පිං ළිඳ

 ඡායාරූපය:

පිං ළිඳ

මගේ කාර්යාලයට එන පාරේ කෙළවරක තියෙන්නේ එළවළු කොරටුවක්. වෙනදාට උදේ මං එනකොට මගේ නෙත ගැටෙන්නේ ළා කොළ හෝ තද කොළ පැහැ සාරවත් එළවළු එහි අතු, ඉති, වැල්වලින් එල්ලෙන සැටියි. ඒත් අද උදෑසන මම දැක්කේ මැලවුණු එළවළු කොරටුවක්. මේ අපේක්ෂා නොකළ දර්ශනයෙන් මම සිත් තැවුලට පත් වුණා.

කාර්යාලයට පැමිණි මගේ මුල්ම රාජකාරිය වුණේ විමර්ශනයට ලැබී තිබෙන නව සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව සොයාබැලීම. වසරක මුල් මාස හයක පමණ කාලයේ විවිධාකාරයේ සංවර්ධන ව්‍යාපෘති ග්‍රාම සේවා වසම් සඳහා යෝජනා වෙනවා. මේවා වසර අවසානයට පෙර නිම කළ යුතු වන්නේ ඒ නිම නොවුණොත් ඊට ලැබෙන ප්‍රතිපාදන ආපසු හරවා යැවෙන නිසා. ඉතින් මුදල් වර්ෂය අවසානයට පෙර ලැබෙන ව්‍යාපෘති නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට මෙන්ම එහි ප්‍රගතිය විමසා බැලීමටත් ක්ෂේත්‍ර නිලධාරීන් වන අපි බැඳී සිටිනවා.

කාර්යාලයෙන් බැහැර පැමිණි මට අද යන්න තිබුණේ මීට වසර දෙකකට පෙර ඇරඹූ සංවර්ධන ව්‍යාපෘතියක් විමසා බලන්න. එය පොදු නාන ළිඳක්. වසමේ කෙළවරකට වෙන්න පිහිටා තිබූ මේ ළිඳ වසර ගණනාවක් පැරණියි. ඒ වගේම නියං කාලයේවත් නොසිඳෙන දිය උල්පත් සහිතයි. එහෙම කියන්නෙ ගම්මු. එය සත්‍යයක් බව වසමේ රාජකාරියට පැමිණි දා සිට මේ දක්වා එහි ජලය නොසිඳීමෙන් මටත් පැහැදිලි වුණා.

කල්පනාවෙන් කල්පනාවෙන් මම ළිඳ ළඟටම ඇවිත්. පසුගිය වසරේ සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා ලැබුණු මුදලින් රුපියල් ලක්ෂ පහක මුදලක් යොදවා මේ ළිඳ ප්‍රතිසංස්කරණය කළේ. නිල් පාට තීන්ත ආලේප කර නිල් කැටේට වතුර බබළන ළිඳ ඇත්තටම බලන්න ලස්සනයි. උදෑසනම වුණත් ගමේ කාන්තාවන් බොහෝ දෙනෙක් රෙදි හෝදන්න ළිඳට ඇවිත්. මම ළිඳ ළඟට යන්න හැරෙන කොටම මට කවුරුහරි කථා කරනවා ඇසුණා.

“මිස් උදෙන්ම ළිඳ බලන්න ඇවිත් වගේ!”

ඒ, අපේ ගමේ සුබසාධක සමිතියේ සභාපතිතුමා. ඔහුගේ කැපවීම මත මේ ළිඳට ලැබුණු මුදලින් කරන්න තිබූ දේට වඩා වැඩි යමක් අපට කරන්න පුළුවන් වුණා. ඒ, සමිතියේ අය වෙහෙස නොබලා වැඩ කළ නිසා.

“බලන්න, මිස් ළිඳ හදපු එකේ තියෙන වටිනාකම. කී දෙනෙක් කියලා අද යසට නා ගන්නවාද! රෙදි හෝදගන්නවාද! මේ වතුර නැති පෑවිල්ල කාලෙක සීතල වතුර ටිකක් තියෙනවා කියන්නෙම කොච්චර දෙයක්ද”

ඔහු හරිම සතුටින් කථා කරන්නෙ. පානීය ජල ගැටලුව මේ ප්‍රදේශයේ උග්‍ර නැහැ. ගොඩක් වෙලාවට නිවාස දෙක තුනකට බොන වතුර ගන්න හොඳ මට්ටමේ තියෙන ජල මූලාශ්‍ර මෙහි තියෙනවා. ඒ වගේම බහුතරයක් නිවැසියන් ජලාපවාහන මණ්ඩලයෙන් ලබාදෙන ජල පහසුකමුත් අරගෙන.

