සුදු ඇඳගෙන කළු ඇවිදින්

 ඡායාරූපය:

සුදු ඇඳගෙන කළු ඇවිදින්

“එක දවසක් පළඟැටියෙක්

සිතුවමක් ඇන්ඳා

සිතුවමක් වගේ සිතියමක් ඇන්දා

සිතියමේ උන්නු සමනළයා

මංමුලා වුණා මල් හොයලා ”

සුනිල් කොස්තා විසින් රචනා කර අධ්‍යක්ෂණය කරන ලද “සුදු ඇඳගෙන කළු ඇවිදින්” ටෙලිනාට්‍ය සතියේ සෑම දිනකම රාත්‍රී 9.00ට ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශනය වෙමින් තිබේ. බොහෝ කාලයක් ටෙලිනාට්‍ය කලාව පිළිබඳව තිබූ විවේචන යම්තාක් දුරට සමනය කිරීමට මෙම ටෙලිනාට්‍ය සමත් බව දැකිය හැකිය. ටෙලිනාට්‍ය කලාව සම්බන්ධයෙන් පැවති බරපතළ විවේචනය වූයේ අරුත්සුන්, නොගැඹුරු, සරල රසවින්දනයකින් යුක්ත ටෙලි නාට්‍ය විකාශනය වනවාය යන්නයි. ඇතැම් ටෙලි නාට්‍ය සාලය මධ්‍යයේ විකාශනය වුවද පවුලේ සියල්ලන්ටම එක්ව රසවිඳිය නොහැකි තත්ත්වයේ ඒවා විය. ඉන්දියාවෙන් ආනයනය කළ ඇතැම් ටෙලිනාට්‍ය ලාංකේය ප්‍රේක්ෂකයාගේ රසවින්දන මට්ටම ඉතා පහළ මට්ටමට රැගෙන යාමට සමත් විය. කුඩා දරුවන්ගේ පවා හිත් දූෂණය කිරීමට හා නිර්මාණශීලී භාවය දුර්වල කිරීමට එම ටෙලිනාට්‍ය හේතු විය. “සුදු ඇඳගෙන කළු ඇවිදින්” ටෙලිනාට්‍ය එවන් විවේචනයන්ට යම් සාධනීය ආකාරයකින් මැදිහත් වන නිර්මාණශීලී උත්සාහයකි. කාලයක් තිස්සේ පැවති වට්ටෝරුගත ආකෘතිය බිඳ දමමින් අධිතාත්වික නිර්මාණ ප්‍රවේශයකට නාට්‍ය ගමන් කර තිබේ.

ග්‍රාම්‍ය පරිසරය උත්කර්ෂයට නැංවීම ලාංකේය කලා භාවිතාවන්හිදී නිරතුරුවම සිදුවන්නකි. දේශීය වශයෙන් නිෂ්පාදනය වූ හා ශ්‍රේෂ්ටත්වයට පත් වූ බොහෝ ටෙලි නිර්මාණයන්ට පසුබිම් වී ඇත්තේ ග්‍රාම්‍ය පරිසරයයි. ග්‍රාම්‍ය ජනතාව පෙළන්නා වූ මූල්‍යමය දිළිදු භාවය මෙන්ම බුද්ධිමය දිළිදු භාවයද මෙම නිර්මාණයන් ඔස්සේ සාකච්ඡාවට ගෙන ඇත. “සුදු ඇඳගෙන කළු ඇවිදින්” ටෙලිනාට්‍යයේ වස්තු විෂය විකාශනය වන්නේ එතෙක් පැවති ග්‍රාම්‍ය පරිසරයට කොළඹ නාගරික හැදියාවන්ගෙන් හික්මුණු මවක් සහ දියණියක් පැමිණීමෙන්ය. ඒ දෙදෙනාගේ පැමිණීම කිනම් අරමුණක් කරා කේන්ද්‍රගත වන්නේ දැයි ප්‍රේක්ෂකයා නොදනී. එම රහස දන්නේ මව පමණකි. මේ කතාවත් සමඟින්ම වැසී යන්නට නියමිතව තිබෙන, රතු එළි නිකුත් වී තිබෙන ග්‍රාම්‍ය පාසලක් නැවත ගොඩනැංවීමේ ක්‍රියාවලියක්ද විකාශනය වේ.

