හිංසාව

 ඡායාරූපය:

හිංසාව

යෝගී යන අනවර්ථ නමින් හඳුන්වන මගේ දමිළ ජාතික මිතුරා මට හමුවෙන්නේ දශකයකටත් පෙර ය. ඔහු වන්නියේ කෙනෙකි.

කොළඹ පැවති සායනික පුහුණුවකදී ඔහු අසුන්ගෙන සිටියේ මා අසලය. තැනින් තැන මාර්ග බාධකවලදී බස් රථ නවත්වා ත්‍රිවිධ හමුදා පරීක්ෂා කිරීම්වලට ලක් වේ.

“මට මේ තරම් වදයක් තවත් නෑ” යෝගී පවසයි.

“ඒ මොකෝ?”

“කෝ ඔයාගේ අයිඩෙන්ටිය, ඇඩ්‍රස් කොහෙද? කොළඹ නේ, මේ මගේ අයිඩෙන්ටිය, යාපනය, ඔන්න බලන්නකෝ වෙන දේ” ඔහු සහ මම එකම බස් රථයේ ගමන් කරන දිනක ඔහු පවසයි.

අපේ ගමන් මලු පරීක්ෂාවෙන් පසු යෝගීට තව ප්‍රශ්න බොහෝමයකට උත්තර බඳින්නට වූ අතර මට නැවත බස් රථයේ හිඳ ගන්නට ලැබිණ.

එදා එකම රටක අපි ආගන්තුකයන් වූයේ එලෙසය. ඒ බිහිසුණු අතීතයේ අඳුරු ඉරිතැලීම් යෝගී වැනි යහළුවන් විටින් විට පවසා තිබේ. ඒවා දැන් මසිතෙන් එළියට පැමිණෙන්නේ ආයෙත් බෙදාගෙන මරාගන්නට සැරසෙන උතුරු කොන දේශපාලකයන්ගේ කතා ඇසෙද්දීය.

යෝගී අපට වඩා වැඩිමහලු කෙනෙකි. එහෙත් අපට වඩා පහළ වසරක ඉගෙනුම ලබන්නේ ඔහුගේ ඉගෙනීම අතරමැද විටින් විට බිඳ වැටුණු නිසාය. ආයෙත් ඉගෙන ගන්නට ලැබුණේ සහෝදරියගේ මාර්ගයෙන් විදෙස්ගතවෙන්නට ලැබුණු නිසා බව ඔහු කියයි. ළමා සොල්දාදුවකු ලෙස පුහුණුවීම්වල යෙදෙන්නට සිදුවූ නිසා ලද තුවාල කැළැල් අපට පෙන්වූ අයුරුද පියාගේ අවමංගල්‍යයට ත්‍රස්ත නායකයා ආ හැටි සටහන් වූ ඡායාරූප ගෙනැවිත් පෙන්නුව අයුරුද මතක් වේ.

"හවස් වෙනකොට ගමට යන්න බස් නෑ. එතකොට ටවුමේ පන්සලේ නිදාගන්නවා. කොහොමත් පන්සලේ නිතරම කෑම බීම ඉඳුම් හිටුම් ලැබෙනවා" යෝගී, කියන්නට විය. යාපනයේ දුෂ්කර ගම්මානයක සිට ශිල්ප දැන උගෙන මෙහි පැමිණි ඔහු වෛද්‍යවරයෙක් වීමට ඉගෙනුම ලැබුවේය.

"බෞද්ධ, හින්දු, මුස්ලිම් මේ ඕනෙ කෙනෙක්ට පන්සලේ ඉන්න ඉඩ දෙනවා. මම බෞද්ධ නෙමේ. මම හින්දු. ඒත් පන්සලේ තමයි අපි කොයි කවුරුත් නවතින්නේ. ආයේ උදේ බස් එකෙන් ගමට යනවා"

"ඒ පැත්තේ ගොඩාක් ඉන්නේ බෞද්ධ අයද ?" මම ඇසීමි.

"නෑ හින්දු අය. පන්සලට දානෙත් දෙනවා හින්දු අය" ඔහු කියන විට එකල මට ඇති වූයේ පුදුමයකි. මන්ද එකිනෙකා කෙරෙහි බියද වෛරයද කෝපයද ඇති කළ, එම වෛරය වපුරා වගා කළ සමාජ දෙකක අපි දෙදෙනා ඇති දැඩි වූ හෙයිනි.

