ගරිල්ලා මාකටින්!

 ඡායාරූපය:

ගරිල්ලා මාකටින්!

මචං මේ අවුරුදු ළඟයි නේද ඇඳුම් ගන්න කොහේටද යන්නෙ' මාර්තු මාසෙ අන්තිම සතියෙ දවසක උදේ පාන්දර කෝල් එකක් ආවෙ චමලෙ ගෙන්.

'උඹට පිස්සුද බන් තවම කොහා කෑ ගැහුවෙත් නෑ.... දැන්ම මොන අවුරුදුද.... වැඩක් නැත්තන් අපේ ගෙදර වරෙන් වත්ත ටිකක් සුද්ද කරල දාන්න'

කියල ෆෝන් එක කට් කරන්න හදද්දිම චමලෙ කියපි,

'පිස්සුද බන් ඒ ඉස්සර තමයි කොහා කෑ ගහනකොට අවුරුදු එනව කියල දැනගත්තේ. දෑ කොහා අවුරුදු නිවාඩුවට පවුලත් එක්ක සතුටින් ඉන්න ඇමරිකා යනවලු. දැන් අවුරුදු දැනගන්නෙ සිංහල කඩෙන් බඩු ගන්න කියල අලවන පොස්ටර් එකෙන්. උඹ ඒකවත් දන්නෙ නැද්ද....'

ඇත්ත නේන්නම් පහුගිය දවස්වල විල්පත්තු සුරකින්න ශ්‍රීපාදය සුරකින්න වගේ එක එක ජාතිවාදී පාරවල්වලින් ආවෙ මේ සිංහල අවුරුද්ද ළඟ එනකොට තමන්ගෙ බිස්නස් එක නග්ග ගන්න කරන පහත් වැඩේ ප්‍රතිඵල තමයි. හැම අවුරුද්දකම සිංහල දෙමළ අවුරුද්ද ළං වෙනකොට දෙයියනේ කියල ෆේස්බුක් එක පුරාවටයි තාප්ප පුරාවටයි පොස්ටර් අලවන්නෙ සිංහල කඩවලින් බඩු ගනින් කියලනෙ.

මේක ලියද්දි මට මතක් වුණේ අපේ අල්ලපු ගෙදර ඉන්න අයියව. පොරගෙ නම 'හෙළකුමාර සිංහපක්ෂ' හැමෝම ආදරේට කියන්නෙ හෙළයා කියල. හෙළය කියන්නෙ තුන් වේලට පිරිත් අහන සිංහල හාලෙ බතට සිංහල වතුර බොන විධියෙ පොර. පොර මේ ළඟදි දවසක ජපානෙන් ආනයනය කරපු දඬුමොනරෙකුට (දඬුමොනරා කියන්නෙ කාර් එකට) අරාබි තෙල් ගහගෙන සිංහල කඩයකින් ඇඳුම් ගන්න යනව දැකල නිකමට ඇහුවා, හෙළය අයියේ ලංකාවෙ කවදද තෙල් හොයාගත්තේ කියල. මෙන්න නිකන් භූමිතෙල් ගහපු ගැරඬියා වගේ පොර මිසින්. ඔන්න ඕකයි තත්වෙ....

ඒ අතර ඔන්න ගෝඨාභය මැතිතුමා තමන්ගෙ රටට පවුල එක්ක අවුරුදු සමරන්න ගිහින් ඉන්න වෙලාවක සිතාසියක් දීලලු. ඒ අවස්ථාවෙ ෆොටෝ එකක් අන්තර්ජාලයෙ සැරිසරනව දැකපු හුඟක් අය නම් කියන්නෙ දකුණෙන් අරගෙන ගියපු ඇඹුල් තියල් පාර්සලයක් ඇමරිකාවෙ යාළුවෙක්ට දෙන ෆොටෝ එකක් කියල. ඇඹුල් තියල් හෝ මොනව හෝ වේවා එතුමාගෙ ජනාධිපති සිහිනයට ප්‍රශ්නයක් වෙයි කියල කියන අයත් නැතිවම නෙවෙයි. කොහොම හරි එතුමා තමන්ගෙ බිරිඳ එක්ක ගත්ත පින්තූරයක් අන්තර්ජාලයට දාලා තිබුණෙ නිවාඩු කාලය පවුල එක්ක ගතකරන එක සතුට කියල. එතුමා ඉස්සරත් එහෙම හිතල තිබ්බ නම් තාජුඩීන්, ලසන්ත, එක්නැලිගොඩ වගේ අයත් මේ ඒ වගේ ෆොටෝ දානව අපිට බලන්න තිබ්බා. අවාසනාවකට එතුමට ඒවා මතක් වෙන්න බලය නැතිවෙනකම් ම ඉන්න වුණානෙ....

මේ ලබන්නා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද දවස් අලුත්ම විදියට candle light dinner එකක් අරගෙන සුන්දර විදියට සමරන්න පුළුවන් අවුරුද්දක් වෙයි කියල අපේ සීයා කීවෙ දවස ගානෙ කරන්ට් එක කපන නිසා. විදුලිබල ඇමතිතුමාට ප්‍රශංසා කරන්න ඕනි ඒ වගේ සුන්දර අවස්ථාවක් සකල ශ්‍රීලාංකිකයන්ට ලබා දෙනවට....-

[සුජිත් ප්‍රියන්ත]

[චමල් අකලංක ]

මාතෘකා