රත්න ශ්‍රීගේ හදවතින් එච්.එම්.

 ඡායාරූපය:

රත්න ශ්‍රීගේ හදවතින් එච්.එම්.

සැඳෑ යාමය එළැඹෙමින් තිබුණත් බක්මහේ ප්‍රචණ්ඩ හිරු කිරණින් සුදෝ සුදු චිතකය නැහැවෙමින් තිබුණා. තමන් අපමණ සන්තුෂ්ටියට පත්කළ තවත් විස්මිත ගාන්ධර්වයෙකු වන එච්.එම්.ගේ වියෝවෙන් ප්‍රකම්පිත රසවතුන්, සහෘදයන් සිය දහස් ගණනක් ඒ හිරු මඟ හරිමින්, පසුගිය බදාදා, 10 වැනිදා බොරැල්ල සුසාන භූමියේ රැස් වී සිටියා.

දශක කිහිපයකට පෙර එච්.එම්. ජයවර්ධනයන් මොණරාගල, සියඹලාණ්ඩුවේ සිට කොළඹ එන්නේ ගැමි නාද රටා, ගැමි රිද්මය සේම ගැමි සුවඳ සිය අධ්‍යාත්මයෙන්ම තුරුළු කරගෙනයි. අපට පහසුවෙන් සමීප විය හැකි, අපේ මිනිසුන්ට පහසුවෙන් රසවිඳිය හැකි ගී තනු රැසක් ඔහු අපට දායාද කළා. එච්.එම්.ගේ සමහර ගී තනුවල ඇතැම් නාද ඛණ්ඩ ක්‍රමයෙන් ඇසී නෑසී ගොස් ශ්‍රාවකයාගේ ආධ්‍යාත්මයෙහි චිත්තජ නාද රූපයක් බවට පත් වෙනවා. ඒ නිසා ඔහුව අපි හඳුනා ගන්නෙ ඩයිනමික් නැතිනම් වර්ගයේ සංගීතවේදියෙක් හැටියට. මේ ලක්ෂණය චයිකොස්කි වැනි සංගීතවේදියෙකු ඇසුරෙහිත් දැකගත හැකි වුණු බව විචාරක මතයයි. ඔහු බොහෝ විට මූලික ස්වර 5ක් කේන්ද්‍ර කරගෙන ගී තනු නිර්මාණය කළ සංගීතවේදියෙක්. හින්දුස්ථානි සංගීත සම්ප්‍රදායේ එන ‘මධුමත් සංරග’ රාගයේ ලක්ෂණ ඔහුගේ අතිශය මිහිරි බොහෝ ගී තනු රසාකරයේ සැඟවී තිබුණා.

එච්. එම්. මේ භෞතික ලෝකයෙන් සමුගත් හෝරාවෙහි අපේ ප්‍රවීණ සාහිත්‍යවේදී ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ කවීන්ද්‍රයාණන් කළ දෙසුම රැස්ව සිටි සංවේදී මිනිසුන්ගේ හදවත් තෙත් කළ ආත්ම ප්‍රකාශනයක්. එවැනි අවංක කතාවක් මා බොහෝ කලකින් ඇසූ බවක්වත් මගේ මතකයේ නැහැ.

“... එච්.එම්. මගේ චිර:කාලීන මිත්‍රයා යන්න ගිහින්. අපි දිගු කලක් එකට වැඩ කළා. සද්ධිවිහාරිකයෙක් විදියට මම අවුරුදු හතරක් ඔහුගේ ගෙදර හිටියා. එච්.එම්. කියන්නේ මට හමුවුණු ඉතාම නිර්මාණශීලී මෙන්ම අව්‍යාජම, අහිංසකම, අකුටිලම කලාකරුවායි. එච්.එම්. කවදාවත් මනුස්සයෙකුට බණිනවා මං දැකලා නෑ. කොච්චර මිත්‍රයෙක් වුණත් මටත් කවරදාකවත් උඹ කියල කතා කරලා නෑ. එච්.එම්.ට අපේ තියෙන ආදරේ බොරුවක් නෙමෙයි. ඒක ඇත්ත ආදරයක්.

