අවදානමට පෙර සූදානම

 ඡායාරූපය:

අවදානමට පෙර සූදානම

විශේෂ හැකියා සහිත පුද්ගලයෝ ප්‍රධාන වශයෙන් අපි දෙකොටසකට බෙදා දක්වමු. ඒ උපතින් විශේෂ හැකියා සහිත පුද්ගලයන් බවට පත්වූවන් සහ පසු කාලීනව විශේෂ හැකියා සහිත පුද්ගලයන් බවට පත්වූවන් ලෙසයි. මෙහිදී උපතින් එවන් තත්ත්වයකට පත්වූවකු ඒ තත්ත්වයට, පරිසරයට හුරු කිරීම වුවද එතරම් පහසු නැත. එය පුද්ගලානුබද්ධ කාරණයකි. බොහෝ විට වැඩිහිටියන්ට පවා එම තත්ත්වය පැහැදිලි කිරීමට වන අවස්ථා නැතුවා නොවේ.

එසේම පසු කාලීනව විවිධ හේතූන් මත විශේෂ හැකියා සහිත පුද්ගලයන් බවට පත්වීම මීටත් වඩා වෙනස් කාරණයකි. එය ද එම තත්ත්වයට පත් වන වයස මෙන්ම පුද්ගල මනෝභාවය අනුව වෙනස්වේ. එම තත්ත්වය මත ඊට අනුගත වීම හා හුරු වීම සිදුවේ. විශේෂයෙන් එම විශේෂ හැකියා සහිත පුද්ගලයෙක් බවට පත්වූ වයස ද යම් බලපෑමක් කරන අතර වයස අවුරුදු 30ක පුද්ගලයෙක් ආබාධිත වී එම තත්ත්වයට හුරු වීමට වඩා ඉක්මනට වයස අවුරුදු 10ක දරුවෙක් එම තත්ත්වයට හුරු වන අවස්ථා දකින්නට ලැබේ. ඒ අනුව ඊට බලපාන්නේ වයස නොවේ. පුද්ගලානුබද්ධ කාරණාය.

පසු කාලීනව විශේෂ හැකියා සහිත තත්ත්වයන්ට පත්වීමට විවිධ හේතු බලපෑ හැකිය. විවිධ රෝග තත්ත්ව, අනතුරු, මේ අතරින් ප්‍රධානවේ. විශේෂයෙන් අක්ෂි රෝග වන ග්ලුකෝමා තත්ත්වය හා රෙගිනයිසීස් යන රෝග තත්ත්වයන් මත විවිධ වයස් කාණ්ඩවලදී විශේෂ අවශ්‍යතා සහිත තත්ත්වයකට පත් විය හැකිය. දැනට ලංකාවේ සිටින දෘශ්‍යාබාධිත පුද්ගලයන් අතරින් ද යම් ප්‍රමාණයක් ඉහත කී රෝග තත්ත්වයන් මත දෘශ්‍යාබාධිත වූවෝ වෙති. ඇතමුන් තමන්ට කවදා හෝ එම තත්ත්වයට මුහුණදීමට වන බව දැන ඊට හුරුවේ. පසුව ඉක්මනින් අනුවර්තනයවේ. එහෙත් සියල්ලෝ එසේ නොවේ.

යුද්ධය නිසා අපේ රටේ තරුණ ජීවිත ගණනාවක් විවිධ අනතුරුවලට පත්ව විවිධ ආබාධයන්ට පත් විය. ඒ අපේ සෙබළුන් පමණක් නොවේ. සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් ඇතුළු ශ්‍රී ලාංකීය සිවිල් පුරවැසියන් ද යුද්ධය නිසා අනතුරට පත් වූ අවස්ථා බොහෝවේ.

කෙසේ උවද පසු කාලීනව ආබාධිත තත්ත්වයට පත්ව ජීවිතය දිනූ ලංකාවේ ප්‍රකට චරිත කිහිපයක්ම සිටිති. ඒ අතර ජී.බී. සේනානායකයන් එක් චරිතයකි. සිංහල කෙටි කතාව හැරයුම් ලක්ෂයකට පත් කළ නිදහස් කවි‍යේ පුරෝගාමියා වන මොහු පසු කාලීනව පූර්ණ දෘශ්‍යාබාධිත විය. නමුත් ඔහු ඉන් පසු ද තම ලේඛන දිවිය අත්හැරියේ නැත. විනිවිඳිමි අදුර ආදී ග්‍රන්ථ කිහිපයක් ඔහු රචනා කළ අතර ඒවා පෙර ඔහු විසින් රචනා කරන ලද ග්‍රන්ථවලට වඩා විශිෂ්ට කෘති විය. එසේම නූතන කවියෙක් වන උපුල් සේනාධීරගේ කවියා ද පසු කාලීනව දෘශ්‍යාබාධිත තත්ත්වයට පත්වූවෙකි. නමුත් ඔහුගේ ද දීප්තිමත් නිර්මාණ දිවිය ඇරඹෙන්නේ ඉන් පසුය. එසේම මෑතකදී අනතුරට පත්ව ජීවිතය දිනූ දිරිය කාන්තාවක් ලෙස සමිතා සමන්මලී වෛද්‍යවරිය හදුන්වාදිමට පුළුවන. වෛද්‍ය සිසුවියක වශයෙන් ජීවිතය ගත කරමින් සිටි ඈ හදිසි අනතුරකින් ආබාධිත තත්තවයට පත්වීය. නමුත් ඈ තම අරමුණ අත්හැරියේ නැත. වෛද්‍යවරියක් වූ ඇය අද වන විට සමාජ ක්‍රියාකාරිණියකි. ආබාධ සහිත පුද්ගලයන්ට සේවය කරන සමාජ සේවිකාවකි.

