ප්‍රකාශන අයිතිය හා ශක්තික සත්කුමාර නඩුව

 ඡායාරූපය:

ප්‍රකාශන අයිතිය හා ශක්තික සත්කුමාර නඩුව

ශක්තික සත්කුමාර විසින් රචනා කරන ලද ‘අර්ධ’ නම් කෙටි කතාවේ යම් කොටසක් මඟින් බෞද්ධාගමට බලපෑමක් විනැයි පොල්ගහවෙල පොලිසිය පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව 9 වෙනිදා කැඳවීය. එහිදී උදෑසන පටන්ම පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රය ඉදිරිපිට ස්වාමීන් වහන්සේලා කණ්ඩායමක් ඇතුළු පිරිසක් නිහඩ විරෝධතාවක යෙදෙනු දක්නට ලැබුණි. මාධ්‍යවේදීන් කිහිපදෙනෙක්ද විරෝධතාකරුවන්ගේ ඡායාරූප ගැනීමෙහි යෙදී සිටිනු දක්නට ලැබුණි.

නඩුව අධිකරණයේ කැඳවූ අවස්ථාවේ පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් පොල්ගහවෙල පොලිසියේ නිලධාරීන් පිරිසකුත් අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ මහේෂ් හේරත්, නීතිඥ උපුල්සරා ජයසිංහ, නීතිඥ පද්මසිරි හේරත් යන මහත්වරු සමඟ නීතිඥ සරත් දසනායක මහතාද පෙනී සිටියහ.

ශක්තික සත්කුමාර වෙනුවෙන් නීතිඥ නිහාර රන්දෙණිය, නීතිඥ අථිල අතාවුද, නීතිඥ සංජය විල්සන්, නීතිඥ සී.ඩබ්.ඩබ්. රත්නායක, නීතිඥ බුද්ධදේව ගුණරත්න, නීතිඥ තුෂාර ද සිල්වා සහ නීතිඥ එස් කොටගොඩහෙට්ටි යන මහත්වරු සමඟ ජනාධිපති නීතිඥ එස්.ටී. ජයනාග මහතා පෙනී සිටියහ.

පොල්ගහවෙල පොලිසිය විසින් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරනු ලබමින් මෙම නඩුවට අදාළ විමර්ශන කටයුතු අවසන් වී නොමැති බවත් මෙය දණ්ඩ නීති සංග්‍රහයේ 291 වගන්තිය යටතේ සහ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳව ජාත්‍යන්තර සම්මුති පනතේ 3 වැනි වගන්තිය යටතේ කළ වරදක් වන හෙයින් ඇප ලබාදීමේ බලය මෙම අධිකරණයට නොමැති බවත් එහෙයින් සැකකරු දිගටම රක්ෂණ භාරයට පත් කරන ලෙසත් ඉල්ලා සිටියේය.

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ සරත් දසනායක මහතා කරුණු දක්වමින් ප්‍රකාශනයේ සහ භාෂණයේ නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර ඇතත්, ඒ සඳහාද සීමාවන් පවත්නා බව සඳහන් කළේය. වැඩිදුරටත් කරුණු දැක්වූ ඒ මහතා මෙම කෙටි කතාව මුහුණු පොතේ පළ කිරීමට යොදාගෙන ඇති ආවරණ ඡායාරූපය අඩ නිරුවත් එකක් බවත් එය බෙහෙවින් අනුචිත බවත් කියා සිටියේය. මේ හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව අතර ඉමහත් කැළඹීමක් ඇති වී තිබෙන බවද කී ඒ මහතා එම ජනතාවගෙන් කොටසක් අධිකරණය ඉදිරිපිට විරෝධතාවක යෙදෙන බවද පෙන්වා දුන්නේය.

සැකකරු වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ එස්.ටී. ජයනාග මහතා පළමුවෙන්ම සැකකරු කවරෙක්ද යන්න පිළිබඳව අධිකරණයට හැඳින්වීමක් කළේය. ඔහු සාහිත්‍යකරුවෙකු බවත් සාහිත්‍ය විචාරකයෙකු බවත් දැනට පොත් ගණනාවක් ලියා පළ කළ ගත්කතුවරයෙකු බවත් අධිකරණයේ අවධානයට යොමු කරමින් ඔහු විසින් රචනා කරන ලද පොත් ලැයිස්තුවක්ද එම පොත්වලින් 3ක පමණ පිටපත්ද අධිකරණයට ඉදිරිපත් කර සිටියේය. ඊට අමතරව සැකකරු කැලණිය විශ්ව විද්‍යාලයේ උපාධිධරයෙකු වන බවද පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයේ බුද්ධ ධර්මය පිළිබදව ඩිප්ලෝමාධාරියෙකු බවද අධිකරණයේ අවධානයට යොමු කළේය.

