සම්මාන!

 ඡායාරූපය:

සම්මාන!

මට හැඟෙන ලෙස නම් මෙරට තවමත් නිසි ඇගයීමකට ලක් නොවන එකම මාධ්‍යය පුවත්පත් කලාවය. පුවත්පත් කලාවේදීන් ඇගයීමට මෙතෙක් පැවති ප්‍රධානම සම්මාන උලෙළ කර්තෘ සංසද සම්මාන උලෙළය. පසුගියදා මේ අතරට අලුතින්ම එක් වූයේ ජනාධිපති මාධ්‍ය සම්මාන උලෙළය. එහෙත් මේ දෙකේදීම සිදු වන්නේ එකම දෙයකි. පුවත්පත් කලාවේදියා තමා ලියූ පුවත්පත් ලිපි ඡායා පිටපත් කර අයදුම්පතේ සඳහන් වන ආකාරයට ගොනු කර අදාළ ලිපිනයන්ට තැපැල් කිරීමය. නැත්නම් ගෙනැවිත් බාරදීමය. පුවත්පත් කලාවේදියා වනාහි අදීන පුද්ගලයෙකි. ඔහු කිසිවක් සම්මාන ලාලසාවෙන් ලියන්නේ නැත. සම්මාන ඔහුට නොවැදගත් නොවූවත් සම්මාන වෙනුවෙන් අතරමඟ නැවතීමට ඔහුට ඉස්පාසුවක් නැත. එහෙත් මේ කියන සම්මාන උලෙළ සංවිධායකයන් පවසන්නේ තමන් ලියන දෑ ඡායා පිටපත් කර එවන ලෙසය. මට සිතෙන ලෙස පුවත්පත් කලාවේදියකුට මෙවැනි යෝජනාවක් ගෙන ඒමම ඔහු අවමානයට පත් කිරීමකි.

එහෙත් මෙම උලෙළ සංවිධායකයන් මෙහිලා නඟන ප්‍රතිතර්කයක් තිබේ. ඔවුන් කියන්නේ සාහිත්‍ය සම්මානවලදීද කෘති විනිශ්චය කෙරෙන්නේ කතුවරුන් විනිශ්චය මඬුලුවලට පොත් යොමු කළ විට බවය. එය සැබෑවකි. කතුවරුන්ගේ මැදිහත් වීමෙන් තොරව මෙරට ඇගයෙන එකම සම්මාන උලෙළ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළය. එහිදී අදාළ කෘති සාහිත්‍ය අනුමණ්ඩලයට යොමු කරන්නේ ප්‍රකාශන ආයතනය. එහෙත් මේ තර්කය නඟන්නන් අවබෝධ කර නොගත් දෙයක් තිබේ. සාහිත්‍ය සම්මාන උලෙළකදී විනිශ්චය කෙරෙන්නේ කලා කෘතියක් බවත්, මෙහිදී විනිශ්චය කෙරෙන්නේ පුවත්පත් ලිපියක් බවත්ය. සාහිත්‍යකරුවනට සාහිත්‍යකරණය සේම විචාරක අදහස්ද වැදගත්ය. විනිශ්චය යනු කිසියම් දුරකට කෘතියක් පිළිබඳ විචාරයක් නිසා ලේඛකයනට විනිශ්චය හරහා තමාගේ කෘතියට හිමි තැන දැනගැනීම වැදගත්ය. එහෙත් පුවත්පත් ලිපියකට මේ දේ අදාළ නැත.

