නිකම් වයසට යන රූපවාහිනී මාධ්‍ය

 ඡායාරූපය:

නිකම් වයසට යන රූපවාහිනී මාධ්‍ය

සංහතික මාධ්‍යයක් ලෙස ශ්‍රී ලංකාවට රූපවාහිනිය පැමිණ හරියටම වසර 40ක් ගෙවී අවසන්. එතෙක් පැවති සංහතික මාධ්‍යයන්ට බරපතළ අභියෝගයක් වෙන්නට රූපවාහිනිය සමත් වුණා. එයට හේතුව එය අනෙකුත් සංහතික මාධ්‍යයන් අතර වඩාත් ප්‍රබලම මාධ්‍ය බවට පත්වීමේ විභවතාවයෙන් යුක්ත වීමයි. රූපය හා ශබ්දය එකවර ගෙන සන්නිවේදනය කිරීමේ හැකියාව රූපවාහිනියට තිබෙනවා. ඒ නිසා ග්‍රාහකයාගේ ඇස හා කන යන ඉන්ද්‍රියන් දෙකෙන්ම එකවර එකම තොරතුර ග්‍රහණය කරගැනීමට හැකිවෙනවා. එය සන්නිවේදනයේ දී ප්‍රබල කාරණයක්.

මීට පරම්පරාවකට ඉහතදී සුප්‍රකට කැනේඩියානු සන්නිවේදන විශාරදයෙකු වූ මාෂල් මැක්ලූහන් අනාවැකියක් පැවසුවා. ඔහු පැවසුවේ සන්නිවේදන තාක්ෂණය අත්පත් කරගන්නා වේගවත් දියුණුව නිසා ලෝකය ඉතා ඉක්මණින් ‘විශ්ව ගම්මානයක්’ බවට පත්වන බවයි. අද එය යථාර්ථයක් වී අවසන්. අද වනවිට චන්ද්‍රිකා තාක්ෂණය හා අන්තර්ජාල තාක්ෂණය හේතු කරගෙන රූපවාහිනියට දේශ සීමා අභිබවා යන්නට හැකි වුණා. දැන් භූගෝලීය වශයෙන් දේශ සිමා සළකුණු වී ඇතත් අවකාශීයව ඒවා මැකී ගොස් හමාරයි. මුළු ලෝකයම දැන් තනි ‘තොරතුරු සමාජයක්’. ඒ තුළ රූපවාහිනිය ඉතා ප්‍රබල මාධ්‍යයක්. ලෝකයේ නිවාස බිලියන 1.4ක රූපවාහිනී යන්ත‍්‍ර තිබෙනවා. එය ලෝක ජනගහනයට සාපේක්ෂව ගත්කල 79%ක්. ලෝකයේ සෑම මිනිසුන් 4 දෙනෙකුගෙන් එක් අයෙකුටම රූපවාහිනි යන්ත්‍රයක් තිබෙනවා. ලෝකයේ අන්තර්ජාලයට පිවිසීමේ හැකියාව තියෙන්නේ ලෝක ජනගහනයෙන් 56.1%කට. ඒ නිසා රූපවාහිනිය සංහතික මාධ්‍යයක් ලෙස මොන තරම් ප්‍රබලද කියා සිතා ගන්න පුළුවන්.

මේ තරම් ප්‍රබල සංහතික මාධ්‍යයක් පොදුවේ ලෝකයේත්, තනිව ගත්විට ලංකාවේත් ක්‍රියාත්මක වී ඇත්තේ කොහොමද? කෙතරම් ජනහිතකාමී ලෙසින්ද? සාමාන්‍යයෙන් රූපවාහිනී මාධ්‍ය මිනිස් යහපත වෙනුවෙන් පෙනී සිටිය හැකි ප්‍රබල මාධ්‍යයක්. එයට ලෝකය වටා, දැනුම් පිපාසාවෙන් පෙළෙන විශාල ජනතාවකට දැනුම සම්පාදනය කරන්න පුළුවන්. මිනිසුන් අතර ඇති වෙනස්කම් මතු කරනවා වෙනුවට ප්‍රබල සමානකම් රැසක් පෙන්වා දෙන්නට පුළුවන්. ලෝකයේ හා ස්වාධීන රටවල් තුළ ඇති අඳුරු කලාපවල නිදන්ගත වී ඇති නොදැනුවත්කම හා වෛරය ඉවත්කරලීම සඳහා සක්‍රීයව මැදිහත් වෙන්න පුළුවන්. අන්‍යෝන්‍ය අවබෝධය හා සංහිඳියාව වෙනුවෙන් ප්‍රබල කාර්යයක් ඉටු කරන්නට පුළුවන්. ලෝකයේ බලවතුන් ගැන පමණක් නොව, බලරහිත සාමාන්‍ය මිනිසුන් ගැන කතා කරන්න පුළුවන්. ඔවුන් බලරහිත වූයේ කිනම් දේශපාලන, සමාජ, ආර්ථික හේතූන් මත දැයි හෙළිදරව් කරන්නට පුළුවන්. මිනිසුන්ගේ වින්දනීය කලාපයන් වඩාත් පුළුල් හා ප්‍රබල කරන්නට පුළුවන්. සංස්කෘතික විවිධත්වය විඳීමට හැකි මිනිසුන් සකස් කරන්නට පුළුවන්. නිවැරදි තීරණ ගැනීම සඳහා ඔවුන්ට අවශ්‍ය දැනුම සම්පාදනය කරන්න පුළුවන්.

