මීතොටමුල්ලේ අඳුරු මතක...

 ඡායාරූපය:

මීතොටමුල්ලේ අඳුරු මතක...

මීට අවුරුදු දෙකකට කලින් අප්‍රේල් 14 වෙනිදාවක මීතොටමුල්ල කුණු කන්ද නාය යනවා. එදා අවුරුදු නිසා ගෙදර හිටියෙ. හවස තුනට විතර වගේ සුජිත්ට කතා කරලා අපි දෙන්නා බයික් එකේ මීතොටමුල්ලට ගියා මොකක්ද වෙලා තියෙන්නෙ කියලා බලන්න. කුණු කන්දක් කඩා වැටීමෙන් වන හානියක් ගැන ඒ වෙනකන් කිසිම අවබෝධයක් තිබුණෙ නැහැ. සුනාමිය එනකොට ලංකාවෙ මිනිස්සුන්ට තිබුණා වගේ හැඟීමක්. ඊට කලින් ගංවතුර කාලෙ කුණුකන්ද පැත්තෙ සහන සේවා වැඩවල හිටපු හින්දා ඊට පහළ ජනාවාස කළු පාට වතුරෙන් පිරිලා තිබුණ මතකයක් විතරයි තිබුණෙ. කොලොන්නාව පැත්තෙන් කුණුකන්ද කඩන් වැටුණ තැනට යනකොට පොලිසිය හමුදාව එතන පිරිලා හිටියා. මිනිස්සු පාර පුරාම ඇවිදිනවා. සමහර තැන්වල අඬනවා. නායගිය තැන ළඟටම යන්න නොදෙන හින්දා එතන තිබුණ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට ගිහින් කතා කළා. මිය ගිය ගණනක් හෝ අවතැන් වී ඇති ගණනක් ගැන නිශ්චිත සංඛ්‍යාලේඛන හදලා තිබුණෙ නැහැ ඒ වෙද්දි. අනුමාන අගයක් කිව්වෙ.

ඊළඟට ගියා ඒ වනකොට අවතැන් වෙලා ඉන්න මිනිස්සු රැඳිලා හිටිය ටෙරන්ස් එන්. ද සිල්වා විද්‍යාලයට. ඒ ඉස්කෝලෙ විදුහල්පතිනිය සහ නියෝජ්‍ය විදුහල්පතිනිය අවුරුදු පැත්තකින් තියලා ඉස්කෝලෙට ඇවිල්ලා එතන මිනිස්සු එක්ක වැඩ. එතන ඒ වෙලාවෙ හිටිය මිනිස්සු ගාණ බලලා සෝෂල් මීඩියා හරහා පුළුවන් විදිහට අවශ්‍ය දේවල් එකතු කළා. රෑ වෙද්දි බොහෝ දේවල් එකතු වුණා. ප්‍රා.ලේ එකෙන් දුන්නෙ කෑම විතරයි. එතනට ගෙනාව දත් බුරුසුවෙ ඉඳන් අනිත් හැමදේම රට වටෙන්ම මිනිස්සු ගෙනල්ලා බාර දීපුවා. මිනිස්සුන්ට බෙදපු බඩු මලු පවා පැකට් කළේ රජයේ- පෞද්ගලික විශ්වවිද්‍යාලවල ශිෂ්‍යයො, ගමේ සමිති තරුණ සමාජවල කොල්ලො කෙල්ලො. සෝෂල් මීඩියාවලින් දැකලා ආපු කොල්ලො කෙල්ලො, විවිධ ආයතනවලින් ආපු අය.

ඔය විදිහට සතියක් එකහමාරක් එක දිගට එතන හිටියා.

මීටර් ගණන් දිග පෝලිම්වල බත් පැකට් එකක් ගන්න හිටපු මිනිස්සු... ඉස්කෝලෙ හැමතැනම එළිය දෙන්න බල්බ් නැති හින්දා රෑ කෑම කන්න ලයිට් තිබ්බ පන්ති කාමරේක එක් රැස් වෙලා හිටපු මිනිස්සු... පොඩි දරුවන්ට කිරි පිටි නැතුව කොහෙන් හරි කිරිපිටි ලැබෙනකන් බලන් හිටිය අම්මලා... මදුරු දැලක් ගන්න පෝලිම්වල පොරකාපු රණ්ඩු කරපු මිනිස්සු... රජයෙන් දීපු ලාභ මිනීපෙට්ටිය උස්සනකොට අඩිය කඩන් වැටෙනවා බල බල තමන්ගෙ ඥාතියගෙ මිනිය කර ගහපු මිනිස්සු... තමන්ගෙ ආදරණීයයන්ගෙ මූණ බලන්න බැරුව සීල් කරපු මිනි පෙට්ටිය බදාගෙන අඬන මිනිස්සු... සිංහල දෙමළ මුස්ලිම් ජාති ආගම්වල එක ළඟ පේළියට තිබ්බ මිනීපෙට්ටි. ඒ ළඟ වැලපෙන ඥාතීන්... තවදුරටත් නායගිය තැන හාරන්න බෑ කියනකොට තමන්ගෙ ආදරණීයයන් තවමත් ජීවත් වෙනවා බේරගන්න කියලා කෑගහ ගහ අඬපු මිනිස්සු... කනත්තෙ ඩෝසරේකින් හාරපු සමූහ මිනී වළක පේළියට මිනීපෙට්ටි වළලනකොට අඬපු කෑගහපු මිනිස්සු. පවුලම පස් යට වැළලෙනවා දැකලා තමන් විතරක් මේ ලෝකෙ ඉතිරි වුණේ ඇයි කියලා ඒ වළටම පනින්න හදපු දූවරු...

