ලේ ගලන හදවත

 ඡායාරූපය:

ලේ ගලන හදවත

ඒ සේයාරුව මගේ හදවත මොහොතකට නතර කළේය. බෝම්බ පිපිරුමෙන් තැනින් තැන කඩතොලු වූ ඒ ජේසු ප්‍රතිමාවෙහිද ඒ වටා බිත්තිවලද රතු පැහැ රුධිරය විසිර තිබේ!

ලෙයින් තෙත් වී සුන්බුන් සහිත දෙව් මැදුර ඉදිරියේ ලේ ගලන හදවතින් ඔහු තවමත් නැඟී සිටී!

ඒ මුහුණ මට පෙනෙන්නේ උසුලා ගත නොහැකි වේදනාවක් දරා සිටින්නාක් මෙනි.

වසර දහස් ගණනකට පෙර ඈත රටක සිටි, මිනිසුන්ට ආදරය කළ විප්ලවවාදියකු, කුරුසයේ ඇණ ගසනු ලැබූ බව මා උගත්තේ කුඩා කාලයේය. උපතින් බෞද්ධයකු වූ මුත් ඒ විප්ලවවාදියාට ආදරය කරන්නට මගේ ආගම කිසි විටෙක හරස් වූයේ නැත. කුඩා දැරියකව සිටියදී, අනුරාධපුරයේ සමාධි පිළිරුව මෙන්ම, මා උගත් පාසලෙහි කන්‍යාරාමයේ තැන තැන තිබූ ජේසුතුමන්ගේත් කන්‍යා මරිය තුමියගේත් ප්‍රතිමා දෙස නැවතී බලා සිටින විට මට දැනුණු පහන් හැඟීම, වචනවලින් හරඹ පාන්නට උගත් වැඩිහිටි අවධියේදී පවා මට විස්තර කරන්නට නොහැකි විය.

එහෙත් කුරුසයේ ඇණ ගැසූ ජේසු ප්‍රතිමාව කවදත් මට ගෙනාවේ දරුණු වේදනාවකි. බොහෝ විට ඒ දෙස නොබලා ඉන්නට මම වෑයම් කර ඇත්තෙමි. ඒ දුක්ඛිත දර්ශනය දුටු විට ඇති වන වේදනාව මගේ ඇටකටු තුළට පවා දැනේ!

පසුගියදා, මීගමුව, කටුවාපිටියේ බිහිසුණු බෝම්බ ප්‍රහාරයකට ලක්වූ ශාන්ත සෙබස්තියන් පල්ලියේ ඉහත කී ජේසු ප්‍රතිමාවෙහි පින්තූරය දකින විට මට දැනුණේද ඒ දරුණු වේදනාවය. ඒ සමග බාලවියේ මතකයන් හිත පතුළේ තිබී උඩට ඇදෙමින්, මගේ සිත කඳුළු ගංගාවකින් පුරවා දැමුවේය.

මගේ පමණක් නොව අපේ පරපුරේ වැඩි දෙනකුගේ ජීවිතවල පරිච්ඡේද සියල්ලම ලියවී ඇත්තේ මෙවැනි ලේ, කඳුළු වැකි කතාවලිනි.

අසූ තුනේ කළු ජූලියෙන්ද අසූ අට - අසූ නවය කාලයේ භීෂණ සමයෙන්ද උතුරේ සිවිල් යුද්ධයෙන්ද කළුවර වූ දවස් මිස අපට සුමිහිරි තරුණ සිහින දකින්නට කාලයක් තිබී නැත.

කඳුළු අපේ දෙනෙත්වලට කොහොමත් පුරුදුය!

ඉවසා දරා ගන්නට බැරි අයුක්තිසහගත සිදුවීම් දෙස හිරිවැටුණාක් මෙන් බලා සිටින්නට අපට දැන් පුරුදුය.

යහපත් සිහින දුටු මිනිසුන් සදහටම අප අතැර යනු බලා හිඳීමෙන් ඇති වන හදවත කකියවන වේදනාව අපට දැන් පුරුදුය.

ඒ සියල්ල මැද භයානක ලෙස නිහඬව සිටින මිනිසුන් ඉවසා දරාගෙන අපට කොහොමත් පුරුදුය!