පුවත්පත් ලිපියකට සම්මාන උලෙළක විනිශ්චය වැදගත් නොවන්නේ ඇයි? ඒ, පුවත්පත් ලිපියක් තක්සේරු වන්නේ ඒ පළ වන මොහොතේ සමාජ, දේශපාලන විභවතා මත වීම නිසාය. මීට නිදසුන් එමට දිය හැකිය. එක් නිදසුනකට, දේශපාලනඥයන්ගේ පෞද්ගලික ලාභ ප්‍රයෝජන සඳහා විල්පත්තු කැලය එළිපෙහෙළි කිරීම ඒ එළිපෙහෙළි කෙරෙන මොහොතේ මිස ඉන්පසු පුවත්පත් ලිපියකින් අනාවරණය කර ඵලක් නැත. තවද, මර්දනය පවතින මොහොතේ ලියවෙන පෑන මිස ඉන් පසු ලියවෙන පෑන ඵලක් නැත. එහෙත් මේ කියන පුවත්පත් සම්මාන උලෙළවලදී සිදු වන්නේ කුමක්ද? කැලය එළි කෙරෙන මොහොතේ ලියවෙන පෑනත්, ඉන් පසු ලියවෙන පෑනත් එක ලෙස තක්සේරු කිරීමය. මර්දනය දියත් වන මොහොතේ ජීවිතය හා මරණය අතර ලියවෙන ලිපියත්, මර්දනයෙන් පසු ඇල්මැරුණු සමයේ ලියවෙන ලිපියත් එකට තබා තක්සේරු කිරීමය. සාහිත්‍ය කෘතියක තත්ත්වය මෙහි අනෙක් පසය. හාත්පස සමාජ, දේශපාලන තත්ත්වයන් වාර්තාකරණය හෝ විවේචනය සාහිත්‍ය කෘතියක් උසස් වීමට හේතුවක් නොවේ. ඇත්ත වශයෙන් බොහෝ විට ඒ හේතු වන්නේ එය අවර ගණයට වැටීමටය. ජනතාවාදී සාහිත්‍යය අවර සාහිත්‍යයක් වනුයේ ඒ තුළය. සමාජ, දේශපාලන සන්දර්භයන් පිළිබඳ උසස් ප්‍රබන්ධ බිහි නොවන්නේ නැත. එහෙත් ඒ, එම සමාජ, දේශපාලන පරිසරය ඉකුත් වූ සමයකදීය. වර්තමානයේ පුවත්පත් සම්මාන ලබන්නවුනුත්, සාහිත්‍ය සම්මාන ලබන්නවුනුත් විමසීමේදී මට හැඟෙන්නේ පුවත්පත් සම්මාන ලබන අය වඩා සුදුසු සාහිත්‍ය සම්මාන ලැබීමට බවත්, සාහිත්‍ය සම්මාන ලබන අය වඩා සුදුසු පුවත්පත් සම්මාන ලැබීමට බවත්ය. ඒ, ඔවුනොවුන් ඉටු කරන්නේ තමන්ගේ කාර්යය නොවන නිසාය.

පුවත්පත් සම්මාන සංවිධායකයන් නිරතුරුව ඉල්ලන්නේ පුවත්පත් ලිපිවල ඡායා පිටපත්ය. ඊට හේතුව පැහැදිලිය. ඒ, ඔවුන්ගේ පහසුවටය. ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී, ගත වූ වසරේ පුවත්පත් යළි කියවා බලා සැබෑ පුවත්පත් කලාවේදීන් ඇගයීම ඔවුනට දුෂ්කර කාර්යයකි. එහිදී පහසුම දේ සම්මාන අපේක්ෂකයන් එවන ලිපි කිහිපය මේසයක් මත අතුරා ඒ කියවා හෝ නොකියවා එක සැණින් ජයග්‍රාහකයන් තේරීමය. එහෙත් මෙහි අප නොසිතන යමක් තිබීමටද බැරි නැත. පුවත්පත් ගොන්නක් මහන්සියෙන් කියවා බලා සැබෑ ගවේෂණාත්මක පුවත්පත් කලාවේදීන්, තීරු ලිපි රචකයන්, වාර්තාකරුවන් ඇගයීම දේශපාලනයට කත් අදින ජනමාධ්‍ය සම්මාන සංවිධායකයනට බරපතළ ප්‍රශ්නයක් ඇති කිරීමට බැරි නැත. ඔවුන් තමන්ගේ දේශපාලනයේ විරුද්ධවාදීන් විය හැකි නිසාය.

මේ තතු තුළ මට හැඟෙන්නේ අද පුවත්පත් කලාවේදීන් ඇගයීමට ඇවැසි නම් තිබිය යුත්තේ විකල්ප පුවත්පත් සම්මාන උලෙළවල් බවය. එහෙත් ඒ විකල්ප වුවද, එය දේශපාලනයෙන් වියුක්තද විය යුතුය. තවද ඊට සමීක්ෂණ මණ්ඩල පත් කරද්දී සම්මාන උලෙළට පමණක් පුවත්පත් කියවන පිරිස් පත් කරගැනීමෙන් ඵලක් නැත. දිනපතා පුවත්පත් කියවන, දේශපාලනයෙන් බැහැර විචාරාත්මක පාඨකයෝ ඕනෑ තරම් සිටිති. කළ යුත්තේ ඔවුන් මේ සඳහා කැඳවා ගැනීමය. ඔවුනට පුවත්පත් කලාවේදීන්ගෙන් ලිපිවල ඡායාපිටපත් ගෙන්වාගෙන කියවීමට ඇවැසි නොවන්නේ ඔවුන් දිනපතා කියවන්නන් නිසාය. වැදගත් යැයි කිව හැකි ඕනෑම පුවත්පත් ලිපියක් සිරස්තලය දුටු මතින් ඔවුනට හඳුනාගත හැකිය. ඒ තුළ ඔවුනට හොඳම පුවත්පත් වාර්තාව, හොඳම විශේෂාංගය, හොඳම ගවේෂණාත්මක ලිපිය තෝරා ගැනීම ඉතා පහසු දෙයකි.

