පාස්කු ඉරිදා ප්‍රහාරය සහ සමාජ පුරවැසිභාවය

 ඡායාරූපය:

පාස්කු ඉරිදා ප්‍රහාරය සහ සමාජ පුරවැසිභාවය

සතුන් අතර සිටින හොඳම සත්ත්වයා මිනිසාය. එහෙත් යුක්තිය සහ නීතියෙන් ඈත් වූ විට නරකම සත්ත්වයා වන්නේද ඔහුය” යනුවෙන් ඇරිස්ටොටල් පඬිවරයා මීට වසර තුන්දහසකට පෙර තබන ලද සටහන මට පසුගිය පාස්කු ඉරිදා යළිත් සිහිවිය. තිරිසනුන් පවා නොකරන දෙයක් එදින මිනිස් තිරිසනුන් පිරිසක් විසින් සිදුකරන ලදී. එදා ලෝකයටද අපටද වටිනා ජීවිත විශාල ප්‍රමාණයක් අහිමි කරන ලදී.

ත්‍රස්තවාදයට ඇස් නැති බව ප්‍රකාශ කළත් මේ ත්‍රස්තවාදයට හොඳට ඇස් තිබුණේය. ඔවුහු කලින් සැලසුම් කළ මනාව සම්බන්ධීකරණය කළ ප්‍රහාරක මාලාවක් කිසිදු ආරක්ෂක යාන්ත්‍රණයකට හසු නොවී එකම මොහොතක ස්ථාන කිහිපයක සිදුකළහ.

මෙම ත්‍රස්තවාදයට ආගමක්ද තිබේ. මනුෂ්‍යත්වයට එරෙහිව සිදුකළ එම අපරාධය පිටුපස පවතින්නේ උන්මත්තක ආගමික න්‍යායකි. ලෝකය තනි ඉස්ලාම් රාජ්‍යයක් විය යුතු යැයි අදහන වහාබිවාදය යැයි හඳුන්වන අන්තවාදී ඉස්ලාම් ධර්මය මෙම කණ්ඩායම ගොඩනැඟීමට අවශ්‍ය මනෝමය වාතාවරණය සපයා ඇත. මේ මතවාදය යොදාගෙන සිරියාවේ සහ ඉරාකයේදී ක්‍රියාත්මක වී සිටින ඉස්ලාම් රාජ්‍යය (Islam State – IS) යනුවෙන් හඳුන්වන ත්‍රස්තවාදීන්ගේ අනුග්‍රහය සහ ආදර්ශය මොවුන් විසින් ලබා ගෙන තිබෙන බව පෙනේ.

ගෝලීය වශයෙන් ක්‍රියාත්මක වන ත්‍රස්තවාදයක ඉලක්ක සමඟ බැඳී තිබෙන බැවින් මේ ප්‍රහාර මාලාව විසින් අපවද එම ගෝලීය යුද බිමට කැඳවා ඇත. එම ඉස්ලාම් ත්‍රස්තවාදයට ඔවුන්ගේ යුද බිමක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගැනීම වහාම කළ යුතු දෙයයි. මේ කාර්ය දේශපාලන නායකත්වය විසින් සපයන ප්‍රතිපත්ති මඟපෙන්වීම ඔස්සේ ආරක්ෂක අංශ විසින් ඉටු කරනු ඇතැයි පුරවැසියාගේ කොලමේ අපේක්ෂාවය. මෙම ප්‍රතිපත්තිය සකස් කිරීම පටු දේශපාලන බල අරමුණු පැත්තකට දමා එකිනෙකාට චෝදනා කරමින් “මං සුදනා” වීමට ක්‍රියා නොකර අපේ දේශපාලන නායකයන් විසින් දැන්වත් සිදුකරනු ඇතැයිද අපගේ බලාපොරොත්තුවය.

වැරදුණේ කොතැනද යන්න සෙවිය යුතුය. එය අවශ්‍ය වන්නේ වහා ගතයුතු ක්‍රියාමාර්ගය හඳුනා ගැනීමටය. දේශපාලන වාද භේද අවුස්සා සටන දුර්වල කිරීමට නොවේ. අපේ දේශපාලන නායකයන් සහ ආගමික නායකයන් එක්සත්ව පාර්ලිමේන්තු කාරක සභාවක් මඟින් සකස් කරන ලද “දියවන්නා ප්‍රකාශනය” මේ සඳහා අගනා ප්‍රවේශයක් සපයයි.

