ජෝති - ඇන්ජි යුගයක නිමාව

 ඡායාරූපය:

ජෝති - ඇන්ජි යුගයක නිමාව

"ඇන්ජලින්ගෙ දිවි ගමන අවසන් වෙලා"

මෙය හදිසියේ ලැබුණු ශෝකජනක ආරංචියකි. ඒ සමඟ මියුරු ගීයක් සිහිපත් වුණා.

"මට ආසයි හිනැහෙන්න මුළු ජීවිතේ

හිනැහෙන්න මා එක්ක මේ ජීවිතේ"

මේ ගීය ඇගේ ගීයෙහිද ආත්මයෙහිද නින්නාදය වැන්න. ඒ සමඟ සුමධුර ගීතාවලියක් සිතට නැඟෙයි.

ඇය වසර කිහිපයක් ගිලන්ව සිටියා. ඒ අතරතුර සිනමා කලා සඟරාවක් සඳහා ඈ හමුවී ඇගේ ගීත කලාව හා ජීවන විත්තිය වචන අටසීයක පමණ ලිපියකින් කැටිකර දැක්වීමේ අභියෝගයට මුහුණ දෙන්න මට සිදුවුණා.

"මගේ කටහඬ දෙවියන් දුන් වරමක්"

ඇය මහත් භක්තියෙන් කළ එම ප්‍රකාශය ලිපියෙහි මාතෘකාව බවට පත් වුණා.

ඒ සම්මුඛ සාකච්ඡාව මේ ලියුම්කරුගේ දිවියේ අසිරිමත් අවස්ථාවක්. ඊට හේතුව සත පනස්පහේ සිනමා රසිකයාගේ මතකයෙහි ගැඹුරු ඉඩක් ඇය වෙනුවෙන් වෙන් වී තිබීමයි.

"හිඟන කොල්ලා" චිත්‍රපටයට ඇය ගැයූ "මට ආසයි" ගීය එම චිත්‍රපටය රසිකයන් අතරට යෑමේ යානයක් වූ බවද කීවොත් එය නිවැරදියි.

ඒ සමඟම මියුරු ගීතාවලියක් සිහිපත් වනවා.

සරත් දසනායක සංගීතවත් කළ සදහටම ඔබ මගේ චිත්‍රපටියේ එච්.ආර්. ජෝතිපාල සමඟ ඇන්ජලින් ගුණතිලක ගායනා කරන "අමර පෙම් ලතාවේ" ගීතය එයින් විශේෂ කොට දැක්විය හැකියි. එය සිංහල චිත්‍රපට ගීතාවලියේත් කඩඉමක් බඳු ගීයක්. පදමාලාව, තනුව, සංගීතය හා ගායනය යන හැම අංශයකින්ම මනා ඒකාබද්ධතාවකින් යුක්ත වූ මේ ගීය ජෝති - ඇංජි සුසංයෝගයේ අමරණීය සිහිවටනයක් බඳුයි. හින්දි සිනමාවේ අනුකාරක සංගීතය හා තනු වෙනුවට ස්වතන්ත්‍ර නිර්මාණ කෙරෙහි විශ්වාසය තැබූ සරත් දසනායකගේ සංගීතයට ජෝතිපාල හා ඇන්ජලින් කටහඬ මුසු කළ ගීත අතිශයින් ජනප්‍රිය වුණා.

"ජීවනයේ මීවනයේ , යෞවන උයනේ පියුම් තටාකේ, හද විමන් දොරින්, පාට පොදක් තිලකලා, නිසංසලයි සීතයි, පෙම්වතියන්නේ, ඉර සඳ වැඳලා, සෙනෙහස පෑවා, සුදු පාට මීදුම් ගලාලා, මියුරු පෙම් මදිරාවේ යනාදී වශයෙන් ගීත රැසක් හද කුටියෙහි නින්නාද වන්නට පටන් ගන්නවා.

එකල ජනප්‍රිය සිංහල සිනමාවෙහි සුපතල පෙම්වතුන් පෙම්වතියන්ගේ නාමාවලියත් ඒ සමඟ සිහිපත් වෙනවා.

ගාමිණී - මාලිනී, මාලිනී - විජය,තිස්ස - මාලිනී, ගාමිණී - ජෙනීටා යනාදී වශයෙන්. මේ අයගේ සිනමා ප්‍රේමයේ කටහඬ ජෝති සහ ඇන්ජි. චිත්‍රපටයේ සුපුරුදු කතා වට්ටෝරුවේ ඒකාකාරී බව මැකුණේ ප්‍රේමයේ මධුර ගීතාවලිය නිසා. මෙහිදී මිල්ටන් මල්ලවාරච්චි ලතා වල්පොළ, සුජාතා අත්තනායක යනාදී ගායක ගායිකාවන්ට හිමි වැදගත්කමද කිසි සේත්ම අමතක කළ යුතු නෑ. කොයි අයුරින් බැලුවත් ජෝති ඇන්ජි සුසංයෝගය ජනප්‍රිය සිනමාව දුවවන ඇන්ජිම බවට පත්වූ බව කීවොත් කවුරුවත් විරුද්ධ වන එකක් නෑ.

ඒ නිසා ඇන්ජලින්ගේ අභාවය සතපනස්පහේ සිනමා රසිකයන් වන අපට තදින් දැනෙනවා. ඇගේ පන්චස්කන්ධය පස් අතරට එක්වුවත් දෙවියන් දුන්නා යැයි ඇය පිළිගත් මධුර කටහඬ චිරාත් කාලයක් අපගේ දෙසවන් අතර නින්නාද වෙමින් හදවත් පෝෂණය කරන බව නිසැකයි. ඇයට උපහාර පිණිස "අමර පෙම් ලතාවේ" ගී පදවැල මෙහි උපුටා දක්වමි.

1973 දී තිරගත වූ සදහටම ඔබ මගේ චිත්‍රපටිය සඳහා මෙය රචනා කළේ කරුණාරත්න අබේසේකර.

 

අමර පෙම් ලතාවේ

රන් මලක් උදාවේ

ඉසුරුමුණි කතාවේ යුවළ දැන් සිනාවේ

කසුන් සඳක් ජනිත වේ

ජීවන අඹරේ

ඔබෙ දෙපා ළඟ මගේ තුරුණු හද පිදේ

හිමවතේ සිසිල දී ගිමන සංසිඳේ

ආදරේ ආදරේ මී බඳුන් පිරේ

පිපෙන මල් විල් තලේ දියට බර නැතේ

දෝතදී පිළිගමි ඔබගේ ජීවිතේ

ආදරේ ආදරේ මී බඳුන් පිරේ.

මාතෘකා