ලංකාවේ ආදායම් බෙදී යාමේ විෂමතාව මත බිහි වන ‘ජනප්‍රිය පාසල්’ හා ‘දුෂ්කර පාසල්’ මෙරට අධ්‍යාපනයේ මඟහැරිය නොහැකි අභියෝගයකි. ශිෂ්‍යත්වය වැනි විභාගයන් සමත් වීමෙන් නාගරික ජනප්‍රිය පාසල්වලට දරුවන් ඇතුළත් වීමේ ප්‍රතිශතය සියයට හැටක් පමණ ඉහළ අගයක් ගනී. සැබෑ ලෙසින්ම නාගරික ප්‍රදේශයන්හි පදිංචි වී සිටින අඩු ආදායම්ලාභී දරුවන්ට එම ජනප්‍රිය පාසල්වලට ඇතුළත් වීමම “මරාගෙන මැරෙන යුද්ධයක්” වී අවසන්ය. එහෙත් ගමේ පාසල් එවන් යුද පිටියක් නොවේ. අලුතින් දරුවෙකු ඇතුළත් නොවන ගාණය. දිනෙන් දිනම පාසලේ ඉගනුම ලබන දරුවන් පාසලෙන් ඉවත්ව නාගරික පාසලවලට සංක්‍රමණය වේ. ග්‍රාම්‍ය දුෂ්කර පාසල් වසා දැමීමෙන් මූල්‍යමය දිළිඳු භාවයෙන් මෙන්ම බුද්ධිමය දිළිඳු භාවයෙන් පීඩාවට පත්ව සිටින දරුවන්ට සිදුවන්නේ තවත් පීඩාවකි. අපි සාකච්ඡා නොකර සිටියද සාකච්ඡා කළ යුතුම මාතෘකාවක් සුදු ඇදගෙන කළු ඇවිදින් ටෙලි නාට්‍ය ඔස්සේ ප්‍රේක්ෂකයා අභිමුවට රැගෙනවිත් තිබේ.

ලක්ෂමන් මෙන්ඩිස්, චාන්දනී සෙනෙවිරත්න, උමයංගනා වික්‍රමසිංහ, නිරෝෂන් විජේසිංහ, ආනන්ද කුමාරඋන්නැහේ, වීනා ජයකොඩි, මිෂෙන් දිල්හාර යනාදී නළු නිළියන් විශාල ප්‍රමාණයක් මේ සඳහා රංගන දායකත්වය ලබා දෙති. අලුතින් හදුන්වාදෙන දුලාන් මංජුල, මධුෂානි වර්ණකුලසූරිය, හසරින්ද කේසර යනාදීන්ද තම නිර්මාණ කාර්යය වෙනුවෙන් උපරිම දායකත්වය ලබා දී තිබේ. තේමා ගීත රචනය නුවන් ජූඩ් ලියනගේ සිදුකර ඇති අතර අජිත් කුමාරසිරි විසින් ගීත ගායනා කරනු ලැබ ඇත. සංගීත අධ්‍යක්ෂණය, දිනේෂ් සුබසිංහ සිදුකර ඇති අතර අංග රචනය ශාලිත ගුණවර්ධනයන්ගේය. කලා අධ්‍යක්ෂණය අජන්ත අලහකෝන් සිදුකර ඇත. සංස්කරණය කර ඇත්තේ ශාන් අල්විස්ය.

කලාව ඇත්තේ කුමක් අරමුණු කොටගෙනද යන්න කාලයක් තිස්සේ ඇති ප්‍රශ්නාර්ථයකි. ටෙලි නාට්‍ය කලාවේ අරමුණ කුමක්ද යන්නත් නැවත සාකච්ඡා කළ යුතුව තිබේ. ටෙලි නාට්‍ය කලාවේ අරමුණ ලාභය නම් එම ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයින් නැරඹීමෙන් සිදු කරන්නේ බලවත් වරදකි. පසුගිය කාලච්ඡේදයේ බොහෝ ටෙලි නාට්‍ය නිෂ්පාදනය වූයේත් රූපවාහිනී තිරයේ දිග හැරුණේත් ලාභය පදනම් කරගෙනය. ඉන් එපිට වූ අරමුණක් පැවතියේ නම් පසුගිය කාලයේ යම් සාධනීය නිර්මාණ ගුණය ආරක්ෂා වන නිර්මාණ සිදු කිරීමට තිබුණි. එහෙත් එසේ සිදු වූයේ නැත.

නව මානයකින් ග්‍රාම්‍ය ජීවිත දෙස හෙළන අලෝක කදම්භයක් ලෙස “සුදු ඇඳගෙන කළු ඇවිදින්” ටෙලි නාට්‍ය පෙන්වා දිය හැකිය. එය රසවින්දනාත්මකය. ඕනෑම වින්දන ක්ෂේත්‍රයක ප්‍රේක්ෂකයෙකු හට නරඹා රස විඳිය හැකි ටෙලි නාට්‍යයකි. උසස් රසවින්දනයක් සොයා යන ගමනෙහි හමුවන එක් සොදුරු නවාතැනක් වන “සුදු ඇඳගෙන කළු ඇවිදින්” ටෙලි නාට්‍ය ප්‍රේක්ෂකයා නැරඹිය යුතුම වන්නේය.

[ගාමිණී බස්නායක]

 

මාතෘකා