පිදුරංගලාවාදය!

 ඡායාරූපය:

පිදුරංගලාවාදය!

පිදුරංගල 'පුක පෙන්නීම' ගැන නීතිය ක්‍රියාත්මක කරන්න යනවා. ඒකත් එක්කම පිදුරංගලත් ෆේස්බුකියත් පුකෙන් වැහිලා යනවා. පුකට පක්ෂවත් පුකට විපක්ෂවත් ලොකු සංවාද යනවා. පුක සහ සදාචාරය, පුක සහ සංස්කෘතිය යනාදී කතිකාවන් නිර්මාණය වෙනවා. පුක විසින් සමාජයේ ලොකු ඩිස්රප්ෂන් එකක් ඇති කරනවා.

මට වැදගත් වෙන තැන වෙන්නෙ එතන. මොකක් හෝ සාමාන්‍ය සිද්ධියක් විසින් සමාජ මනස ලොකුවට කලම්බනවා කියන්නෙ එතන යම් කිසි ඇත්ත කාරණයක් සිද්ධ වෙනවා. දේශපාලන ගනුදෙනුවක් වෙනවා. සංස්කෘතික හුවමාරුවක් වෙනවා. ආතතිය කියන්නෙම ඇඩ්‍රස්වීමක් ගැන ඔත්තුවක්.

පුක ගැන ෆේස්බුකියෙ පරිණත ඇහැකින් ලියවුණ සටහන් මං දැක්කෙ එකයි. ඒ නිශාන්ත කමලදාසගෙන්.

‘පුක අපට අතීතයේදී මහ දෙයක් වුණේ නැත. මෙයින් නොරැකෙන සදාචාරය කුමක්දැයි මට හරියටම තවම වැටහෙන්නේ නැත. තරුණ කොලු නඩයකගේ විගඩමක් අප මේ තරම් ගණන් ගත යුත්තේ ඇයි දැයි මට කොහොමටත් පැහැදිලි නැත.’

මෙන්න මෙතන තියෙනවා අපි මූණ දෙන සැබෑ අර්බුදය. අපේ සමාජයට තිබුණු පරිණත බව කියන එක අහිමි වෙලා තියෙනවා. ඉතාම කණගාටුදායක විදිහට අපි ජීවත් වෙන්නෙ ළමා සමාජයකයි. යුද්දෙට කලින් අපිට තිබුණු දේවල් බාරගැනීමේ දරාගැනීමේ දේවල් දිහා බැලීමේ පළල් බව දැන් අපිට නෑ. ඒ වෙනුවට හැම පුංචි දේකින්ම අපි කලබල වෙන්න පටන් අරගෙන. වඩාත් ඛේදනීයම දේ වෙන්නෙ මේ කලබලවීම ජනතාව අතරින් විතරක් නෙමෙයි ‘මහා ප්‍රාඥයන්’ අතිනුත්, සංඝ සමාජය වෙතිනුත් ප්‍රකට වෙන්න පටන් අරගෙන තියෙන එකයි.

මෙතනදි ගල්කන්දෙ හාමුදුරුවො කියපු ලස්සන කතාවක් මට මතක් වෙනවා.

‘බුදු දහමේ ආරක්ෂාව තියෙන්නෙ තහනම හෝ පාලනය තුළ නොව, බුදු දහමේ ආරක්ෂාව තියෙන්නෙ නිදහස තුළයි’

ගල්කන්දෙ හාමුදුරුවො මේ මතක් කරන බුදුදහම තව දුරටත් ලංකාවෙ නෑ. ඒ බණ ඇසූ සමාජය හෝ ඒ බණ කියූ මුනිවරුන් අපි අතර නෑ. දැන් පන්සල් කියන්නෙ ආරක්ෂක මුර කපොලු. බලෙන් රෙදි අන්දන, මිනිස්සු උසාවි ගේන්න පොරකන ඉතාමත් දාමරික බිම් පෙදෙස්.

අපේ ආර්ට්වලටත් මේ ටිකම සිද්ධ වුණා. දැන් චිත්‍රපටියක් බලන්න මිනිස්සු එන්නෙ ඒක ළමා චිත්‍රපටියක් නම් විතරයි. රටටම හරියන්නෙ ඩිස්නි චිත්‍රපටි විතරයි. ඇඳුමක් ගලවන, මූණක් ඉඹින දර්ශනයක් තිබුණ පමණින් මිනිස්සු හෝල්වලට ලෙඩේ දානවා. හෝල්වලින් ෆිල්ම් ගලවන්න බල කරනවා. ඇගේ වෛරය ආදායම් වාර්තා තිබ්බ රටක දැන් දුවන්නෙ සිරි පැරකුම් වර්ගය විතරයි. මොනවා වුණත් තමන්ගේ බ්‍රෑන්ඩ් අයිඩෙන්ටිය වෙනස් කරමින් ‘ජංගි හොරා’ කරන්න සෝමරත්න ගන්න වෙනස මං අගය කරනවා. ඒක අභියෝගයක්.

ඒ පිංතූරවල නිරුවතින් සිටීමේ විනෝදය මිස වෙන කිසිදු අශිෂ්ටත්වයක් නෑ. කොහෙත්ම පන්සලකට හෝ ආගමකට හෝ අපහාස කිරීමක් ඒ පිංතූරවලින් ප්‍රකට වෙන්නෙ නෑ. මට දැනුණෙ නිදහස ගැන ප්‍රකාශනයක්. කාටවත් හිංසාවක් නැති විනෝදයක්. ඒක අහිංසක එකක්. ඇත්තටම පිදුරංගල ගැන මං දැනගත්තෙත් ඒ ෆොට‍ෝවලින්. අනිවාර්යෙන් මං වගේ තව ගොඩක් අය එහෙමයි.

යම් විදිහකින් මේ නිදහස් හැසිරීමෙන් එතන දැන් බවුන් වඩන හෝ ශ්‍රද්ධාබරව සිටින ගිහි පැවිදි අයෙකුට බාධාවක් වෙනවා නම් ඒ ඉතිහාසය හෝ රහතුන් ගැන හෝ කතාබහක් ඇති කිරීමෙන්, දැනුවත් කිරීමෙන් මේ හැසිරීම ස්වයං විනයකින් පාලනය කරන්න පොලඹවන්න තිබුණා. ඒ වෙනුවට පොලිසිය නීතිය පාවිච්චි කිරීමෙන් කියන්නෙම තවදුරටත් එතන එවන් දැහැමි මුනිවර බවක් නොපවතින වගම නෙවෙයිද?

මොනවා වුණත් අන්තිමට අපිට පුකක්වත් බාරගන්න බැරි සංස්කෘතියක් ඇති ජාතියක් කියන එක ඔප්පු වෙනවා. අපි ඒ තරමට ළාමකයි. ඒ තරමට නොසන්සුන්. අවුරුදු දෙදහස් පන්සීයක පරිණතකම තියා අවුරුදු පහක හයක දරුවෙකුගේ තරමෙවත් තේරුම් ගැනීමක් අප සතුව නෑ.

අපි ඕන පුකකින් කලබල වෙන සදාකාලික ළමාවියක ගතවෙන අවාසනාවන්ත රටක වහල් වැසියො!

[චින්තන ධර්මදාස]

මාතෘකා