අවුරුදු ඇවිදින්

 ඡායාරූපය:

අවුරුදු ඇවිදින්

යුද්ධය නිමවී අවුරුදු දහයකි. එදා මිනිසුන් සිටියේ ජීවිතය කොයි මොහොතේ අහිමිවේදැයි බියෙනි. එහෙත් අද ඇතැම් මිනිසුන් සිටින්නේ කොයි මොහොතක නම් යළි ජීවත්වෙම්දෝ යැයි දෙගෙඩියාවකිනි. යුද්ධයෙන් පසු පුරුද්දා ගත යුතුව තිබූ ඒ බිඳීගිය දම්වැල් යා කරන්නට වෙරදරන උන් දුලබය. අවුරුදු ළංවද්දී සංහිඳියාව සහ සාමය පෙරටු කරගත් මාධ්‍ය සංදර්ශනවලින් රූපවාහිනී තිර පිරී ගොස්ය.

එහෙත් හිත සනසාලන පුවත් ඒ අතරින් ඇස ගැටේ. අවවාදයට වඩා ආදර්ශය උතුම් යැයි කියමින් මා හිත මිත්‍ර වෛද්‍ය පැතුම් කර්නර් ඇතුළු පිරිසක් කදමලු කැවිලිපෙවිලි රැගෙන කිලිනොච්චියට ගොස් අවුරුදු සමරා ඇවිත් තිබිණ. ඒ උතුරු කොන අපේම සහෝදර සහෝදරියන් පිරිසක් සමඟය. සංහිඳියාව ඇතිකළ යුත්තේ සම්මන්ත්‍රණ වැඩමුළු මඟින් නොව එවන් වූ දයාබරිත හදවතට දැනෙන බදාවැලඳ ගැනීම් තුළින්ය. ඒ බව දැනටමත් අපේ තරුණ පරම්පරාව වටහා ගනිමින් සිටින්නෝය.

දූවිලි, වලාකුළු නැඟි දුඹුරුම දුඹුරු පාරවල් දිගේ උතුරට ආ හැටි මතක් වූයේ අවුරුදු අසිරිය එහෙන් මෙහෙන් එබිකම් කරද්දීය. අලුත් අවුරුද්දය කියා නිවාඩුවක් ලැබුණේ නැත. රෝහල්වල හැටි එහෙමය. එහෙන් එනතුරු සිංහල අවුරුද්දට නිවාඩුවක් ලැබුණේම නැත.

එම කාලය වන්නිය පුපුරා ගිය අවධියකි. අවතැන් වූ අයද අත්අඩංගුවේ සිටියවුන්ද බොහෝ විය. සුපුරුදු පරිදි “සුබඅලුත්අවුරුද්දක්” කිය කියා කොතෙක් සුබපැතුවද අවුරුදු දවසේ වාට්ටුවට එද්දී හිනා මුහුණුවලින් ඔබමොබ යන්නෝ “එසේම වේවා” කියා කීවේ පුරුද්දටය.

එහි සිටි කාලය පුරාම නගරයේ හැම අත ඇවිද ඇඳුම් ආයිත්තම් කිහිපයක් මිලදී ගත්තේ කාත්කවුරුවත් නැතිව වැඩිහිටි නිවාස සහ අනාථ නිවාසවල සිටියදී රෝහල් ගතවූ කිහිපදෙනකුටය.

“අනේ ඩොක්ටර් ඔයා ගෙනත් දෙන හොඳ ඇඳුම් මේ කෙල්ල රණ්ඩුවෙලා ඉරා දමනවා”

කියා මා දුන් ඇඳුම් කිහිපයක් කීතුකර තිබූ මානසික රෝගයකින් පෙළෙන තරුණිය පෙන්වමින් සේවක මහත්මියක් පැවසුවේ මා අත වූ අලුත් ඇඳුම් පාර්සලය දුටු විටය.

“මෙන්න ඩොක්ටර් අහවලාට ඉරන්න ඇඳුම් ගෙනල්ලා” කියමින් හෙදියද මට විහිළු කළේ ඒවාට අත්වන ඉරණම දන්නා නිසාය.

“යමුද නෑයෝ බලලා එන්න ?”

