අනුකරණය

 ඡායාරූපය:

අනුකරණය

අශෝක හඳගමගේ ‘අසන්ධිමිත්තා’ සිනමාපටය පිළිබඳව මට ඇති ගැටලුවක් නම් එහි ප්‍රධාන චරිතය වූ අසන්ධිමිත්තාට යථාව හා මායාව පෙනෙන ආකාරය විශ්වසනීය තලයක නොවීමයි. අසන්ධිමිත්තා සාමාන්‍ය ජීවිතය තුළ හැසිරෙන්නේ මනා සිහිකල්පනාවකින් යුතු හේතුයුක්ත පදනමකය. ඒ තුළ ඇය මායාකාරී ලෝකයක සිටිතැයි සිතිය නොහැකිය. එහෙත් කෘතිය පුරා ඇගේ ලෝකය යථාවත්, මායාවත් අතර දෝලනය වේ. මෙසේම යථාව හා මායාව අතර ජීවිතය හුවමාරු වන සිනමා චරිතයක් මා හට සිහි වේ. ඒ, Beautiful Mind සිනමාපටයේ ජෝන් නෑෂ් චරිතයය. ඔහු නිසගයෙන්ම සමාජ පිටස්තරයෙකි. ඔහුට ලෝකය පෙනෙනුයේ සෙස්සන්ට පෙනෙන ආකාරයට නොවේ. ඔහුට අකුරු හෝ ඉලක්කම් සම්භාරයක් ඇති තැනකින් කිසියම් අරුතක් නැඟෙන ඛේතයක් හඳුනාගත හැකිය. මේ අපූරු දෘෂ්ටිය තුළ වරෙක ඔහුගේ පෞද්ගලික ජීවිතයද ඔහුට මායාව - යථාව තෝරාබේරා ගත නොහැකි තැනකට පත් වේ. ඔහුට සිය මිතුරාගේ දියණියද අනෙකෙකු සේ පෙනේ. ඇත්ත වශයෙන් මෙය මායා රෝගයකි. මායා රෝගය වැළඳි කෙනෙක් ‘රෝගියෙකි’. ජෝන් නෑෂ්ගේ ‘රෝගී’ ලක්ෂණ සිනමාපටය මුල සිටම පෙනී යයි. එහෙත් අසන්ධිමිත්තාගෙන් කිසිදු ‘රෝගී’ ලකුණක් පෙනෙන්නේ නැත. එහෙත් ඈද මායා රෝගයෙන් පෙළෙන බව කතාව දිගහැරෙද්දී පෙනේ. ඉදින් ‘අසන්ධිමිත්තා’ හි මට ඇති ගැටලුව එයයි. එනම් කිසිදු ‘රෝගී’ ලකුණක් නොපෙන්වන, එළඹි සිහියෙන් සිටින චරිතයක් යථාව හා මායාව පැටලැවෙන අවස්ථාවන්හි ගැල්වීමයි. යථා ලෝකයේ සිටින කෙනෙකු වෙනත් කෙනෙකු ලෙස එම චරිතයට පෙනීමට සැලැස්වීමයි.

යථාර්ථය මායා ලොවකට ගෙන යන ප්‍රවණතාව සිංහල සාහිත්‍යයේ ආරම්භ වූයේ ගාර්සියා මාර්කේස්ගේ නවකතා සිංහලට එක් වීම සමඟය. ‘90 දශකය අග මාර්කේස්ගේ කතා කලාව හැඳින්වූයේ ඉන්ද්‍රජාලික යථාර්ථවාදය යනුවෙනි. එය සිංහල සාහිත්‍යකරුවනට සිත මන්මත් කරවන වදනක් වූ අතර කේ. ජයතිලක, ඒ.වී. සුරවීර වැනි හිටපු සාහිත්‍යධරයනට එය අරුචිකර වදනක් විය. කෙසේ වුව යථාව (Reality) මායාවකට (Illusion) ගෙන යෑම මායා යථාර්ථවාදී රීතියේ අංගයක් නොවේ. එය යථාර්ථවාදී රීතියේම ඉදිරි විකාශයකි. ඇත්ත වශයෙන් එය සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ සිහින විශ්ලේෂණයේ හා මනෝවිද්‍යාවේ සාහිත්‍යාවතරණයකි. චරිතයක් මායා රෝගයට නතු වීම මායා යථාර්ථවාදය (Magical Realism) හා සබැඳයාවක් නැති වුවත් මාර්කේස්ගේ සාහිත්‍ය රීතිය ලොව පුරා සාහිත්‍යකරුවනට විශාල බලපෑමක් කළේය. වෙසෙසින් සාහිත්‍යය යථාර්ථයේම තවත් තලයකට ගෙන යෑමට අනුබල දුන්නේය. ‘අසන්ධිමිත්තා’ සිනමාපටයට පාදක වූ ‘අසන්ධිමිත්තා’ නවකතාව බිහි වනුයේද පාර්ශ්වික වශයෙන් මේ අනුබලයේ - මාර්කේස්ගෙන් ඇරඹි සාහිත්‍ය කතිකාවේ - ප්‍රතිඵල වශයෙනි. එහෙත් එහිදී බොහෝ සාහිත්‍යකරුවන් අසාර්ථක වූයේ ඒ දේ ඔවුන් අනුකාරක ලෙස කිරීමට යෑම තුළය. මාර්කේස් නිතර කී දෙයක් නම් තමා ලියූ මායා යථාර්ථයක් නැති බවත්, තමා ලීවේ සිය ගම් පරිසරය වූ කොළොම්බියාවේ ඇරකාටකාවේ සැබැවින්ම ඇසුදුටු දේ බවත්ය.