නමුත් අධ්‍යතන රූපවාහිනි මාධ්‍ය ක්‍රියාත්මක වෙන්නේ කුමන ආකාරයෙන්ද? ප්‍රධාන වශයෙන් ඒවා ක්‍රියාත්මක වන්නේ සිය හිමිකාරිත්වයේ දේශපාලන, ආර්ථික, සමාජ, වාණිජ හා සංස්කෘතික උවමනාවන් වෙනුවෙන් පමණයි. බහුතරයක් රූපවාහිනි නාලිකාවල හිමිකරුවන් වී සිටින්නේ ඒ ඒ රටවල්වල දැවැන්ත ව්‍යාපාරිකයින්.බොහෝ රටවල ආණ්ඩු සතුවද රූපවාහිනිය ප්‍රම්‍රඛ කොටගත් සංහතික මාධ්‍ය ක්‍රියාත්මක වෙනවා. මේ ප්‍රවර්ගයන් දෙකට අමතරව ඇතැම් රටවල ප්‍රජා මූලිකව වැඩකරන විවිධ සංවිධාන හා ආයතන සතුව සංහතික මාධ්‍ය ක්‍රියාත්මක වෙනවා. ඒවා යම් ආකාරයකට ප්‍රජාවගේ අවශ්‍යතා වෙනුවෙන් මැදිහත් වී වැඩ කරන බව දකින්න පුළුවන්. ආණ්ඩු සතු රූපවාහිනී මාධ්‍ය සම්පූර්ණයෙන්ම බලය මූලික කරගත් ගනුදෙනුවක නියැලෙන අතර, වණික් පන්තිය සතු මාධ්‍ය ලාභය උපරිමය සඳහාත් සිය වාණිජ කටයුතු සඳහා අවශ්‍ය දේශපාලන රැකවරණය හා අනුග්‍රහය සඳහාත් සිය නාලිකා මෙහෙයවනවා. මේ කොට්ඨාස දෙකටම ඒ සඳහා අවශ්‍ය වෙන්නේ එහෙයිකාරක සමාජයක්. නිෂ්ක්‍රීය පාරිභෝගික ජනතාවක්. එම නිසා ඔවුන් හැම විටම ග්‍රාහක සමාජය නිවැරදිව දැනුවත් කරනවා වෙනුවට, ඔවුන්ගේ ජීවිතය අදට වඩා යහපත් කරණු වෙනුවට, ඔවුන්ගේ ගැටලු විසඳා ගැනිමට අවශ්‍ය මැදිහත් වීම කරණු වෙනුවට සිදුකරන්නේ තව තවත් ඔවුන් අවිඥානික අඳුරේ ගිල්වා තැබීම. තව තවත් ඔවුන් ෆැන්ටසිමය ජීවන අවකාශයක රඳවා තබා ගැනීම. එසේ පවත්වාගෙන යන තරමට එම ජනතාව දේශපාලනිකවත්, සමාජයීය ලෙසත්, වාණිජමය වශයෙනුත් සූරා කන්නත්, රැවටීමට ලක් කරන්නත් පහසු වෙනවා.

මේ සඳහා රූපවාහිනී මාධ්‍ය සිදුකරන්නේ කුමක් ද? විශේෂයෙන් ග්‍රාහක සමාජයේ ඉහළ රසිකත්වය මොට කරමින් අති සරළ වින්දනයට ඔවුන් හුරු කිරීම. ඒ නිසා කලාව තුළින් සමාජය තේරුම් ගැනීමේ ඉඩක් ග්‍රාහක සමාජයට ලැබෙන්නේ නෑ. එය රූපවාහිනී නාලිකාවල විකාශනය වන අති සරළ ආකෘතියක් සහිත මාලා නාටක, සරළ විනෝදාත්මක වැඩසටහන්, වාණිජ උවමනාවන් සාක්ෂාත් කර ගැනීම සඳහා නිෂ්පාදනය වන රියැලිටි වැඩසටහන් ආදියෙන් දකින්න පුළුවන්.

මීට අමතරව මිත්‍යාව තහවුරු කිරීමේ වැඩසටහන් සඳහා සිය ගුවන් කාලයෙන් වැඩි කොටසක් රූපවාහිනී නාලිකා විසින් වෙන් කරනු ලබනවා. රාහු කාලය, සුබ වෙලාවන්, ලග්න පලාපල, හදිහූනියම්, ෆෙන්ෂුයි, හක්ගෙඩි, නිදන් වස්තු ආදී මිත්‍යාමය කාරණා සඳහා තීරණාත්මක හොඳම කාලය වැය කරනවා. එසේ කරන්නේ ඇයි? ග්‍රාහක සමාජයට සිය ජීවන ගැටලු විසඳා ගැනිමට ඇති එකම මග දැනුවත් සමාජ, දේශපාලන අරගලයන් නොව නොපෙනෙන දෙවියන් හා අත්භූත බලවේග බව ස්ථාපිත කිරීම සඳහා. එය දේශපාලන උවමනාවක්.

මේ නිසා ශ්‍රී ලංකාවේ සතළිස් වසක් ගෙවා ඇති රූපවාහිනී මාධ්‍ය සමාජය දැනුම්වත් සමාජයක් බවට පත් කරන්න කර ඇති වැඩ කොටස ගැන නිරීක්ෂණයට මෙය කදිම අවස්ථාවක්. එවිට ලැබෙන උත්තරය වන්නේ එය නිකම්ම වයසට ගොස් ඇති බව පමණයි.

[කපිල එම්. ගමගේ]

මාතෘකා