අපේ අංශයේ වැඩ කරන සහෝදර වෛද්‍යවරයා අවුරුදු දවසේ උදේම මේ කතා කරන්නේ අපි ඔවුන්ගේ දූ පුතුන් ලෙස සලකන මේ ප්‍රදේශයේ වැඩිහිටි නිවාසවල උදවිය බලන්න හෝ තවමත් මැණික්ෆාම් අවතැන් කඳවුරුවල සිටින පිරිස බලාකියා ඒමට විය හැකිය යන සිතිවිලි එදින මසිතේ ඇති විය.

කීවා වගේම අපි ගියේ මැණික්ෆාම් ප්‍රදේශයටය. යුද්ධය අහවරවී අවුරුදු එකහමාරක් පමණ ගතවී තිබිණි. යන වෑන් රථයේ ඉදිරිපසම අසුන හැමවිටම එකම සිංහල වෛද්‍යවරිය වූ මට හිමිවූයේ තැනින් තැන තිබූ ඇතුළුවීමේ බාධකවලදී මට වඩාත් පැහැදිලිව සියල්ල කියන්නට හැකිවූ නිසාය. භාෂා දෙකතුනක් කතාකර ගත හැකිවීම හරි පහසුවක් විය. මා උතුරු කොන ගිය වහා දෙමළ උගත්තේ එහෙයිනි. එයද තනිවම ඉගෙන ගත්තා මිස පන්තියක් හෝ ගුරුවරයෙක් නොවීය. රෝහල මට දමිළ බස ඉගැන්වූ පාඨශාලාව විය.

“මෙහෙන් යන්නේ කවදද?” කියා අපි ඔවුන්ගෙන් ඇසුවද බොහෝ අයට ඉන් පිටත් වීමට දැඩි ඕනෑකමක් නොවූ බව කතාබහෙන් වැටහුණි. “හැමදේම ලැබෙනවනේ” කියා කනින් කොනින් ඇසුණි. අවුරුදු කැවිලිපෙවිලි රැගත් සැමරුම් එහි බොහෝ විය.

එකල මා සිතාගෙන ගියේ බියජනක උතුරු සමාජයක් ගැනය. ඒ කුඩාකල සිට යුද්ධය, බෝම්බ පිපිරීම්, අහිමිවීම් සහ උනුන් කෙරෙහි වූ වෛරය සමඟ අප මනසින් ඔවුන්ගෙන් දුරස්වූ නිසාය. එහෙත් මා හට මුණගැසුණේ සහෝදර සහෝදරියන් පිරිසකි.

“ අනේ අපේ ඩොක්ටර්ලා ගෙවල්වල ගිහිනුත් නෑනේ” කියමින් පෙට්ටි පුරවා කැවුම්, තල් කැවුම්, මුංගුලි, පොංගල් බත්, කොකිස්, මුංකැවුම් ගෙන ආවේ ඔවුන්ය. මා දුටු උතුර, සියලු ජනවර්ගවල සම්මිශ්‍රණයකින් සැදුම්ලත් අපූරුම සමාජයක් විය. ත්‍රිවිධ හමුදාවේ කඳවුරුවලින්ද අවුරුදු කදමලු රැගෙන ගමරට නොයා එහිම රැඳී උන් අප බලන්නට ආවෝය.

වන්නියේ ගතකළ සෑම අවුරුදු දිනයකම වෛද්‍ය නේවාසිකාගාරයේ කෑම මේසය පිරී ඉතිරී ගියේ එලෙසය. දින ගණනක් යනකම් අපි ඒවායින් බඩකට මෙන්ම සිතද පුරවා ගත්තේ ඔවුන්ගේ සහෝදරත්වය නිසාය.

“හැමදේම නිර්මාණය වෙන්නේ හිතේ. තමන්ට ගෝචර නොවන සැණින් දරුණු හැසිරීමක් දක්වන, අනෙකා පීඩාවට පත්කරනසුලු සිතිවිලි තුළින් ඇතිවෙන්නේ ගැටීම් පමණයි. යුද්ධයත් එහෙමමයි.” ජීවිතේ පිළිබඳ මේ සා වැටහීමක් ලබාගන්නට හැකිවූයේ බොහෝදුර පෙන්වූ ගුරුවරුන් නිසාය. වන්නියේ අප මනෝ වෛද්‍ය ඒකකයේ විශේෂඥ වෛද්‍ය තුමා කියූ ඒ වදන් අදටත් බොහෝ ගැටලුකාරී අවස්ථා දරාගැනීමට මඟපෙන්වයි. ඉතින් මේ හිතේ යුද්ධය අප අවසන් කරන්නේ කවදාද?

මාතෘකා