මේ දේ ඔහු අනුකරණය කළ පිරිස පිළිපැද්දේ නැත. ඔවුන් කළේ තමන් තුළ නැති (තමා තුළින් නිසගව මතු නොවන) මායා යථාර්ථයක් ප්‍රබන්ධය තුළින් ගෙනහැර පෑමට උත්සුක වීමය. ප්‍රතිඵලය යථාර්ථවාදීත් නැති, මායා යථාර්ථවාදීත් නැති ව්‍යාජ ප්‍රබන්ධයක් ඔවුනගෙන් බිහි වීමයි. ‘අසන්ධිමිත්තා’ කෘතියටද සිදු වූයේ එයයි. එය නවකතාවක් වශයෙන් ව්‍යාජ උත්සාහයකි.

මායාව, සිහිනය, ෆැන්ටසිය නව සාහිත්‍ය භාවිතාවන් නොවේ. මේ සියල්ලේ ඇත්තේ යථාර්ථයේම දිගුවන්ය. අනෙක් අතට ඊටද එදා ‘සිංහල නවකතා ඉතිහාසය හා විචාරයේ’ සරච්චන්ද්‍ර කී විශ්වසනීයත්වයේ සාධකය අත්‍යන්තයෙන් වලංගුය. මෙනිසා මායාවෙන්, ෆැන්ටසියෙන් උසස් ප්‍රබන්ධයක් බිහි කළ හැක්කේ දැනුම් පද්ධතිවලින් හිස පුරවා ගත්තකුට නොව අව්‍යාජ, නිසග ප්‍රබන්ධකරුවකුටය. ඊට හොඳම නිදසුන සයිමන් නවගත්තේගමය. ඔහු මේ අංග භාවිත කළේ අව්‍යාජ ලෙස තමාගෙන් පැනනැඟී මිස අනුකරණාත්මකව නොවේ. ‘සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා’, ‘සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා’, ‘සංසාරාරණ්‍යයේ අසබඩ’ වැනි ප්‍රබන්ධ කතා ඊට දෙස් දේ. අනුකාරක ප්‍රබන්ධකරුවකු කවර කල්පනා ලෝකයක් බිහි කළත් එය කඩතොලු සහිත ලෝකයකි. අසම්පූර්ණ කල්පනා ලෝකයකි.

වර්තමානයේ නව සාහිත්‍ය රීතීන් අනුකරණය කරන ප්‍රබන්ධකරුවන් දෙස බැලූ විට පෙනී යන කරුණක් නම් ඔවුනට මායා යථාර්ථවාදයෙන් නොව සරල යථාර්ථවාදී රීතියෙන් හෝ සාර්ථක ලෙස ලිවිය නොහැකි බවයි. සරලව කිවහොත් පැහැදිලිව, නිවැරදි බසින් වැකියක් හෝ ගළපා ගත නොහැකි බවයි. ඇතැම් විට ඔවුන් තමන්ගේ නොහැකියාව වසා ගන්නේ මේ නව භාවිතාවන් හරහාය. වර්තමාන සමාජ ව්‍යාකූලත්වය ප්‍රබන්ධයෙන් ඉදිරිපත් කරද්දී බොහෝ විට ලිඛිත වහර වලංගු නොවේ. එසේම වැකි අතර නිවැරදි ගැළපීම්, නිවැරදි වියරණය, නිරවුල් බස, සුමට රිද්මය ආදිය ඇවැසි නොවේ. එහෙත් ප්‍රතිභා හීන අනුකාරකයන් ගැලවෙන්නේ පශ්චාත් නූතන සාහිත්‍යයේ මේ ආකෘතික අංග තුළය. එවිට ඔවුනට කුමක් හෝ ලියා සමත් විය හැකිය. රීතීන්ට වහල් වී සාහිත්‍යකරුවන් ගොඩනොනැඟෙන බව ඔවුනට අවබෝධයක් නොවේ. ඔවුන් සම්මානයෙන් පුදන අයටද අවබෝධ නොවේ. මට හැඟෙන ලෙස සාර්ථක යථාර්ථවාදී ප්‍රබන්ධයක් ලිවිය නොහැකි කෙනකුට සාර්ථක අධියථාර්ථවාදී ප්‍රබන්ධයක්ද ලිවිය නොහැකිය. පශ්චාත් නූතනවාදී ප්‍රබන්ධ ලියමින් සිටි ජපන් නවකතාකරු හරුකි මුරකාමි 1987 වසරේ Norwegian Wood (ජපන් බසින් වූ කෘතිය) යථාර්ථවාදී නවකතාවක් ලෙස ලියනුයේ ඔහුට එම රීතියෙන් සාර්ථක විය හැකිදැයි පසක් කරගැනීමටය. සැබැවින්ම එය ජපන් පාඨක සමාජය ඔහු වටා අසුරු සැණින් පෙළගස්වන්නක් විය.

