අවුරුදු අසූවේ තරුණයා

 ඡායාරූපය:

අවුරුදු අසූවේ තරුණයා

වියපත්වීම ගැන අසුබවාදී දේ නොසිතා ඉන්නට මගේ ජීවිතයට බලපෑම් කළ දෙදෙනෙක් වෙති. එයින් කෙනෙකු මව් පාර්ශ්වයේ මිත්තනිය වූ මගේ කිරි අම්මාය. ඇය අප හැර ගියේ වයස අවුරුදු සියයකුත් තව අවුරුද්දක් ආයු වළඳා අවසනය. වයස අවුරුදු අනූ ගණන්වලදීත් වත්තට බැස පැළ ඉන්දන, මුළුතැන්ගෙට ගොස් බත් මාළු පිසින, බස් රථවල වාඩි වී යෑමෙන් හන්දිපත් රිදුම්දෙන තරම් දුර ගෙවා විනෝද ගමන් යෑමට සැදී පැහැදී සිටින කිරි අම්මා කෙනෙකු මට මතකය. හදිසි අනතුරක් වී ඇය එක්තැන් වූයේ අවුරුදු අනූ පහ පැන්නාටත් පසුවය. ඒ කාලයේදීත් කවුරුහෝ සිරීපාදයේ යන කතාවක් ඇසූ ඈ "මටත් හිතයි යන්ඩ!" යි මා සමඟ කීවාය!!!

වයසට යෑමත්, ලෙඩ වීමත් තුට්ටුවකට මායිම් නොකළ ඇය ගැන ලිවීම පසුවට තබා මම දැන් අනෙකා දෙස හැරෙමි.

ඒ අසූ හැවිරිදි තරුණයා මට හමු වන්නේ යාපනයේදීය. එහිදී මට හමු වූ ආදරණීය වැඩිහිටියකු වන සුබ්‍රමනියම් පරමනාදන් සමඟ, කන්කසන්තුරය - පේදුරුතුඩුව ඒබී 21 පාර අසල පිහිටි මයිලිඩ්ඩි මුහුදු තීරයට ගිය ගමනකදී ඒ අහඹු මුණ ගැසීම සිදු විය.

පරමනාදන් මහතා මයිලිඩ්ඩි වෙරළේදී හමු වූ විජයරත්නම් රත්නරාජාව මට හඳුන්වා දුන්නේ "අපි කාලයක් එකට වැඩ කරපු යාළුවෝ" යනුවෙනි. දශක තුනක් තිස්සේ යුද්ධය සමග ඔට්ටු වෙමින්, යුද්ධයෙන් විපතට පත් මිනිසුන් වෙනුවෙන් වැඩ කළ මේ අසූ හැවිරිදි තරුණයන් දෙදෙනාගේ අතොරක් නැති කතාන්දරවලට සවන් දීමට මට එදා සිදු විය. පරමනාදන් ඉන් කෙටි කලකට පසු හදිසි අනතුරකට ලක්ව මෙලොව හැර ගියේය. එතැන් පටන් යාපනයේ බොහෝ ගමන්වලදී මගේ මාර්ගෝපදේශකයා වූයේ රත්නරාජා හෙවත් මෙකී අසූ වියැති තරුණයාය.

මයිලිඩ්ඩි මුහුදු තීරය අසල, යුද්ධයේ බිහිසුණු ප්‍රහාරයකින් කඩා වැටුණු කන්නගි අම්මාන් කෝවිල අලුත්වැඩියා කිරිමේ කටයුතුවල නියැලී සිටි විජයරත්නම් රත්නරාජා, අවුරුද්දේ මාස හයක් විදේශ රටක පදිංචි වී සිටින සිය දුවා දරුවන් සමඟ ගත කරයි. ඉතිරි මාස හය ලංකාවට විත්, යුද්ධයෙන් තුවාල වූ උපන් බිමේ දුක් පීඩා අසන්නටත්, ඒ මිනිසුන් වෙනුවෙන් හැකි පමණින් උදව් වෙන්නටත් නොසිඳෙන දිරියකින් වැඩ කරයි.

ඔහුගේ පාරම්පරික නිවහන පලාලි අධි ආරක්ෂිත කලාපයට හසු වී තිබුණු අතර අද එතැන කිසිවක් ඉතිරිවී නැත. කන්නගි අම්මාන් කෝවිල ළඟ සිට බැලූ විට අධි ආරක්ෂිත කලාපයේ කටු කම්බිවලින් වට කළ ඔහුගේ නිවහන තිබූ ගෙවත්ත පමණක් හොඳින් පෙනේ.