ශාන්ත සෙබෙස්තියන් දෙව්මැදුරෙහි ලේ වැකුණු ජේසු ප්‍රතිමාව දෙස බලාගෙන මම ජීවිතයේ එවැනි වේදනාවලින් තොරව ගත කළ කාලයක් සිහියට නඟන්නට තැත් කළෙමි.

ඇත්ත වශයෙන්ම එවැනි කාලයක් තිබිය හැක්කේ මා හතර වැනි ශ්‍රේණියේ සිටි කාලයට පෙරය. එවක සිදු වූ කළු ජූලිය නම් ඒ අවාසනාවන්ත සිදුවීම්වල සිටම, අප ඇසුවේම වේදනාවන් ගැන පමණය. හයක් හතරක් නොතේරෙන එවැනි කාලයක සිට මේ දක්වාම අපේ හදවත්වලට සැනසුම් සුසුම් හෙළන්නට ඉඩක් තිබුණේ නැත.

අපි කොයිතරම් අවාසනාවන්තයෝ වෙමුද?

ශාන්ත සෙබස්තියන් මැදුරේ ජේසු ප්‍රතිමාවෙහි පින්තූරය දෙස තවදුරටත් බලා සිටියදී හදවතේ අහුමුලු අස්සෙන් යාන්තම් එක සුන්දර මතකයක් සිහියට නැඟිණි. ඒ, අසූ ගණන්වල මුල හරියේ මා ප්‍රාථමික පන්තියක සිටියදී ගිය චාරිකාවකි.

එය මහ ලොකු චාරිකාවක් නොවේ. ඒ, ආගමික සිද්ධස්ථාන නරඹමින් මගේ පාසල පිහිටි කෑගල්ල නගරය හරහා පයින් ඇවිද ගිය චාරිකාවකි. ශාන්ත මරියා රෝමානු කතෝලික දෙව් මැදුරෙන්ද, වෑවලදෙණිය විහාරස්ථානයෙන්ද, කෝවිලෙන්ද, මුස්ලිම් පල්ලියෙන්ද, ගල් පල්ලිය ලෙස අප එවක හඳුන්වනු ලැබූ ක්‍රිස්තියානි පල්ලියෙන්ද ඒ චාරිකාව අවසන් කරන විට කෑගල්ල නගරයේ එක් කොණක සිට අනෙක් කොනට පැමිණිය හැකිය.

එදා ඒ ආගමික සිද්ධස්ථානවලට ගොඩවැදුණු අපට කිසිවකු සංහිඳයාව ගැන බණ දෙසූ බවක් මගේ මතකයේ නැත. හැම ආගමික සිද්ධස්ථානයකදීම ඒ ඒ ආගමේ හරයන් ගැන ඒ ඒ පූජකයන් විසින් කුඩා අපට තේරෙන ආකාරයට කරුණු පැහැදිලි කර දෙන ලදි. එපමණි.

එහෙත් ඒ පාඩමේ විසල් බව මට දැනෙන්නේ දැන්ය!

අදත් සියලු මිනිසුන් මනුෂ්‍යත්වයෙන් වැලඳගන්නට මූලික පදනම මට වැටුණේ එදාය. නින්දා ගැරහුම් මැද වුවජාතිවාදයටත් ආගමික අන්තවාදයටත් කොන්දේසි විරහිතව එරෙහි වීමේ ශක්තිය මට ලැබුණේ එදාය. එදා මා සමග ඒ ගමන ගිය බොහෝ මිතුරියන්ට මා මෙන් සිතන්නට අදද හැකියාව ඇති බව අදහමි. ඒ පාඩම කියා දුන් මගේ පාසලටත්, ගුරුවරුන්ටත් මම අදත් හිස නවා ආචාර කරමි!

අද දවසේ ඇතෙක් බරට පොත් පිටේ එල්ලාගෙන තරගයට පාසල් දුවන දරුවන්ට එවැනි පාඩම් ලැබෙනවාද කියා නොදනිමි.

හදවතේ නැඟෙන කඳුළු අතරින් ඔවුන් දෙස බලා සිටින්නෙමි.!

මාතෘකා