වැල් කොහිලයි අඹරැල්ලයි

 ඡායාරූපය:

වැල් කොහිලයි අඹරැල්ලයි

ගොඩ එළවළු එව්වා මෙව්වා අල, මැල්ලුම් ඔයාකාර හත් කොට්ටහක් ජාති එක්කහු කරල උයන හත්මාළුවත් එක්ක බත්කටක් කන එක තමයි අලුත් අවුරුද්දෙ සපරගමුවෙ ඇත්තන්ගෙ අවුරුදු කැවිල්ලෙ සිරිත. මං සපරගමුවෙක් නොවිච්චකොට ඔයාකාර අවුරුදු කැවිල්ලකට ආගන්තුකයි තමයි, ඒත් කැටේපොල දයාසේන ලොකු ඉස්කෝලෙ මහත්තයා ඒ කාලෙ අවුරුදු කාපු අන්දම ගැන කරපු කතිකාවකදි ඔයි ගැන කියාලා තිබ්බා. ඒ වුණත් මේපාර මටත් අවුරුද්දෙ බත් කටක් කන්ඩ පුළුවන් වුණා හත්මාළුවක් එක්ක නමෝවිත්තියෙන් නැකතට පස්සෙන් පහු බඩට වැඩ අල්ලන වෙලාවෙ. ඒකත් හරියට අපේ අර කලවම් මැල්ලුම වාගෙ මොනව හරි හත් කොට්ටහක් මුහුවෙලා තියෙනවා නෙව. ඕං ඒකෙ තිබ්බා කිරිඅල, වට්ටක්කා දළු, තව ඇටබැට ජාතිත්. එහෙව් එකේ රහ විතරක්යැ ගුණෙනුත් මොන අඩුවක්දෑ.

ඉතිං දැන් නොකියා කොහොමද, උඩහවන්නියෙ ඌවෙ වෙච්ච අපිත් හත්මාළු නොකාපු උදවිය නෙවෙයි. හැබැයි අපි හත්මාළු කෑවෙ අලුත් අවුරුද්ද ඉස්සර කරාන නෙවෙයි. බතට කන්ඩ මාළු වෑංජන උයන ජාති අහේනි වුණාම හරි පිරිමහගන්ඩ සිද්ධ වුණාම හරි තමයි. ඉතිං එතකොට අතට අහුවෙන ඇහැට මුලිච්චි වෙන ජාති කවලමේ උයලා ගන්නවා. ඕං සමහර වෙලාවට ඒක හත් නෙවෙයි දාහත් මාළුව වුණාම මොකද අගුණක් නැත්තං.

හරි ඉතිං මං පහුණු දවස්වල කොළබොල මැල්ලුම් ගැනනෙ කතාවාඩිය ගහගෙන හිටියෙ. ඒක ලේසියෙන් අස්කරන්ඩ හැටියක් නෑ. මොකද මැල්ලුම් කතා පතරංගෙ වගේනෙ. එළිමහනෙ ඇන බාගෙන මේ ලිවිල්ල ලියද්දිත් ගජරාමෙට පලගත්ත කහට ගහක් ඇහේ වැදෙන එකේ අපි කාපු බිම් සාරෙ කොහොම අමතක කරන්ඩද? මයෙ අප්පේ ඒ අතරෙ පිපිච්ච ඉදලෝලු යායක් ඇහැ ගැටෙන් නැතුං පරවෙලා ගිහිං බඩේ අවාසනාව බිං කුරුවන්නෙ වාසනාව. හා අර පානදුර රත්නපුරා පාරෙ එද්දි නෝබට් අයගමගේ මහත්තැන් ලියාපු 'කාල නදිය ගලා බසී' මතක් වෙනවා. පාර ඇදෙන්නෙ ගඟ අද්දරින් හින්දා. ඒ මං අයිනෙ මියෙන, බැර කොකු එක්ක කබරැස්ස වැල්වල දලුත් මිටි බැඳලා තියෙන්නෙ විකුණන්ඩ. දැකල නුහුරු නම් අහනවා කවුරු වුණත් මේ මොනාද කියලා. ඔය කබරැස්සත් හරිම ගුණ අගේ පලාවක්නෙ. කෑලි වෙන්ඩ කපලා ගොරකා කෑල්ලක් දෙකක් දාලා තම්බ දිය පෙරාලාලා මිරිස් තුනපහ ඩිංගක් ඇඹුල් තක්කාලි ඩිංගක් දාලා මිටිකිරි ටිකක් එක්කහු කරලා හිඳෙන්ඩ උයා ගන්ඩ ඕන.

