිවුඩ ගලා එන්නට විය. 'කොච්චිකඩේ දේවස්ථානයේ පිපිරීමක් ' . ' කටුවාපිටිය දේවස්ථානයේ පිපිරීමක් ' . ' ශැන්ග්‍රිලා සහ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල්වල පිපිරීම් ' එක දිගට ගලා ආ පණිවුඩ ඇති කළේ මහත් කම්පනයකි. වසර 10කට පෙර විසාලා මහනුවරක් වූ කොළඹ නගරය මනසේ චිත්‍රනය වන්නට විය.

'' මහත්තයා මොකද ප්‍රශ්නයක්ද?'' මා අසල වාඩිවී සිටි පුද්ගලයා මගෙන් විමසුවේ මගේ ඉරියව් වෙනසක් දැක වන්නට පුළුවන.

''ආයේ කොළඹ එක දිගට බෝම්බ පුපුරනවලු. දැනටම 4ක් පුපුරලා ලු.''

''අනේ මන්දා රටට මොනවා වෙන්න එනවද කියලා. එක අතකින් පුදුම වෙන්න දෙයකුත් නෑ. සමාජය අධර්මිෂ්ඨ වුණාම මෙහෙම වෙනවා. මහත්තයෝ මම නම් දැන් මළත් කමක් නෑ කියලා මම හිත හදාගෙන ඉන්නේ.''

''ඇයි ලොකු උන්නැහේ එහෙම කියන්නේ.''

''මහත්තයා දන්නවද මට දරුවෝ 4ක් ඉන්නවා. මං ඔවුන්ට හොඳට ඉගැන්නුවා. අද ඔවුන් සමාජයේ ඉහළ යැයි පිළිගත් රැකියාවල නිරතව ඉන්නවා. හැබැයි ඒ එක දරුවෙක්වත් ජීවිතේ කවදාවත් මට දණගහලා වැඳලා නෑ කියලා කිවොත් මහත්තයා පිළිගන්නවද?''

''මොකක්, කොහොමද එහෙම වෙන්නේ ?''

''කොහොම හරි ඒක වුණා. එහෙම තමයි මගේ හාමිනේ ළමයි හැදුවේ. ඔවුන්ට ගුණධර්ම කියා දුන්නේ නෑ. කිසි දවසක දහම් පාසලකට යැව්වේ නෑ. බුද්ධාගම විෂය මං පාස් කරලා දෙන්නම්. උඹලා දහම් පාසල් යන්න ඕනේ නෑ කියලයි ඈ කීවේ. ඉතින් උන් ඉගෙන ගත්තා විතරයි. දැන් හැම දහ ජරා වැඩක්ම කරනවා. හැබැයි උන් ඉහළ තැන්වල ඉන්නවා. ''

මට දැනුණේ බෝම්බ පිපිරෙනවා යැයි දැනගත් විට දැනුණු කම්පනයට වඩා කම්පනයකි. මේ නම් මහා අවාසනාවන්ත තත්ත්වයකි. ඔහු වරද පැවරුවේ බිරිඳටය. එහෙත් පියා වශයෙන් ඔහුගේ වගකීම ඉටු විනිදැයි අපි නොදනිමු. වරද කාගේද? කාගේ වරදින් හෝ සමාජයට මවුව්පියන්ටවත් නොවඳින දරුවන් දායාද වී හමාරය. එවැනි පවුල් මේ සමාජය තුළ තවත් තිබිය හැකිය. ජීවිතේට පියාට නොවැඳි දරුවකුගෙන් සමාජයට ආදරයක් කරුණාවක් බලාපොරොත්තු විය හැක නොවේ. ඔහු කීවේ ඔවුන් සමාජයේ ඉහළ තැන්වල සිටින බවය. එසේ නම් අද සමාජය හසුරුවන්නේ මෙවැනි අය නොවේද? එවැන්නන් හිත්පිත් නැති රොබෝවරු සේ කටයුතු නොකරයිද? අප යහපත් සමාජයක් අපේක්ෂා කරන්නේ මෙවැන්නන් ගෙන්ද?

පීඩාකාරී සිතිවිලි හදවතට වදදෙද්දී දුම්රිය ගේට්ටුවේ රතු එළිය දැල්විණි. ඈතින් දුම්රිය පෙනෙන්නට විය. දුර තියාම දුටුවේ දුම්රිය මැදිරි පිරී ඇති බවය. ඉතා අපහසුවෙන් අපි දුම්රියට නැඟ ගතිමු. ඒ ජීවිතය පිළිබඳ අවිශ්වාසය ද සමඟය.

[නන්දසේන උඩුගම]

මාතෘකා