කොණ්ඩවට්ටවාන් සෙල් ලිපිය

 ඡායාරූපය:

කොණ්ඩවට්ටවාන් සෙල් ලිපිය

මේ ගෙවී යන්නේ අන් කවරදාටත් වඩා ජලයේ වටිනාකමද, වර්ෂාවේ වටිනාකමද පිළිබඳව කියවෙනා යුගයකි. අපි සියවස් ගණනක් මනා වාරි කළමනාකරණයක් සිදු කළ ජාතියකි. වසර දහස් ගණනකට පෙර සිටම මෙරට සොබාදහමේ දායාද මනා කළමනාකරණය කිරීමේ විශ්මයජනක ක්‍රමවේදයක් පැවත ඇත.

“අහසින් වැටෙන එක දිය බිඳක් හෝ ප්‍රයෝජනයට නොගෙන මුහුදට නොයැවිය යුතු” යැයි පැරණි රජෙක් කී බව අප අසා ඇත. මෙසමයෙහි ජලයද, රුධිරයද මිල කළ හැකි භාණ්ඩ යැයි කතිකා වනු ඇසේ. කෙසේ වුවද අරපිරිමැස්මෙන් ජලය ඇතුළු ස්වාභාවික සම්පත් පරිහරණය කළ යුතු බවද, සංරක්ෂණය කළ යුතු බවද තර්ක විරහිත සත්‍යයන්ය.

දිගාමඬුල්ල අතීත වාරි කළමනාකරණයේ පුරාවෘත්තයන් රැසක් දායාද කොට ගත් බිම් කඩකි. දීර්ඝ කාලයක් පුරා වර්ධනය වූ වාරි කර්මාන්තයක නෂ්ඨාවශේෂ දිගාමඬුල්ලේ ගම් දනව් සිසාරා දැකිය හැකිය. පියසේන කහඳගමගේ ශූරීන්ගේ ‘මා දුටු බින්තැන්න’ කෘතියේ ඒ බැව් සනාථ කෙරෙන්නේ මෙවන් සටහනකිනි.

“ගල්ඔය දකුණු ඉවුරේ වූ පල්ලන්ඔය, එක්ගල්ඔය, අම්බලන්ඔය හා පන්නල්ඔය යන ගංගාවලද ගල්ඔය ගංගාවේද, වම් ඉවුරේ වූ ආදල් ඔය, කළුගල් ඔය, නවකිරිආරු ඔය, මගලවටාන ආරු (තොට ඔය), රඹකැන් ඔය, මහඔය, තලපිටි ඔය හා මාදුරු ඔය යන දිගාමඬුලු භූමිය හරහා ගලා බසිනා ගංගා හා ඒවාට සම්බන්ධිත දිය කදුරු හා ඇල දොළවලද ඇති පැරණි වැව් පිළිබඳ තොරතුරු එක් කළ විට වැව් දහසක් පමණ දැකිය හැකිය. බින්තැන්නපත්තුවේ පමණක් පැරණි වැව් 224ක් මේ වන විට සොයාගෙන ඇත.”

ආර්. ඇල්. බ්‍රෝහියර් රචිත අභය හේවාවසම් පරිවර්තනය කළ බ්‍රෝහියර් දුටු ලංකාව නම් ග්‍රන්ථයේ මතු දැක්වෙන උපුටනයද මෙහිලා සටහන් තබනු වටී.

“ගල්ඔය මිටියාවතට ඉහළ ප්‍රදේශයේද, ගල්ඔය නිම්නයේද, සිය ගණන් වශයෙන් පැතිරුණු වැව් බොහොමයක් අද පාළුවට ගොස් ඇත. ඉක්බිති දැකිය හැක්කේ විශාල ජලාශ වශයෙන් ඉදි වූ ඒවාය. මහකණ්ඩිය වැවේද මහාවංශයේ සඳහන් සුප්‍රසිද්ධ දීඝවාපි හෙවත් දිගු වැවේද නටබුන් මෙසේ ඉදි වූ විසල් වැව් පිළිබඳ මතක අවදි කරයි. පල්ලන්ඔය වශයෙන් හඳුන්වන ගල්ඔයේ දකුණු ඉවුරේ ශාඛාවක විශාල වැව් බැම්මක් සොයාගෙන ඇත.(ලංකාවේ දිගින් වැඩිම වැව් බැම්ම බව ඇතැමුන්ගේ අදහසයි.) මේ බැම්මෙන් රැඳවී විශාල ජලාශයක් ඉදිවුණේ එය සියවස් ගණනාවක් තිස්සෙම පිටාර ගලමින් තිබිණි. මේ නිම්නයේ තවත් පහළින් ඉතා සුන්දර ජලාශ තුනක් ඇති අතර ඒවා කොණ්ඩවට්ටවාන්, අම්පාරෙයි සහ ඉරක්කාමම් (එරගම) වශයෙන් හැදින්වේ.” කොණ්ඩවට්ටවාන් අතීතයේ හඳුන්වා තිබුණේ කන්දෙවත්ත වැව නමිනි. ඉරක්කාමම් රජගම ලෙසද පසුව එරගම ලෙසද වර්තමානයේ ඉරක්කාමම් ලෙසද ව්‍යවහාර වෙයි.