ඇයි ඉතිං ඕං ඔයාකාර උයාගන්ඩ අගෙයි කැබැල්ල දලුත්. කැබැල්ල දලු ටිකත් ගොරකා කෑල්ලක් දෙකක් දාලා තම්බා දිය බේරාගන්නවා මුලින්. හැබැයි ඉතිං එව්වා ඒ හැටි මෙලෙක නැතිවෙච්චිකොට හීන්වෙන්ඩ අඹරා ගන්න එකයි ඊගාව කාරිය. මිරිස්ගලේ දාලා මිටුවන්කැටෙන් අඹරගත්තම තමයි ඔය කොයිවත් රස. දැන් ඉතිං මේ අඹරගත්ත තලපෙ පැත්තක තියලා ඇතිළියකට තෙල් ඩිංගක් දාලා පැහෙද්දි ඒකට අමු මිරිස්, රතු ලූනු ලියාලාලා බැදෙන්ඩ අරිනවා. මිරිස්, දුරු කුඩු ටිකත් ඒකටම එක්කහු කෙරුවට කාරියක් නෑ. දැන් තියෙන්නෙ තම්බලා අඹරගත්ත කැබැල්ල දලු ටිකත් එකතු කරන එක. මේක අති රහවෙන්ඩ නම් පොල් මිටිකිරි ඩිංගකුත් දාලා හින්ද ගන්න එක අමතක කරන්ඩ එපා ඕං.

ඔය අව්අස්සෙ වැල්කොහිල වැලක් යාංවෙලා අඹ ගහක සිරියාවෙ බැරුවා. දැන් ඉතිං අලුත් පරම්පරාවෙ බවලත්තු එහෙම මේවා ගැන දන්නෙ නෑ නෙව. අර ආලංගා වැලක් වාසනාවට හැදුණත් එව්වයෙ තෝම්බුව නොදැන උගුල දාන්නැහේ වැල් කොහිලත් කපලා බිම ඇද දානවා. ඔයික බොහෝම ගුණයිලු මූලග්ගාය තියෙන උන්දැලට. පමණක් දෙටුවො කිව්වෙ වැල් කොහිල දලු ඩිංගක් තව් මරා කන්ඩ කියලා. හැබැයි එවෙලෙ කෑවත් කිසි විනැම්බෑසියක් වෙන්නෙ නෑ. ළපටිම දලු මලවලා මිරිස් කරලක් දෙකක් එක්ක තෙම්පරාදු කරගන්ඩ හරි නැත්නම් කලවම් මැල්ලුමකට ගන්ඩ හරි පංකාදුයි. වැල් කොහිල රිකිලිවල උඩම දලු තුන නෙව කන්ඩ ගන්නෙ. එව්වා පරිප්පු එක්ක කිරට උයලා අබ, මිරිස් කරල් හෙම දාලා තෙම්පරාදු කරගෙන නැත්තං කොච්චි දාලා බැදලත් රහයි. ඇයි පරිප්පු වෙනුවට කොස්ඇට දැම්මත් මොකදෑ රහයි නෙව.

කොළ ඉවිල්ල ගැන ආයෙ කියනකං අඹරැල්ල මාළුවක වරුණෙ කියල යන්ඩ අවසරයි මේක උත්සව කාලෙ හින්දා. මේ වට්ටෝරුව අපේ හුණුකුඹුරෙ ගෙදර උඩහ නැන්දගෙ. උන්දැයි උන්දැගෙ ඉවිලියි ගැන වෙනම ලියන්ඩ තරම් වටිනවා. කොහොල්ලැත් උයන්ඩ දන්නවා නෙව. මේ මාළුවට ගන්න අඹරැල්ල ගෙඩි පොතු ඇරලා හතරට පළාගෙන ඇතිළියකට දා ගන්නවා. ඒකට එක්කහු කරනවා මිරිස් කුඩු, බැදපු තුනපහ, ලුණු, රම්පෙ කරපිංච, කුරුඳු, කරාබු නැටි, කරඳමුංගු, සේර වාගෙ ජාති. දැන් තව මැටි ඇතිළියක් ළිප තියාලා ඒකට සීනි අහුරක් දාලා පෙණ එනකන් උණුකරලා ලාවට කළු වෙන්ඩ ඇරලා අර අඹරැල්ල ටික දාලා වහලා තැම්බෙන්ඩ අරිනවා. තැම්බුණාම ඇතිළිය බාලා තව සීනි ටිකක් ඉහිනවා. දැන් තෙල් ළිප තියලා අබ, රතුලූනු බැදෙන්ඩ ඇරලා අඹරැල්ල වෑංජනය තෙම්පරාදු කරගන්නවා. ඕං උස්මුරුත්තා හදාගන්නවා එහෙම නෙවෙයි.

[ලසන්ත ද සිල්වා]

මාතෘකා