වැල් මැල්ලුම්

 ඡායාරූපය:

වැල් මැල්ලුම්

මනුස්සයින්නෙයි, සීපාවුන්නෙයි, සකලයන්නෙයි සුදහ ගින්දර නිවන්ඩම පේවෙච්ච ගහකොළ කොච්චරක්නම් මේ මහ පොළවේ තියෙනවාද ආයිබොවන්ඩ. එහෙව් එකේ එව්වා ගැන නොදන්නකම හින්දම කිසි වග විභාගයක් නැතිව කන්ඩ පුළුවන් ජාති දහක් බල බලා මිනිස්සු කඩපිල් ගාණෙ ගාටනවා වහ කන්ඩ. කොළ දළු කොච්චරවත් ලියලන්නෙ අපිට කන්ඩ දෙන්ඩ තමයි.

ළිබ්බොක්කෙ අළු මුට්ටියෙ දාලා තිබ්බ ඇට බැට ළිපේ අළු ගිහින් දාන එළිමහනෙ කොයියම් හරි තැනක් පෝර පස් මුහුවෙන්න පහුරු ගාලා යට කරද්දි අම්මලා කිව්වෙ මේකලා පැළ වෙලා වැල් යාං වෙන්ඩ ඇරපල්ලා වේලක් දෙවේලක් පිරිමහ ගත්තැකි කියාලා. මොකක් නමුත් වැලක් දළු දාලා දිගට දිගේ ඇදෙනවට අපේ ගම ඇත්තො කිව්වෙ යාං වෙනවා කියලා. එහෙම යාං වෙන්ඩ පැළවෙන වැල් බෝග ජාතිවල ඇට අළු මුට්ටියක දාලා විතරක් නෙමෙයි පරිස්සම් කෙරුවෙ. වට්ටක්කා එහෙම නං ඉදිලා පැණි වට්ටක්කා වෙන්ඩ දුමේ උඩහ ලග්ගලා තිබ්බා. පැළ කරන්ඩ වුවමනා කාලෙ දිගට දිගේ කඳන් පැණි වට්ටක්කෙ කපලා උයනකොට ඇට ටික බේර ගත්තැකි පැළ කරන්ඩ.

පැණි වට්ටක්කා වෑංජනෙත් පුදුමාකාර රහක්නෙ තියෙන්නෙ. මේ කියන්නෙ අර බෝල ගෙඩි වාගෙ මැලේසියං වට්ටක්කා ගැන නෙවෙයි. මනුස්ස බාගයක් විතර වෙච්ච අපේ උරුම එවුවා ගැන. කැකිරි තියඹරා කපනවා නම් ඇටත් එක්ක මද ටික කටුමැට්ට ගහපු බිත්තියේ අත ගානවා එහෙමම වේලිලා පරිස්සම් වෙන්ඩ. තියඹරා ඇට ටික ඉස්ම පිටිං පරණ චීත්ත කෑල්ලක අතුරලා ඇලිලා වේලෙන්ඩ අරිනවත් මං දැක්කා. ඒත් පරිස්සම ගැන හිතලා. මේ මොක වුණත් වැහි කාලෙට බිම බුදි කරන්ඩ බැරුවායැ පැළ වෙන්ඩ. ඕං ඉතිං පැළවෙලා ගෙඩි පල ගන්ඩ කලියෙං කටවල් නළියනවා වට්ටක්කා දළු මිටක් මලවලා තෙල් දාගෙන කන්ඩ. අතින් ලොකුවට කඩලා වහලා මැලවෙද්දි වැඩි වතුර ඇත්නම් පෙරාලා තෙල් දාගන්නෙ මිරිස් කරලක් දෙකක් කඩලා දාලා ලූනු ටිකකුත් ලියලා එක්කහු කරලා. වුවමනානම් වට්ටක්කා දළු හීනිවට ලියලා පොල් දාලා මලවන්නත් පුළුවන්. ඇයි පරිප්පු, මුං පියලි, එහෙම නැත්තං මෑ ඇට කොස් ඇට දාලා කිරට උයා ගන්ඩත් බැරිවායැ. එහෙම උයනවානම් මුලිං ඇට ජාති තම්බගන්ඩ ඕන. කැකිරි, තියඹලා, අළු පුහුල්, දිය ලබු දළුත් ඩිංගක් රළු වුණාට කන්ඩ පුළුවන්. සමහර වෙලාවට එව්වයෙ දළු කලවම් මැල්ලුම් හදන්ඩ ගන්නවා.