නිසග සාහිත්‍යකරුවකුට අනුකරණය කළ නොහැකි දේකි. අනුකරණය කරන්නේ දී ඇති දේ මහත් කොට සලකන්නන්ය. සැබෑ කතාකරුවාට දෙන ලද දේ මහත් නොවේ. ඔහු අලුත් දේ සොයා ගනී. අලුත් රීතීන් උපදවයි. කෆ්කා කිසිවකු අනුකරණය කළේ නැත. ඔහුම කෆ්කානු රීතියක් ගොඩනැඟීය. පේරාදෙණි ගුරුකුලය අනුකාරක ගුරුකුලයක් යැයි අද නිතර වැහැරුණත් එහි සාහිත්‍යකරණයේ නියුතු වූ කිසිවකු අනුකාරකයන් වූයේ නැත. කොටින්ම එසේ චෝදනා කරන ගුණදාස අමරසේකරවත් අනුකාරකයෙක් නොවේ. සාහිත්‍යයේ උන්නතිය නම් නව රීතීන් අනුගමනය නොවේ, පරණ රීතීන්හි හෝ - පරණ රීතීන් කියා කොටසක් නොමැති වුවත් - අව්‍යාජ ලෙස නිරත වන්නන් සිටීමය. වර්තමාන නවකතාව, කෙටිකතාව ඇදවැටී ඇතැයි කිව හැක්කේ එවැනි අව්‍යාජ කතාකරුවන් අද හිඟ වීම තුළය. ප්‍රබන්ධයක විශ්වසනීයත්වය, නව්‍යත්වය, අපූර්වත්වය ආදී හැමෙකක්ම ඇති වන්නේ අව්‍යාජ කතාකරණය තුළය. අව්‍යාජත්වයෙන් තොරව ප්‍රබන්ධයක් නැතැයි කිව හැක්කේ ව්‍යාජත්වය නොහොත් අනුකරණය යනු පිටතට හැරීමක් නිසාය. කතාකරණයේදී තමාගේ අවිඥානික කල්පනා ලෝකය වෙනුවට බැහැර ලෝකයේ කිමිදෙන්නා අතින් සැබෑ ප්‍රබන්ධයක් බිහි නොවේ.

අනුකාරකයා සැම විටම සිතන්නේ පවතින රීතීන් පරණ වැඩි බවයි. එහෙත් රීතිය යනු ලියන ඇසිල්ලේ කතාකරුවාගේ මනෝභාවයන් තුළින් - පාත්‍රයන්ගේ ජීවන ලෝකය තුළින් - ගොඩනැඟෙන දේකි. සැබැවින්ම සාහිත්‍යයේ නව රීතීන් කියා දෙයක් නැත. කතාකරුවා අතින් හැම විටම ලියන ඇසිල්ලේ නව රීතීන් බිහි වන බැවිනි. සෑම මහා කෘතියක්ම නව සාහිත්‍ය ගොඩනැඟීමකි. එහි රීතිය ඊට අනන්‍ය එකකි. කෆ්කාගේ රීතිය ඔහුට අනන්‍ය එකකි. ෆෝක්නර්ගේ රීතිය ඔහුට අනන්‍යය. සයිමන් නවගත්තේගම මියගිය පසුව ඔහු අනුයූ ප්‍රබන්ධකරුවන් පිරිසක් අපේ ඇති විය. ඒ පිරිසට අවබෝධ නොවූයේ ඒ රීතිය ඔහුගේ මිස තමනට ‘කොපි’ කළ නොහැකි බවයි. පුද්ගලයන් එකිනෙකාගෙන් වෙනස් වන්නේ නම් ඔවුන්ගේ සාහිත්‍ය භාවිතාවන්ද එකිනෙකට වෙනස් වේ. ඒ හැමෙකක්ම ඔවුනොවුන්ට ආවේණිකය. සාහිත්‍යය සජීවී මාධ්‍යයක් වන්නේද මේ තුළය. ක්‍රිකට් තරගයක් මෙන් ඕනෑම මොහොතක ඕනෑම දෙයක් එහි විය හැකි නිසාය.

[රවින්ද්‍ර විජේවර්ධන]

මාතෘකා