නිසැක ලෙසම අද සැබෑ පුවත්පත් සම්මාන උලෙළක දැඩි අවශ්‍යතාවක් තිබේ. අද සමස්ත පුවත්පත් කලාව දැඩි නස්තිකවාදයකට ගොදුරු වී ඇති නිසාය. මීට සියවසකට හෝ අඩසියවසකට පෙර පොදු සමාජය බස ඉගෙන ගත්තේ පුවත්පත ඔස්සේය. ඔවුන් වචනයක නිවැරදි අක්ෂර වින්‍යාසය ලෙස සැලකුවේ පුවත්පතේ මුද්‍රිත අකුරය. ‘සිළුමිණ’ පුවත්පත ඔවුන් ශත දහයේ විශ්ව කෝෂය යැයි හැඳින්වූයේ එහි බස හා එය ගෙනෙන දැනුම ඔවුන් ප්‍රබුද්ධ කළ නිසාය. මේ තත්ත්වය අද කෙතරම් කණපිට ගැසීදැයි කිවහොත් පුවත්පත් බස පුද්ගල මනස විකෘති කරන තරමට, සමාජ අපරාධ ඉහළ නංවන තරමට, ජාතිවාදී හැඟීම් ඔජ වඩන තරමට පිරිහී ඇත.

පුවත්පත පුවත්පත් කලාව ලෙස හැඳින්වූ යුගය දැන් අවසන්ව ඇත. කලා රසඥතාව හා ප්‍රතිභාව සහිත පිරිස් පුවත්පතින් බැහැර වන විට එහි කලාවක් ඉතිරි වන්නේ නැත. එය කලා මාධ්‍යයක් ලෙස භාවිත කළ හැකි බවද පිළිගැනෙන්නේ නැත. ප්‍රතිඵලය එය විශ්වවිද්‍යාලවල සිංහල අංශ මෙන් මෙලෝ රහක් නැති දේශපාලන හෙංචයියන්ගෙන් පිරී සමාජය භේදභින්න කරන තරමට ඒ දේශපාලනයටම එය සින්න වීමය. ස්ත්‍රී දූෂණ හා මළමිනී රැගත් ඡායාරූපවලින් ඒ පිරීයෑමය. මිථ්‍යාවටම ඒ යට වීමය. මට පෙනෙන ලෙස ගත වූ වසර දහයක කාලයේ පුවත්පත පෙර පැවති යම්තාක් හෝ බසට හා ශාස්ත්‍රීයත්වයට මුල් තැන දුන් තත්ත්වයෙන් ශීඝ්‍ර ලෙස ඇදවැටී ඇත. ඒ එසේ වීමට සමාජ මාධ්‍යද සැලකිය යුතු ලෙස බලපා ඇති බව කිව යුතුය. සමාජ මාධ්‍යයේ ලිවීමත්, පුවත්පතේ ලිවීමත් එකක් නොවන බව පුවත්පත ආක්‍රමණය කළ, අකුරු ලිවීමට හැකි නම් පත්‍රකාරයකුද විය හැකි යැයි සිතන ෆේස්බුක් ලියන්නනට අවබෝධයක් නැත. මුද්‍රිත අකුර ඩිජිටල් අකුරින් වෙනස් බව ඔවුනට නොතේරේ. ගත වූ කාලයේ පුවත්පත් කලාවේ නස්තිකවාදයක් ඇති වීමට මූලික හේතුව මේ තත්ත්වයයි. ඉදින් සැබෑ පුවත්පත් කලාව, සැබෑ පුවත්පත් කලාවේදීන් යළි යළිත් ඇගයිය යුත්තේ මෙනිසාය. එහෙත් එක් ව්‍යාජ පුවත්පත් සම්මාන උලෙළක් අභිභවීමට ඒ වර්ගයේම තවත් සම්මාන උලෙළක් ඇති කරලීමෙන් පෙර පිරිහීම හානි පූරණය කළ නොහේ. එවැන්නකින් වනුයේ ඒ පිරිහීමට තවත් දිරි දී පුවත්පත් කලාව ව්‍යාජ පත්තරකාරයන්ගෙන්ම පිරීයෑමය. සමහර විට බෝතල් පත්තරකාරයනුත්, ඔවුනුත් අතර වෙනසක්ද නොමැති වීමය.

මාතෘකා