බිබිලට හුඟක් එහා රත්මල්ගහඇල්ල ඉස්කොලෙ ලොකු මහත්තයා ගල් ඔය වනන්තරේ හෙවණෙ හැදිච්ච මනුස්සයෙක්. උන්දැ මට කිව්වා ලබු කොළ උයාගන්න විදිහක්. මේ වාගේ කෑමක් කනවනම් ආයෙ ඒක ජීවිතේටම සැරයක් කන එකක් වෙන්ඩ පුළුවන්. ඒක හින්දා කන්ඩ ආසනම් හිත හිතා ඉන්නෙ නැතුව හදලා බලන්ඩ. මුලිම්ම හොයාගන්ඩ ඕන දියලබු කොළ දහයක් දොළහක්. ඒ ටික හෝදලා කාරිය දිය බහින්ඩ පැත්තක තියලා හාල් පිටි ටිකක් ඇන්න කහයි ලුණුයි දාලා දිය කර ගන්නවා කොකිස් හදන්ඩ ගන්න ගාණටත් වඩා උකුවෙන්ඩ. දැන් කරන්නෙ අර ලබු කොළවල දෙපැත්තෙම ගේ කපරාරු කරව්වා වාගෙ එව්වා ගා ගන්න එක. ඊටපස්සෙ ලබු කොළ සුරුට්ටු වාගෙ උරුණ්ඩු කරගෙන ලිහෙන්නෙ නැති වෙන්ඩ ඉරටු කෑල්ලක්වත් ගහගන්ඩ ඕන. දැන් මුට්ටියක කඩපිම්මක් බැඳලා අර ලබු සුරුට්ටු ටික එකේ පත බාවලා හුමාලෙන් තම්බගන්නවා. ඔන්න තියෙනවා තැම්බුණාම වෙල්ලවැහුම් වාගෙ. දැන් ඉරට්ට අයින් කරලා අර සුරුට්ටු කෑලි කපා ගන්නවා. අන්තිමට කරන්නෙ මේ කෑලි ඇතිලියකට දාලා මිරිස් අඩුවෙන් හැබැයි පදමට පහේ දාලා අමුමිරිස් ලූනු කාරියත් දාලා උළුහාල් ඇට ඩිංගකුත් එක්කහු කරලා කිරෙන් පිහ ගන්න එක. ඔන්න රජ කෑම. වැඩි දෙනෙක් ඇහුවෙත් අද වෙන්ඩෑ. ලබු වැලක් හොයාගන්ඩ තියෙනවානම් වීරිය කරලා බලන්ඩ.

මෙයාකාර වැල් බෝගවල දළු කද්දි කලවම් මැල්ලුමට වැටකොලු, පතෝල දළුත් එක්කහු කරන්ඩ පුළුවන්. ඒ විතරක්යැ දඹල දළුයි, මෑ දළුයි කියන්නෙත් කලවමට නැත්තං කලවම් නොකර මලවාලා කන්ඩ පුළුවන් බෝග. හැබැයි ගම්මු මේ බෝගවල දළු කෑවෙ වැල යාං වෙන්ඩ බාධාවක් නොවෙන්ඩ. දළු කෑවා කියලා ගෙඩි කරල් පල ගත්තෙ නැත්තෙ නෑ. මොන දල්ල කොහොම කඩන්ඩ ඕනද කියලා ගමේ පොඩි එකා හිට දැන හිටියා. සමහර වෙලාවට ඔය දළු බිඳිල්ලෙන් තමයි වැල බෙදි බෙදී යාං වුණේ. කෘෂිකර්මෙ මහත්තුරු වැල් දොඩම් වගාවක් ගැන ගොයියන්ට උපදෙස් දෙද්දි ඔය ගැන මට සහසුද්දෙන් තේරුම් කරලා දුන්නා. ආ, වැල්දොඩම් දළුත් රහයි නෙව. අපි නම් එව්වා වැව්වෙ නෑ. පීල්ල කැලේ ගාල් ගාල් ඉබේ වැවුණනෙ. අපි කිව්වෙ චයිනා කියලා. දළු සම්බෝලෙට කෑවා නැත්තං මලවලා කෑවා අර පහුරුත් එක්කම ලියලා.

[ලසන්ත ද සිල්වා]

මාතෘකා