මේ ආකාරයට විවිධ තත්ත්වයන් මත ආබාධිත තත්ත්වයන්ට පත් වුවත් ජීවිතය දිනූ චරිත සමස්ත සමාජයටම සැබෑ ආදර්ෂයකි. අද ඇතමුන් විවිධ හේතූන් මත තම දිවි තොර කර ගනී. මනසින් කඩා වැටේ. නමුත් ප්‍රේම සබඳතා බිඳ වැටීමකට, විභාග ප්‍රතිඵල අපේක්ෂා කළ පමණට නොලැබීමට වඩා කුමක් හෝ ආබාධිත තත්ත්වයකට පත්වීම බරපතළ හේතුවකි. නමුත් එම තත්ත්වයන් මත දිරියෙන් ජීවත්වීම යනු සැබෑ මිනිසත් බව වටහා ගැනීමකි.

ඒ වගේම රටක් වශයෙන් සමාජයක් වශයෙන් කළ යුතු යමක් ද ඇත. කුමන හෝ හේතුවක් මත කුමන හෝ අවස්ථාවක කවුරුන් හෝ පුද්ගලයකු ආබාධිත තත්ත්වයට පත්වේ ද ඔහුට එම තත්ත්වයට හා එම තත්ත්වය මත පවුලට, රැකියා ස්ථානයට, සමාජයට හුරු වීමට උපකාර කළ යුතුය. අත්වැලක් විය යුතුය. බොහෝ විට සිදුවන්නේ අහසින් පොළොවට වැටුණා වැනි තත්ත්වයකි. ගසින් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වැනි තත්ත්වයකට මුහුණ දීමටය. එය එසේ නොවිය යුතු ය. “අනේ පවු. දැන් කොහොමද පරණ විදිහට වැඩ කරන්නේ? ” කියමින් ඔහු හෝ ඇය කඩා වට්ටනවාට වඩා නැඟී සිටීමට අත දෙනවා නම්, විය යුත්තේ එය නොවේද?

පසු කාලීනව කුමන හෝ තත්ත්වයක් මත ආබාධිත තත්ත්වයන්ට පත් වූවන්ට මනෝ උපදේශනය ලබාදීමේ වැඩපිළිවෙළක් අප රට තුළ තවමත් විධිමත් ආකාරයට නැත. ඒ පිළිබඳව විශේෂයෙන් මනෝ උපදේශකයන් අවධානය යොමු කළ යුතුය. එසේම විවිධ රෝග තත්ත්වයන් මත ආබාධිත වීම පිළිබඳව වෛද්‍යවරුන් විසින් සමාජය දැනුවත් කළ යුතු වේ. ඒත් සමඟ ඉන් පසුව කළ යුතු දෑ පිළිබඳව හා එම තත්ත්වයට මුහුණ දෙන ආකාරය පිළිබඳව ද යම් වැඩපිළිවෙළක් සැකසිය යුතුය. මේ සම්බන්ධයෙන් ද විවිධ රාජ්‍යන්හී තත්ත්වයන් අපට ආදර්ශයක් කර ගත හැකිවේ.

අපි දැනට කතා කරන්නේ විවිධ ආබාධ තත්ත්වයන්ට පත්ව ජීවිතය දිනූ පුද්ගල චරිත පිළිබඳවය. ඒ කිහිප දෙනෙක් පමණක් යන වග අමතක කළ යුතු නැත. නමුත් විවිධ ආබාධ තත්ත්වයන් මත තම ජීවිතයම කඩා වැටුණු සමාජයේ සැඟවී සිටින චරිත අපමණය. ඒ ප්‍රමාණය ජීවිතය දිනූ ප්‍රමාණයට වඩා වැඩිය. අපි සත්‍ය වශයෙන්ම අවධානය යොමු කළ යුත්තේ ද එවන් පුද්ගලයන් නඟා සිටුවීම පිළිබඳවය. අද වන විට විවිධ අනතුරු, රෝග තත්ත්ව හේතුවෙන් ආබාධිත වන පුද්ගලයන් වැඩිය. එබැවින් රටක්, සමාජයක් ලෙස එවන් තත්ත්වයක දී කළ යුතු දෑ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුය.

[සත්‍යා නිර්මාණී]

 

මාතෘකා