ඔබට මා ආදරය කළ බව මෙතරම්...

 ඡායාරූපය:

ඔබට මා ආදරය කළ බව මෙතරම්...

ජීවිතය සමඟ ආදරයෙන් බැඳෙන්නෝ නිර්මාණයක ප්‍රබෝධය විඳිති. කලාකරුවා එම නිර්මාණාත්මක ප්‍රබෝධය පිණිසම ජීවිතය සමඟ ආදරයෙන් බැඳී සිටියි. ආදරණීය මිනිසුන් යනු නිර්මාණාත්මක ජීවිතයන්ය. ඔවුහු නිරන්තර සොයන්නෝය. එසේ සොයන්නවුන්ට පමණක් හමු වෙන අලුත් බව ජීවිත අලුත් කරයි. නිර්මාණ කෘති තුළින් ඔබ සොයන්නේද හමු නොවූ ජීවිතයයි. ගීතය, කාව්‍ය, සිනමාව, පොතපත ඔබට හමු නොවූ ජීවිතය මුණගස්වයි. එය දැනෙන්නේ ආදරයෙනි. නමුත් ජීවිතය විඳින, ජීවිතය සොයා යන මිනිසා කිසිවිටකත් ආදරයම ලුහුබැඳ එය සොයමින් ගමන් නොකරයි. ඔවුන් සොයන්නේ ජීවිතය පමණකි. ජීවිතය හමු වන විට සෙවූ ආදරයද නිසර්ගයෙන් ඔවුන්ට ලැබෙයි.

නිර්මාණවේදියාගේ ජීවිතය එය විඳින්නාට වඩා බොහෝ සෙයින් වෙනස්ය. එය කාන්තාරයක ගමන් කිරීමක් වැනිය. දහවල කූඩාරම් ගතවන කතරක සැරිසරන්නා රාත්‍රිය උපරිම ලෙස ගමන්කිරීම පිණිස භාවිත කරයි. ඔහුට එම ගමන හුරු පුරුදුය. භාවිතයෙන් ලද අත්දැකීම ඔහු තම ගමන්මඟේ දිශානතියට ළං වීම පිණිස යොදා ගනියි. අහසෙහි ස්වභාවයද, තරු රටාව පිළිබඳවද ඔහුට ඇත්තේ ඉහළ අවබෝධයකි. එය හඳුනාගැනීමට කාන්තාරයේ සැරිසරන්නා හොඳින්ම සමත්ය.

කලාකරුවාගේ ජීවිතයද, ආදරයද කාන්තාරයක මඟපෙන්වන තරු මෙන්ය. වෙරළක වැලි මතින් ගමන් කිරීමට වඩා කාන්තාරයක වැලි දූලි මතින් ගමන් කිරීම අතිශය වෙහෙසකරය. එක් පාදයක් ඉදිරියට තබා අනෙක් පාදය ඔසවන විට තැබූ පාදය ගැඹුරකට ගිලී ගොසිනි. එහි ගමන අතිශය දුෂ්කරය. පා තබන්නේ දුර යාමට වුවද ඉක්මනින් වෙහෙසට පත්වීමට ඔහුට සිදු වෙයි. මුදල් හෝ ජනප්‍රියත්වය හඹා නොයන කලාකරුවාගේ ජීවිතයද එලෙසය. පළමුව එය දයාවකි. එහි ගැඹුරටම ගිලී ගොස් ජීවිතය සොයා ගනී. අවසානයේ එහි ඇත්තේ ආදරයයි. නොදැනීම ඔබ රස විඳින සුරත් ඵලය වන්නේ ගැඹුරට ගිලී ගිය පා සටහන්ය.

“ඔබට කඳුවල මාර්ග සොයාගත යුතු නම් දිනපතා ඒ කඳුවල එහාට මෙහාට ගිය කෙනෙකුගෙන් අහන්න” යැයි ටිබෙට් කියමනක් තිබේ. සත්‍ය දන්නා මිනිසකු ළඟ ඔබ ජීවත් වේනම් ඔහුගේ සුවඳද ඔබේ ජීවිතයට ඇතුළු වේ. එබැවින් සැබෑ කලාකරුවාගෙන් වහනය වන ජීවිතයේ සුවඳ ග්‍රහණය කළ යුතුය. මන්දයත් සැබෑ කලාකරුවා ජීවිතයට අවංකය. ආදරය පිළිබඳ ඔවුන්ගේ ප්‍රකාශනයද ඔවුන්ගේ හෘද සාක්ෂියට අවංකය.

හදවතින් නැඟෙන ආදරයට තනුවක් නිර්මාණය කර සංගීතයක් මුසු කිරීම ඔබට කළ හැකිද? එය කළ හැක්කේ පුදුම මිනිසකුටය. ඔහුගේ ගම සියඹලාන්ඩුවය. ඔහුගේ අභ්‍යන්තර හැඟීමේ ප්‍රකාශනය වුයේ බටනළාවයි. පහේ ශිෂ්‍යත්වය සමත්ව පස්සර මධ්‍ය මහා විද්‍යාලයට එන ඔහු දහය පන්තිය අසමත්ව ගෙදර යන්නේද තම ආත්මීය ප්‍රකාශනය වූ බටනළාව අතැතිවය. ගමේදී ලී ඉරන්නේද කුලී වැඩට යන්නේද කංසා වවන්නේද ජීවත්වීමේ පොදු ප්‍රකාශනය සඳහාය. කොළඹ විත් අමරදේවයන් මුණ ගැසීම ඔහුගේ හැරවුම් ලක්ෂයයි. තම ආත්මීය ප්‍රකාශනය වූ බටනළාව වයනු වශීකෘතව අමරදේව අසා සිටියි. පෙරළා අමරදේවයන් ඔහුට ස්වර ප්‍රස්තාර උගන්වයි. මේ පුදුම මිනිසා තම ගුරු වසන්ත ඔබේසේකරගේ දායකත්වය ඇතිව සෝමදාස ඇල්විටිගලයන් විසින් ගුවන්විදුලි අනියම් වාදක මණ්ඩලයට තෝරා ගැනෙයි. එතැන් සිට ඔහු කලා කෙත අස්වද්දයි.