අද අප වැඩියෙන් යොමුවන්නේ මෙම අවස්ථාවේදී පුරවැසියන්ගේ කාර්යභාරය ගැනය. “සමාජ පුරවැසිභාවය”යනුවෙන් අප හඳුන්වා දුන් සංකල්පය මඟින් අප පෙන්වා දුන්නේ සමාජයේ ශිෂ්ටත්වය ආරක්ෂා කර ගැනීම අපට පවරන ප්‍රධාන වගකීම බවය. අපට ශිෂ්ටසම්පන්න සමාජයක ජීවත්වීමට ඇති අයිතිය රැක ගැනීමට නම් ත්‍රස්තවාදය සමාජය තුළින් ඉවත් කළ යුතුය. මේ සඳහා අපට ආසන්න වශයෙන් පැවරී තිබෙන වගකීම වන්නේ එයට එරෙහිව ආරකෂක අංශ විසින් ගෙන යන ක්‍රියාමාර්ගවලට අපට ලබා දිය හැකි ආධාරය ලබා දීමය. මෙහිදී වැදගත් වන්නේ නීති විරෝධී ක්‍රියාවන් පිළිබඳව අවශ්‍ය තොරතුරු සපයා දීම පමණක් නොවේ. වැරදි තොරතුරු සැපයීම සහ එම අංශ නොමඟ යවන කටයුතු සිදුනොකිරීමද එයට ඇතුළත්ය.

දැනටමත් පෙනී ගොස් තිබෙන්නේ මුස්ලිම් ප්‍රජාවේ නීතිගරුක සහ අන්තවාදීන් නොවන පුරවැසියන්ගේ සහයෝගය නිසා ආරක්ෂක අංශවලට මහත් පහසුවක් ලැබී තිබෙන බවය. ඒ අතර ව්‍යාජ ලෙස සැකසූ ද්‍රව්‍ය මහමඟ දමා ගොස් ඔවුන්ව සහ පොදු මහජනතාව අපහසුවට පත් කළ සිදුවීම්ද සිදුවී තිබිණි. පළමු කණ්ඩායම සිය සමාජ පුරවැසිභාවයේ වගකීම් ඉටු කරන අතර දෙවන කණ්ඩායම කරන්නේ සමාජය පිළිබඳව තමන්ට ඇති වගකීමට ද්‍රෝහිවීමය.

මේ අතර ඉතාම වැදගත් අවශ්‍යතාව වන්නේ ජාතික සහ ආගමික සමගිය ශක්තිමත් වන ක්‍රියාකාරකම් මඟින් මෙම ත්‍රස්තවාදීන්ට පවතින්නට පහසුකම් සලසන සමාජ සන්දර්භය නැති කර දැමීමට ක්‍රියා කිරීමය. ත්‍රස්තවාදියා නමැති මාළුවා ජීවත්වන්නේ සමාජය නමැති ජල ටැංකිය තුළය. එම ජල ටැංකිය තුළ සමාජ අසමානත්වය, කොන් කිරීම සහ ආන්තිකකරණය වැනි තත්ත්වයන් විසින් ත්‍රස්තවාදියා ජීවත් කරවයි. සමාජය ඒවායින් හිස් කළහොත් ත්‍රස්තවාදියාට ජීවත්වන්නට ජලය නැතිවී යනු ඇත. එම නිසා මේ අවස්ථාවේදී සමාජ පුරවැසිභාවය වන්නේ අප විසින් ජාතිවාදය අවුස්සන වෛරී ප්‍රකාශ සිදු නොකරන්නට වග බලා ගැනීමය. එය ත්‍රස්තවාදය ව්‍යාප්ත කරනවා පමණක් නොව අපේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයද පටු කරනු ඇත.

මෙම අන්තවාදී ආගමික කණ්ඩායම ක්‍රමයෙන් වර්ධනය වූ අන්දමත් ඔවුන් නිකායවාදී ගැටුම් මුස්ලිම් ප්‍රජාව තුළ ඇති කර ගත් ආකාරයත් 2013 පමණ කාලයක සිට මුද්‍රිත මාධ්‍ය විසින් හෙළිදරව් කරන ලදී. අපේ රටේ මුස්ලිම් ප්‍රජාව තුළ අතුරු කණ්ඩායමක් ලෙස පැනනැඟී ඇති නිසා ප්‍රධාන මුස්ලිම් ප්‍රජාවේ නායකයන් සහ සාමාජිකයන් මෙම කණ්ඩායමට විරුද්ධව අනෙකුත් ආගමික කණ්ඩායම් සමඟ දැනටමත් එක්වී සිටීම ඉතා වැදගත්ය. සැබෑ ලෙසම සමාජය පිළිබඳ වගකීම ඇති පුරවැසියන් විසින් කළ යුත්තේ එම සහයෝගය පළුදුවීමට ක්‍රියා නොකිරීම අතර එය ශක්තිමත් කිරීමට ක්‍රියා කිරීමය. පුරවැසියන් යනු බුද්ධිය මෙහෙයවන පිරිසක් මිස හැඟීම් අවේගවලින් දුවන රංචුවක් නොවේ. එය දැනටමත් අපේ බහුතර පුරවැසියන් විසින් පෙන්වා තිබීම සතුටට කරුණකි.

මාතෘකා