ඉන්පසු පොලිසිය මෙම වරදට අදාළව සම්පූර්ණ කරුණු අධිකරණය වෙත වාර්තා කර නොමැති බවත් යටත් පිරිසෙයින් ප්‍රශ්නගත වී ඇති සම්පූර්ණ කෙටි කතාව හෝ අධිකරණයට ඉදිරිපත් කර නොමැති බවටත් අවධානයට යොමු කළ ජනාධිපති නීතිඥවරයා ‘අර්ධ’ කෙටි කතාවේ සම්පූර්ණ පිටපතක් පළමු වරට අධිකරණයට ඉදිරිපත් කරමින් කියා සිටියේ එම සම්පූර්ණ කෙටි කතාව කියවා බලන කළ ඉන් බුදු දහමට හෝ බෞද්ධාගමික විශ්වාසයට කිසිදු අපහාසයක් සිදුවන බවක් අනාවරණය නොවන බවයි.

ඒ අනුව මෙහිදී සිදුවී ඇති සත්‍ය සිදුවීම මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පොලිසිය විසින් කරුණු වාර්තා කරනු ලැබ ඇති ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන දෙකේම ඇති සංඝටක තෘප්ත නොකරන බව ජනාධිපති නීතිඥ ජයනාග මහතා අධිකරණයට සැලකර සිටියේය. මහනුවර මහාධිකරණයේදී විනිසුරු ආර්.බී. රණරාජා මහතාගේ අධිකරණ තීන්දුවක් කෙරෙහි අධිකරණයේ අවධානය යොමු කරමින් එම තීන්දුවේ දක්වා ඇති පරිදි පොදු ආචාර ධර්ම සම්බන්ධයෙන් අධිකරණය මැදිහත් වීම අනවශ්‍ය බවත්, පුද්ගල නිදහස මිනිසෙකු සතු පූජනීයම අයිතිය බවත්, අත්අඩංගුවට පත්වීම නිසා ඔහුට එම නිදහස අහිමි වනවා මෙන්ම විමර්ශන නිලධාරීන්ට අත්අඩංගුවට පත්වන පුද්ගලයා කෙරෙහි අසීමිත බලයක් ලැබෙන බවත් එවන් අවස්ථාවක පොලිසිය මඟින් ඉදිරිපත් කරන අසාධාරණ තොරතුරු වාර්තාවකට වලංගුභාවයක් ලබා දෙන හුදු රබර් මුද්‍රාවක තත්ත්වයට අධිකරණය පත්විය යුතු නැති බවත් සැළකර සිටියේය.

ඩැනී එදිරිව සිරිනිමල් සිල්වා පොලිස්පති නඩු තීන්දුව උපුටා දක්වමින් වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා "යම් පූර්ව නිගමනයක් කරපින්නාගත් විමර්ශකයෙකුගේ නිර්දය අභිලාශයන් මුදුන් පමුණුවාලීමට මහේස්ත්‍රාත්වරයෙකු සැකකරුවෙකු බන්ධනාගාරගත නොකළ යුතු බව" අවධාරණය කළේය.

සෙබස්තියන් ප්‍රනාන්දු එදිරිව කටාන විවිධ සේවා සමුපකාර සමිතිය නඩු තීන්දුව උපුටා දක්වමින් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ ජයනාග මහතා යම් අවස්ථාවක අදාළ වන නීතිය පිළිබදව ව්‍යාකූලත්වයක් පවත්නා විට සහ තොරා ගැනීම් දෙකක් සිදු කළ හැකි විට දණ්ඩන නියමයක් නොපැනවිය හැකි යම් විකල්පයක් වේ නම් එය තෝරා ගතයුතු බව සඳහන් කළේය. මෙහිදී පොලිසිය විසින්ම දණ්ඩ නීති සංග්‍රහයේ 291 වගන්තිය සහ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳව ජාත්‍යන්තර සම්මුති පනතේ 3 වැනි වගන්තිය ආදී වශයෙන් විකල්ප දෙකක් ඉදිරිපත් කර ඇති තත්ත්වයක් තුළ එකම වරදකට චෝදනා දෙකකට වරදකරු නොකළ හැකි හෙයින් මෙහිදී ඇප දිය හැකි වරදක් වන දණ්ඩ නීති සංග්‍රහයේ 291 වගන්තිය තෝරාගෙන ඒ අනුව ඇප නියම කිරීමට මෙම අධිකරණයට බලය ඇති බවත් සඳහන් කරමින් සැකකරුගේ පූර්ව කල්ක්‍රියාව, පෙර වැරදි හෝ පවත්නා නඩු නොමැති වීම, සැකකරුට කුඩා දරුවන් දෙදෙනෙකු සිටීම යනාදී කරුණුද සලකා බලා එළඹෙන සිංහල අලුත් අවුරුදු සමයේ සැකකරුට පවුලේ සාමාජිකයන් සමඟ ගතකිරීමට අවස්ථාව හිමිවන පරිදි ඔහු ඇප මත මුදාහරින ලෙස ඉල්ලා සිටියේය.

ඉන්පසු මහේස්ත්‍රාත්තුමිය විසින් සැකකරු අප්‍රේල් 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරනු ලැබුවාය.

[නීතීඥ අථිල අතාවුද]

මාතෘකා