"පන්සලේ උයන්නේ කවුද?" අපේ කෙනෙක් ප්‍රශ්න කරන්නේය.

"ආමි එකේ කට්ටිය ඇවිත් උයන්නේ, එතන තියෙන

මුර පොළටත් කෑම දෙන්නේ පන්සලෙන්." යෝගී ට සිංහල වචන කිහිපයක් කතා කරන්න පුළුවන් වුවද අප හා කතා කරන්නේ ඉංග්‍රීසි බසිනි.

ඇත්ත. ඒ ප්‍රදේශවල ජාතිවාදය හෝ ආගම්වාදය යන මේ කිසිවක් ඒ තරම් දරුනු වී තිබී නැත.

"වෙඩි සද්ද ඇහෙද්දී අපි කැලේට රිංගනවා. හැමදාම හවස් වෙද්දී අපි කැලේට යනවා. සැරයක් අපි රාත්‍රියේ කැලෑ වැදුණා. ඒත් මට උදේ වෙද්දී තේරුණේ මම අපේ පවුලෙන් මඟඇරිලා අතරමං වෙලා කියලා. පස්සේ ගමට ආවම ගෙවල් ගිනි තියලා මිනිස්සු පිස්සුවෙන් වගේ ඇවිදිනවා. අපේ අම්මා පිස්සියක් වගේ ගම හැමතැනම දුවනවා මාව හොය හොයා. එයා හිතලා මාව සංවිධානෙට අරගෙන ගිහින් කියලා. පොඩි අක්කාව හොයා ගන්න බැරිවුණා. අවුරුදු ගාණකින් අවුරුද්දක් තිබ්බේ නෑ අපිට. ගිය අවුරුද්දේ තමයි අපි ඔක්කොමලා එකට එකතුවෙලා අවුරුද්දක් ගත කළේ ලොකු අක්කා අපිව පැරීසියට ගෙන්නා ගත්තු නිසා. මේ සැරේ කොහොම වෙයිද දන්නේ නෑ"

ස්වභාවික අනතුරු අඩු ක්ෂේම භූමියක උපන්නත් යුද බිය නිසා අපේ ජීවිත බොහෝ දුරට නැති නාස්ති වී තිබිණ. යෝගීලාට තරම් දැනුණේ නැති වුණත් මරණ බිය කියන දේ අපේ හිත්වලටත් විටෙන් විට අඩුවක් නැතිව දැනුණා

නොවේද ?

ත්‍රස්තවාදය නිසා ලොව පුරා කී දාහක් දෙනා අන්ත අසරණ අනාථයන් වී සිටීදැයි කල්පනා වේ. වැඩිදුර නොගොස් අපේ රටේ අපේම උන් කොයිතරම් නම් දුකක් වින්දා දැයි මට මතක් වේ. එහෙත් අවි දරා ගත් ත්‍රස්තවාදය තුරන් කළ හැක්කේ ඉන් පමණක් බව විශ්වවිද්‍යාලයේ මා සමඟ ඉගෙනුම ලබන ඒ දමිළ ජාතික මිතුරාගේ අදහස විය.

කලකට පසු ඔහු යළිත් මුණ ගැසුණේ යුද්ධය අවසන් වූ කාලයේදීය. අවිහිංසාව ඇති කළ හැක්කේ ත්‍රස්තවාදය තුරන් කර, හේ මා සමඟ යළි යළිත් පැවසුවේය. යාපනය නුවර මාර්ගය නැවත ජනතාවගේ පරිහරණයට ලැබීම ගැන ඔහු එකල බොහෝ උද්දාමයෙන් පසුවිය. "මට ගමේ යන්න පුළුවන් නිතර" එදා සිදුවූ විපර්යාසය ගැන යාපනයේ වැසියෙක් වන මගේ මිතුරා කතා කළේ පහන් සිතිනි. එනමුත් ලංකාවට පය ගසා නොමැති ඇතැම් පිටරටවල වෙසෙන පිරිස් තවමත් ත්‍රස්තවාදයට උල්පන්දම් දෙති.

මා නොසිතූ ලෙස අප ඒ කාලයේ යෝගීගේ කතන්දරවල ඇසූ ප්‍රදේශවල සේවය කිරීමට මටද සිදුවූයේ දෛවෝපගත ලෙසටය. අද ඔහු කොහේ හෝ යුරෝපා රටක සිටිනවා විය යුතුය.

වෛද්‍ය [බෝධිනී සමරතුංග]

මාතෘකා