ඔහු අන්තරාවර්තී ඒ කියන්නේ ඇතුළට නැමුණු හිතක් තිබුණු මනුස්සයෙක්. 1990දි මම කොළඹ රැකියාවට පැමිණියා. මා නැවතී සිටියේ මාකොළ නවාතැන් පොළක. දවසක් මහ රෑ දොළහට විතර එච්.එම්. මට කතා කරල කියනවා රත්නෙ, මං දිවිනසා ගන්නවා කියලා. මං කලබල වෙනවා. ඒ මහ රෑම යනවා එච්.එම්.ගෙ නිවසට. යනකොට සාලෙ මැද්දෑවෙ මේ මිනිහා බිබී හිනා වෙවී ඉන්නවා. ඒ තමයි එච්.එම්. අපේ රටේ මහා නාදේශ්වරයා ආචාර්ය රෝහණ වීරසිංහ බව අපි පිළි ගන්නවා. මං රෝහණ ඉදිරිපිටමයි මේ කියන්නෙ.රෝහණත් මා එක්ක එකඟ වෙයි. ඛෙම්ටෝ තාලය හෙවත් 6/8 තාල රූපයෙන් එච්.එම්. තරම් මධුර, විස්කෘත තනු නිර්මාණය කළ වෙනත් සංගීතඥයෙක් තවත් නැති බව මට විශ්වාසයි. ඔහු අත පත්වෙන සියලු රචනා කියවලා බලලා ඔහු නිර්ණය කරනවා මේක තමයි ගැලපෙනම තනුව කියලා.

ඔබ හිතන්න, එච්.එම්. මහා දුෂ්කර ක්‍රියාවක් කරනවා. සාමාන්‍ය පෙළ අසමත් වෙලා පස්සර මහා විද්‍යාලයෙන් එළියට ආවට පස්සෙ ඔහු ආපහු ගමට ගිහිං ලියුං බෙදනවා. ගස් ඉරනවා. අඩියට සත හැටක් වෙනුවෙන් බුරුත කඳන් එක්ක හැප්පෙනවා. කංසා වවනවා. මහියංගනේ ගිහින් ගොවි හමුදාවෙ වැඩ කරනවා. මැක්සිම් ගෝර්කි ජීවිතේ ඉගෙන ගත්තෙ සමාජයෙන්. එච්.එම්. කියන්නෙ ගෝර්කි වගේ මිනිහෙක්. සමාජයෙන් ජීවිතේ ඉගෙන ගත්ත මනුස්සයෙක්. ඔහුට ‘ඔබයි රම්‍ය සඳ කිරණ’ පද මාලාව ලැබෙද්දි ඔහු ලුණුගල සේවය කළ පතල් කම්කරුවෙක්. ඔහු මේ පදවැල අරගෙන ලුණුගල තානායමට ගිහිං මේ මධුර තනුව නිර්මාණය කරනවා. ඒ මධුර තනුවෙ පිරෙන්නෙ පතලෙන් නැඟුණු ඔහුගෙ ජීවිතේ පිරී පැවතුණු වේදනාවන්ගෙන්. ඔහු ලුණුගල තානායමේදි ස්වර ප්‍රස්ථාරවලට මිශ්‍ර කරන්නෙ ඒ වේදනාව. ඔහු ශ්‍රේෂ්ඨ සංගීතඥයෙක් වෙන්නෙ එහෙමයි.

මේ රටේ රසික ප්‍රජාවම ඔහුට ණයගැතියි. මේ මධුර තනු කොහෙන්ද ආවෙ කියලා කවුරුවත් ඇහුවොත් ඒකට උත්තර දෙන්න එච්.එම්. නෑ. ඔහු විඳි කටුක දුක් අතරින් පෙරී එන වේදනාව තමයි එච්.එම්. මේ මධුර තනු බවට පත් කළේ. බුදුහාමුදුරුවෝ අපිට කිව්වෙ ඉපදීම දුකයි කියලා. හැබැයි ඒ දුක අඩු කරන්න, මාතෘ සහ ළදරු මරණ අනුපාතිකය අඩු කරන්න විද්‍යාවට හැකි වෙලා තියෙනවා. ජරාවට පත්වීම දුකයි. හැබැයි රූපලාවන්‍යාගාර තියෙනවා. ඒඩ්ස් හැරුණාම හුඟාක් ලෙඩ රෝගවලට විද්‍යාවෙන් ප්‍රතිකාර හොයාගෙන තියෙනවා. අප්‍රියයන් හා එක්වීම දුකයි. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි. යමක් නොලැබීම දුකයි. හැබැයි ඒ දුකට විද්‍යාවෙන් බෙහෙත් හොයාගෙන නෑ. ඒ දුකින් යම් ප්‍රමාණයකින් හෝ නිදහස් වෙන්න එච්.එම්. ඔබ නිර්මාණය කළ ඒ මධුර තනු උපකාරී වෙනවා. ජීවිතේ දාලා යන්න බෑ කියලා අපට හිතෙන්නෙ ඇයි? අපට ආදරේ කවුරු හරි ඉන්න නිසා අපට ජීවිතේ ඕනේ. ජීවත් වෙන්න උගන්නපු ඔබ අපෙන් වෙන් වෙලා යනවා. දවසක අපටත් යන්න වෙයි එච්. එම්.

“තොටුපොළේ හිඳිමු අපි, ඔබට යා හැකී

අත වනා ඔබෙන් සමුගන්න බෑ සකී...”

මාතෘකා