ටී. එම්. ජයරත්න ගැයූ ඔබ හා මෙමා ගීතය ඔහුගේ ප්‍රේමණීය ගඟුලේ ආරම්භයයි. සඳ තරු නිහඬයි අමරදේවයන් ගැයුවේත්, නන්දා මාලනිය ඔබයි රම්‍ය සඳ කිරණ, කඩමණ්ඩියේ, ප්‍රේමය නම්, පුජාසනයේ, මා හඬනා, නවාතැන් පොළ ඔබයි වැනි ගී ගැයුවේද, ටී.එම්.ගේ මේ පුංචි රටේ, රත්තරන් නෙත් දෙකින්, සියක් ආයු ලැබ වැනි ගීද, සුනිල් එදිරිසිංහ ගැයූ පුර පෝය හඳට, මිනිසෙකු පිට නැඟි, සයුරක් නොදුටු වැනි ගීද, නෙරංජලාගේ මිනි මිනි පොදේ, මේ ගඟ මේ දුරු කතර ගෙවා වැනි ගීද ඔහුගේ ආදරණීය තනු නිර්මාණයන්ට උදාහරණ කිහිපයකි.

පිටතින් සරල එහෙත් අභ්‍යන්තර ගැඹුරු සංකීර්ණ අවශෝෂණයකින් යුතු භුමියේ ස්පර්ශිත මිහිරි බව හා සෞම්‍ය බව හඳුනා ගනිමින් සියල්ල නාද රටාවන් බවට පත්කළ මේ අපූර්ව මිනිසා එච්. එම්. ජයවර්ධනය.

එච්. එම්. ගුවන් විදුලියේ හඳුනාගත් තම ආදරණීය මාලනී බුලත්සිංහල වෙනුවෙන් ජීවිතයේ නාද තාලද එක් කළේය. රජ මැදුරක ඉපදී සිටියා නම්, අහසින් තරුවක්, සැන්දෑ අහස වගේ, සෙනහස ඉල්ලා, මා එක්කලා අමනාපව, ඔබට මා ආදරය කළ බව මෙතරම් වැනි ගී උදාහරණ කිහිපයකි.

කිසිදා සිය සංගීත ප්‍රතිරූපය ගොඩනඟා ගැනීමට නොගිය එච්.එම්, තමා සතු ප්‍රතිභාවෙන් මෙරට සුභාවිත ගීත කලාව පණපෙවීය. නිහඩත්වයද, සුසුමද, අාවේනික කර ගත් එච්.එම්, විශද කරන ලද ප්‍රතිභාව, ආවේනික නාද සිත්තමක් ගීතයට මුසු කළේය .

ගෞරව සම්මාන පසුපස ලුහුබැඳ නොගිය එච් එම් තුන්වන යාමයේ කේමදාසයන්ගේ සංගීතය විශිෂ්ට යැයි අගය කරමින් තම සංගීතයට මුහුදු ලිහිණි වෙනුවෙන් ලැබූ සම්මාන දෙකම ප්‍රතික්ෂේප කළේය.

ඔහුගේ පරිකල්පනය අතිශය මානව සංවේදීය. තම දියණියගේ වියෝව දරාගත නොහැකිව ඈ භූමි දානය කළ කනත්තේ ඈ අසල නිදාගත්තේ එච්. එම්. නම් වූ තාත්තාය.

දිනක් සුනිල් සරත් මහතා එච්. එම්. හමුවන්නට පැමිණියේ අලුත් ගීයකට තනු නිමවා ගන්නටය. එහි වූයේ

“ඇය යන්න ගියා මැකිලා - ගී ගයමින් හිඳ මා තුරුලේ

ඇය යන්න ගියා මැකිලා” යනුවෙනි.

එච්. එම්. මෙයට තනු නිර්මාණයට උත්සාහ කළද මොකක්දෝ ඇත්තකින් ඔහුගේ සිත සිරවී තිබිණි. ගීතයට තනුවක් යෙදුවද හිත හරි නැති ගතිය ඔහු වෙළා සිටියේය. හිතට හරි නැති දින කිහිපයකට පසු එච්. එම්.ට ඇමරිකාවෙන් පණිවිඩයකි. එහි වූයේ තම බිරිඳ මාලනිය මිය ගිය පුවතය.

එච්. එම්. සංගීතයෙන් මැවූ චින්තනයෙහි අංශු මාත්‍රයක් පුරා පවා ඇත්තේ ඔහු විඳි ජීවිතයයි. එහි කම්පනය ඔබට දැනිය යුතුය. ඔබද ඔහු සමඟ කාන්තාර තරණය කළ යුතුය. නන්නාඳුනන දෑතින් ඔහු වෙනුවෙන් දුක් ගී ලිවිය යුතුය.

මාතෘකා