අද මෙන්ම අතීතයේද රජයේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වී තිබුණේ බදු සහ දඩ මුදල්ය. එකල දඩ, බදු ක්‍රම මෙන්ම ජල පරිහරණය හා ජීවන රටාවන් විද්‍යාමාන වන සුවිශේෂ සටහනක් ලෙස සිව්වන දප්පුල (924-953) රජුගේ සමයේ පිහිටුවන ලද කොණ්ඩවට්ටවාන් සෙල් ලිපිය හඳුනාගත හැකිය. එම සෙල්ලිපිය අම්පාර කච්චේරි පිවිසුම් දොරටුව අසල අද දැකිය හැකිය. එකී සුප්‍රකට කොණ්ඩවට්ටවාන් හෙවත් කන්දෙවත්ත වැව සෙල්ලිපියේ අරුත මෙසේය.

“සිරිසඟබෝ මහ රජතුමාගේ සහ දෙවිගොන් රැජිනගේ පුත්‍ර අබාසාලමෙවන් නොහොත් සිව්වෙනි දප්පුල මහරජතුමා අභිෂේක ලත් දසවෙනි අවුරුද්දෙහි මැදින් පුර පක්ෂයේ දසවන දවස මහ සේනාධිපති සගවාරකුස් දවස දණ්ඩනායකයන් සතු වෙහෙර දිගාමඩුල්ලේ අරුගම් (ආරාමණික ගම්) සම්බන්ධයෙන් පනවන ලද නියෝගය මෙසේය. වරිපෙරිනාට්ටයම් මහ උල්වාසීන් මෙගමට නොපැමිණි යුතුය. අය බදුගන්නා ඉඩම් පරීක්ෂකවරු “උතු” නම් බදු නොපැනවිය යුතුය. හිඟ අයබදු යන ව්‍යාජයෙන් (විකිණීම පිණිස) ගමට පිටතින් බඩු නොගැනිය යුතුය. බදු හිමියන් ඒ භුක්ති විඳින්නන් පහ නොකළ යුතුය. තවද බදු හිමියන් විසින්ම කුඹුරු නොසෑ යුතුය. ප්‍රථමයෙන් දඩ නියමකොට තීරණය කරන ලද දෙයට නැවත දඩ නොපැනවිය යුතුය. කොට්ඨාසයෙහි ක්‍රියාත්මකව පවතින නීති අනුව ගස්වලට හා වැලිවලට අය කරන බදු හැර වැඩියෙන් බදු අය නොකළ යුතුය. නියෝගයට පටහැනි ක්‍රියා කළහොත් ඒ වරදට අකක දඩයක් නියම කළ යුතුය. කුඹුර ගැලීමේ නොහොත් නියර ඉස්වසා වතුර යාමට ඉඩ හැරීමේ වරදට අක දෙකක දඩ නියම කළ යුතුය. පමා වී හාපු වරදට කළඳක දඩයක් නියම කළ යුතුය. මිනී මැරීමේ වරදට දඩ නොගන්නා නමුත් වරදකරු රාජ්‍ය නිලධාරීන්ට භාර දිය යුතුය. යම් කිසිවකු නියම කරන ලද දඩයක් ගෙවීමට විරුද්ධ වුවහොත් එය අනෙත් ගම්වාසීන් නිශ්චය කළ යුතුය. ඉහත සඳහන් කරන ලද දේවල්වලින් ජනිත යම් කිසි කරුණක් වේ නම් එය මේ නීතිවලට පටහැනි දෙයක් යයි සලකා ඒ සඳහා දඩ ගණන් නියම කළ යුතුය.”

අදටද සාර්ථකව ජලය ගබඩා කරන්නේ එදා තැනූ වැව්වලය. නූතන වශයෙන් තැනූ මහ වැව් අතේ ඇඟිලි සංඛ්‍යාවටත් වඩා අඩුය. එකල පැවති ජල කළමනාකරණ ක්‍රම ශිල්පවලින් අදටද ගත හැකි ආදර්ශ බොහෝය. මූලික අවශ්‍යතාවන් ඉටුකරලනු වෙනුවට නොව නව අවශ්‍යතා නිෂ්පාදනය කරමින් විකිණීම වෙනුවට කොල්ලකෑම සිදුවන නව ලිබරල් ධනවාදයේ නූතන කාර්තුව තුළ අහසින් වැටෙන එක දිය බිංදුවක් හෝ අලෙවි නොකර මුහුදට ගලා යාමට ඉඩ නොදිය යුතුය යනුවෙන් ප්‍රකාශයක් අසන්නට ලැබුණොත් පුදුම විය යුතු නැත.

[කමල් නෙත්මිණි]

මාතෘකා