කුණුකන්ද කඩන් වැටිලා තමන්ගෙ දුව, බිරිඳ, බෑණා, මිනිබිරිය අහිමි කරගත්ත, අවුරුදු ගාණක් තිස්සෙ කුණුකන්දට විරුද්ධව සටන් කරපු, මරන තර්ජන ලබපු, ගුටිකාපු මීතොටමුල්ල කුණුකන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු කීරිතිනන්ද මහත්තයා...

අවතැන් වෙච්ච මිනිස්සුන්ට බඩු මලු දහයක් බෙදලා, රජයෙන් දීපු බත් පැකට් ටිකත් බෙදලා ඒකෙ පොටෝ ගහලා ලයිව් දීපු තිරිසන්නු... තමන්ගෙ අත්වල ගෑවිච්ච ලේ අනිත් එකාගෙ පිට දාලා දෙපැත්ත බෙදිලා බෝල පාස් කරපු දේසපාලන හැලපයො... අවතැන් කඳවුරට ලැබෙන බඩු අරගෙන කඩවල්වලට විකුණපු කාලකන්නි...

පාසල් නිවාඩු කාලෙ දමන්ගෙ සැමියා දරුවො එක්ක ඉස්කෝලෙට ඇවිල්ලා ටීෂර්ට් එකක් සායක් ඇඳගෙන තමන්ට අයිති නැති රාජකාරියක් කුණුහර්පෙන් බැනුම් අහ අහ තමන්ගෙ පවුලෙ දෙයක් වගේ කරපු ටෙරන්ස් ඉස්කෝලෙ ප්‍රින්සිපල්, වයිස්ප්‍රින්සිපල් මැඩම්ලා... එතකොට කුණු කන්දෙ බැහැලා සහන සේවාවල නිරත වුණු ආරක්ෂක අංශවල මිනිස්සු...

කොලොන්නාව වී ගබඩාවෙ හදිස්සියෙ ලෑලිවලින් වෙන් කරපු කඩ කාමරයක් තරං කාමරේක ගිනි රස්නෙ, සිමෙන්ති පොළොවෙ පැදුරක් දාගෙන පවුලම පිටින් ජීවත් වෙච්ච මිනිස්සු... ඒ දූවිල්ලට ඇදුම වැඩි වුණ ළමයි. රස්නෙට අසනීප වුණ ළමයි... වී ගබඩාවෙ සිමෙන්ති පොළොව මැද්දෙ පස් වැලිවලින් අඩි එකහමාරක කුණු කන්දක් හදලා කාඩ් බෝඩ්වලින් ගෙවල් හදලා.. අංකල් මේ කුණු කන්ද.. මේ අපේ ගෙවල්... කියලා අපිට සෙල්ලං කරන්න කතා කරපු පොඩි උන්...

ඒ දවස් කිහිපයෙ දැකපු අහපු හැමදේම චිත්‍රපටයක් වගේ මගෙ ඔළුවෙ සටහන් වෙලා තියනවා. හැම අලුත් අවුරුද්දක්ම ඒ සිදුවීම් හැම එකක්ම මුල ඉඳන් මතක් වෙනවා.

මට මේක හදිසි අනතුරක් කියලා විශ්වාස කරන්න අමාරුයි. හිතාමතා කරපු මනුශ්‍ය ඝාතනයක්. කීර්තිනන්ද මහත්තයා ඇතුළු විරුද්ධ වෙච්ච මිනිස්සුන්ව මර්දනය කරලා බලහත්කාරයෙන් කුණු ගොඩ ගහලා, මාධ්‍යවේදීන්, සිවිල් සංවිධාන, මේ ගැන ලියලා තියෙද්දි. ප්‍රාමාණික උගතුන් මේ ගැන අනාවැකි පළකරලා තියෙද්දිත් ඒ මිනිස්සුන්ව කුණු කන්දකට යට කරලා කරපු සමූහ මනුෂ්‍ය ඝාතනයක්!

[චමල් අකලංක පොල්වත්තගේ]
[සුජිත් ප්‍රියන්ත]

මාතෘකා