ටැලන්ට් සොයා රියැලිටියෙන් ඔබ්බට..

 ඡායාරූපය:

ටැලන්ට් සොයා රියැලිටියෙන් ඔබ්බට..

යූත් විත් ටැලන්ට් යනු ශ්‍රී ලාංකේය රියැලිටි කලාව උඩුයටිකුරු කළ රියැලිටියක්. මෙහි තෙවැනි රියැලිටිය Youth with Talent 3rd Genaretion හි කුටප්‍රාප්තිය පසුගිය සතියේ මහරගම තරුණ සේවා මධ්‍යස්ථානයේදී පැවැත්වුණා. ‘අධිෂ්ඨානය ජයග්‍රහණය නම් හැකියාව විශ්මිත විය යුතුයි’ යන්න තේමාව බවට පත් කරමින් පැවති මේ රියැලිටිය තුළ එකිනෙකට වෙනස් හැකියාවන් අප හමුවේ තබන්නට තරගකරුවන් සමත් වුණා. මේ රියැලිටියට ඉදිරිපත් වූ 71,652ක් අප හමුවේ තබා ඇත්තේ සුවිශේෂ හැකියාවන් වරෙක සිනහවත්, තවත් වරක වික්‍රමාන්විත අභියෝගාත්මක ඉසව්වන් ලොව හමුවේ තබන්නටත් ඔවුන් සමත් වුණා. ඔවුන් තුළ ජීවත් වූ සැබෑ යෝධයා අප හමුවට ‍රැගෙන ඒමට මේ දක්ෂයන්ගෙන් අතිදක්ෂ තරගකරුවන් අට දෙනා සමත් වූ බව මගේ විශ්වාසයයි.

රියැලිටියේ කිසිවකුටත් නොදෙවැනි වූ සයිබුල් යමීන් තවමත් 17 හැවිරිදි වියේ පසුවන යෞවනයෙක්. ඔවුගේ පියා කුලී වැඩ කරමින් ජීවනෝපාය ගෙන යන්නෙක්. පවුලේ 9 දෙනකු ඉන් ජීවත් කළා. මවද රෝගී තත්ත්වයෙනුයි පසුවන්නේ. දුෂ්කර මන්නාරමේ ජීවිතය ගෙවන මොහු ජීවිතයේ අනේකවිධ අභියෝගයන්ට මුහුණ දෙන බව අමුතුවෙන් කිව යුතු නැහැ. සයිබුල් කුඩා කල සිටම තම ශරීරයේ පවතින සුවිශේෂතාවක් හඳුනා ගැනීමට සමත් වූ අතර ක්‍රමක්‍රමයෙන් ශරීරයේ පැවති නම්‍යශීලීභාවය තව තවත් වර්ධනය කර ගැනීමට සමත් වුණා. ඉසව් ගණනාවක් එහි නැමියාව උපයෝගී කර ගනිමින් අප හමුවේ තබන්නට ඔහුට හැකියාව ලැබුණා. සැබැවින්ම මේ තරුණයා තම කුසලතාව අලෙවි කළ හැකි වටිනාකමක් බවටයි පත් කළේ. ඒ සඳහා වෙහෙසුණා. අවසානයේ ජීවිතයත් මරණයත් අතර ක්‍රියාන්විතයකට යොමු වුණා. අඟල් 20ක් උසැති, අගල් 15ක් පළල පෙට්ටියකට ඔහුගේ සිරුර ඇතුළු කරගනිමින් වතුර බහාලූ ආවරණයක විනාඩ් 5 තප්පර 5කට වැඩි කාලයක් එහි රැඳී සිටිමින් ගිනස් වාර්තාවක් තැබීමට මේ අසහාය තරුණයා සමත් වුණා. පසුගිය කාලය තුළ කළ උපතින්ම රැගෙන ආ එකී වටිනාකමට, කුසලතාවට වටිනාකමක් එක් කරමින්යූත් විත් ටැලන්ට් කිරුළ දිනා ගත්තා.