“බොන වතුර ගැන මෙහේ ගැටලු අඩු නිසා ළිඳ හදපු එක හොඳට ගියා නේද?”

මම ඔහුගෙන් ඇසුවා.

“ඔව් මිස්. ඒක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි නාන්න, රෙදි හෝදන්න තිබ්බ ප්‍රශ්නෙත් දැන් ඉවරයිනේ.”

මම ඔහුගෙන් සමුගෙන සෙමින් සෙමින් ළිඳ ළඟට ගමන් කළා. ගමේ ගැහැනුන්ගෙන් බාගයක්ම ළිඳේ කිව්වොත් මම නිවැරදියි කියලා හිතෙනවා. වයස කොහොම වෙතත් දරුවන් තරුණ අය පමණක් නොව මහලු අයගෙනුත් ළිඳ පිරිලා. කොපමණ පිරිසක් ළිඳේ වතුර ප්‍රයෝජනයට ගත්තත් එහි වතුර නම් අඩුවක් නැති ගානයි. මට හැඟුණේ හරියට අම්මා කෙනෙක් තමන්ගේ හැම දරුවකුටම එක වගේ ආදරෙයි වගේ හැඟීමක්. පසෙකින් කෙනෙක් රෙදි සෝදන කොට තවත් කෙනෙක් පැත්තකින් නානවා. නැත්නම් තමන්ගේ දරුවන් නාවනවා. මේ දර්ශනය හරිම අපූරුයි. වැස්ස වලාහක දෙවියෝ අපි දිහා නෙත් යොමාගෙන දුක බලනකන් මේ ළිඳේ වතුර ප්‍රමාණවත් වෙයි කියලා මට හිතුණා.

“නෝන මහත්තයා, අද අපේ ළිඳ බලන්න ආවාද?”

මගේ සිතිවිලි දැහැන බිඳ වැටුණේ නොදන්නා කටහඬකින්.

“ඔව්. අම්මා නා ගත්තාද උදෙන්ම?”

මං කථා කළේ වයසක අම්මා කෙනකුට. ඇය උදෙන්ම ස්නානය කරලා තිබුණා.

“පොඩි එකී මාව උදෙන්ම නාවන්න එක්කගෙන එනවානේ. උදෙන්ම නෑවාම ඇඟට හරිම සනීපයි. නෝනා ආණ්ඩුවෙන්ලු නේද මේ ළිඳ හැදෙව්වේ?”

ඇය මගෙන් විමසුවා.

“ඔව්. ළිඳ කැඩිලානේ තිබ්බේ. කවුරුත් හදමු කියලා කියපු නිසා හැදෙව්වා. දැන් සබන් වතුර එහෙම ළිඳ ඇතුළට යන්නේ නැහැ නේද?”

“නෑ. නෑ. දැන් හොඳ සීතලට වතුර ටික තියෙනවා. මේ ළිඳේ වයස අපි දන්නෙත් නෑ නෝනා. අපේ අත්තලා මුත්තලා ඉඳල නාලා තියෙන්නේ මේ ළිඳෙන්. හරි සනීප වතුර ටික. ජරාවාස වෙලා තිබුණු මේ ළිඳ හැදෙව්වාට නෝනලාට ජාති ජාතිත් පිං ලැබෙන්න ඕන!”

ඇගේ කතාවෙන් මගේ සිත සසල වුණා. රාජ්‍ය සේවයේදී හරියට වැඩ කළොත් ජාති ජාතිත් පිං පල දෙන බවත් අකටයුතුකම් කළොත් බලු කපුටන් සේ උපදින බවත් පැරණි සෙල්ලිපියක ඇති කියමන මගේ මතකයට නැඟුණා. කෙතරම් යහපත් ක්‍රියාවන් සිදු කළත් හොඳක් අහන්න නොලැබෙන මේ සමාජයේ මේ අම්මාගේ ප්‍රාර්ථනයෙන් මට දැනුණේ රාජ්‍ය සේවකයකු වීම පිළිබඳ සතුටක්. ඒවගේම අභිමානයක්.

මාතෘකා