"අන්න අර පේනව නේද අශෝක ගහක්. එතන තමා මගේ ගෙදර තිබුණේ" ඔහු වරෙක එතැන සිට අපට පෙන්වන විට පළමු වතාවට ඔහුගේ දෑස් කඳුළෙන් බොඳ වී තිබෙනු දැක ඇත්තෙමි. අනෙක් වේලාවට නොසිඳෙන ප්‍රීතියෙන් යුතු ජවයකින් හැසිරෙන මේ මිනිසා ගැන මගේ සිතේ ගැඹුරු වේදනාවක් උපන්නේ එදාය. යුද්ධය අවසන, ජීවය නසා දැමුණු, සිය උපන් බිම නිසා ඔහුගේ සිතෙහි ඇතිවූ ලේ ගලන තුවාලය මා පළමු වතාවට දුටුවේද එදාය!

ඔහු සතුව තිබූ විස්මිත හැකියාවක් වන්නේ ඒ සියලු දුක් කම්කටොළු සඟවා ගෙන සුබවාදී සිහින දැකීමට තිබූ හැකියාවය. අවුරුදු අසූවට ඔන්න මෙන්න තිබියදීත් තව අවුරුදු විස්සකට විතර හරියන අන්දමේ විවිධ සමාජ සේවා වැඩවල ලයිස්තුවක් ඔහු අත තිබෙන්නේ එබැවිනි! අවුරුදු අසූවේදී පවා මරණය ගැන ඔහු එක වරක්වත් මෙනෙහි කළ බවට මට මතකයක් නැත.

ඔහු අප සමඟ යාපනයේ නොයෙක් තැන්වල ඇවිද්දේය. ඔහුට අයත් පැරණි මෝටර් රථයක අප නංවා ගත් ඔහු තරුණ ජවයක් ඇඟට ගෙන, අපේ ඇඟ හිරි වැටෙන තරම් වේගයකින් වාහනය එළෙව්වේය.

"ළඟදි මගෙ අවුරුදු අසූවෙ උපන් දිනේ එනව" ඔහු නිතර කීවේය. " අසූව කියන්නෙ ඒ හැටි වයසක් නෙමෙයි" යි කියන විට ඔහුගේ දෑස්වල දැල්වෙන්නේ අවුරුදු විසි එකේ උපන්දිනය සැමරීමට නියමිත තරුණයෙකුගේ දීප්තියයි!

ගිය අවුරුද්දේ අලුත් අවුරුද්ද දා ඔහුට අප හා කියන්නට සුබ ආරංචියක් තිබිණි. ඒ අධි ආරක්ෂිත කලාපය සතුව තිබූ ඔවුන්ගේ ඉඩම් නිදහස් වීමත්, ලංගම බස් රථයකට පමණක් ඇරී තිබුණු කන්කසන්තුරය - පේදුරුතුඩුව ඒබී 21 මාර්ගය, අන්තිමේදී පෞද්ගලික වාහනවලට විවෘත කිරීමත්ය.

" අන්තිමේදී ඒක ඉෂ්ට වුණා" ඔහුගේ ප්‍රීතිමත් කටහඬ දුරකථනය හරහා ගලා ආවේය. "ඒත් තවත් හුඟක් ප්‍රශ්න තියනව විසඳෙන්න. ඒවත් විසඳුණොත් කොච්චර එකක්ද?" යි කියන ඔහුගේ කටහඬේ තිබුණේ තම මිනිසුන් වෙනුවෙන් දකින දුෂ්කර සිහින අතහැර දමන්නට කිකලකවත් සූදානම් නැති අධිෂ්ඨානයකි.

පසු ගිය අවුරුද්දේ අග ඔහුගේ උපන් දිනයදා මම සුබ පතන්නට දුරකථන ඇමතුමක් ගත්තෙමි.

" කොච්චර එකක්ද ඔයාට මාව මතක් වෙච්ච එක"යි කී ඔහු "මට දැන් අසූවක්"යි කීවේ සාඩම්බර කටහඬකිනි.

අවුරුදු හතළිහ පැන්නාට පසු, "දැං ඉතින් වයසයි, මොන හැපී බර්ත් ඩේ දැයි" අසන්නට පුරුදුව සිටි මට දැන් ඒ වචන මුවට නැගෙන්නේම නැත.

අවුරුදු අසූවේ තරුණයා එවැනි වදන් මගේ හිතෙන් සදහටම අතුගා දමා තිබෙන්නේය.

මගේ මිත්තණිය මෙන් අවූරුදු අසූවේ තරුණයාද සියවසේ උපන්දිනය සමරන බව මට හොඳටම විශ්වාසය!-

මාතෘකා