ලැබූ පුහුණුව, කැපවීම හා අධිෂ්ඨානය මේ සාර්ථකත්වය තුළ සටහන්ව තිබෙනවා. සර්කස් ක්‍රීඩාව තුළ විස්මිත හැකියාවන් වේදිකාව පුරාම විද්‍යමාන කළ තරිඳු උදයංග මානසික ශක්තිය, සමබරතාව, වඩාත් ප්‍රකට කරමින් රියැලිටි වේදිකාව හැඩ කළා. යූත් විත් ටැලන්ට් වේදිකාවේ අයෝම කාන්තාවක්ද දැකගත හැකි වුණා. ඇය ඉරෝමි චතුරිකායි. පිරිමින්ට කළ නොහැකි වික්‍රමාන්විතයන් ඉරෝමි අප හමුවේ තබා අවසන්.

සම්පත් සුබසිංහ, කුෂාන් භාෂිත හැනිබල්ල, මොහොමඩ් රියාද්, රුවන් චාමරද සාමාන්‍ය මිනිසකුට කළ නොහැකි අසීමිත හැකියාවන් ප්‍රදර්ශනය කළා. ජාත්‍යන්තරයට ගෙන යාහැකි බොහෝ දේ ශ්‍රී ලාංකේය තාරුණ්‍යය සතු බව ලොවට පෙන්වන්නට සමත් වූ බව අමුතුවෙන් කිව යුතු නැහැ. මේ සියලු දෙනා තමා තුළ සිටි යෝධයන් රියැලිටිය තුළින් එළියට ගැනීමට සමත් වුණා. මේ තුළ ඔවුන් විසින් කරන ලද කැපවීම් බොහෝයි. අධිෂ්ඨාන ජයග්‍රහණය කිරීමට හැකියාව විස්මිත විය යුතු වුවත් විස්මිත හැකියාව ජනගත කරන්නට මොවුන් සියලු දෙනා කළ කැපවීම වචන ගණනාවකින් කිව හැක්කක් නොවෙයි.

මේ අපේ ශ්‍රී ලංකාවයි. අපේ මුතුන්මිත්තන් අතීතයේ පෙන්වූ දස්කම් විස්කම්වලට සැබෑ වටිනාකමක් ලබා දී ඇත්තේ ශ්‍රී ලාංකිකයන් කිසිදු රටකට දෙවැනි නොවන බව යළිත් විද්‍යමාන කරමින් ජාත්‍යන්තරයෙහි ශ්‍රී ලාංකේය නාමය සනිටුහන් කරන්නට විවිධ වූ මානයන් තුළ මොවුන් සමත්වනු ඇතැයි මා විශ්වාස කරනවා. එසේම තවත් බොහෝ තරුණ තරුණියන්ට විවිධ ක්ෂේත්‍රයන් තුළ මේ උරුමය අවදි කළ හැකිය යන්න මා විශ්වාස කරන කාරණාවක්.

බලන්න, අලිපැටියකු කුඩා කල සිටම ගැට ගසා ජීවිතයට හුරු කරනවා. මේ සතා සද්ධන්තයකු බවට පත් වූ විටද අර යකඩ දම්වැල ගලවා දැමුවද ගමන් කරන්නේ දම්වැලේ සීමාව තුළයි. මේ මානසිකත්වයෙන් මිදුනහොත් ඔබටද මීට වඩා වැඩි යමක් කළ හැකියි. හැම කෙනෙකුටම වික්‍රමාන්විත දේ කළ නොහැකි වුවද ඔබේ අසීමිත හැකියාව අවදි කළ හැකියි. ඒ සඳහා ඔබ විසින් තනනු ලැබූ රාමුවෙන් මිදිය යුතුයි. යූත් විත් ටැලන්ට් ශ්‍රී ලාංකේය තාරුණ්‍යය හමුවේ සමාජගත කරන්නේද මේ පණිවිඩයයි. ඔබ තුළ ජීවත් වන සැබෑ යෝධයා එළියට ගන්න. එවිට ඔබට ඔබේ ජීවිතය දිනන්නට අවැසි පරිසරය නිර්මාණය වේ. යූත් විත් ටැලන්ට් චරිත තුළින්ද ප්‍රකට වන්නේ මේ සත්‍යතාවයි.

මාතෘකා