ජෝකර්ලාගේ බූරු සෙල්ලම

 ඡායාරූපය:

ජෝකර්ලාගේ බූරු සෙල්ලම


“හිඟන්නාගේ  තුවාලය වගේ” කියා කතාවක් ඇත. එසේ කියන්නේ කිසි දවසක හොඳ වෙන්නේත් නැති  තුවාලය තිබෙනා මිනිහාට හොඳ කරන්නට උවමනාවකුත් නැති තුවාලයක් ගැනය. ලංකාවේ  දේශපාලනයේද  දැන් හිඟන්නන්ගේ තුවාල මෙන් වූ දේශපාලකයෝ රැසක් බිහිවෙමින්  පවතියි. ඒ දේශපාලකයන්ට තුවාල යැයි කීවොත් එය තුවාලවලට කරන්නා වූ අගෞරවයකි. ඒ  නිසා ඒවාට දෙන්නට ගැලපෙන හොඳම නම වන්නේ එක්කෝ පිළිල කියාය. එසේත් නැත්නම්  පිළිකා කියාය. පිළිකාවකින් එහෙම නැත්නම් පිළිලයකින් කරන්නේ තමන්ට හැදෙන්නට  දුන් ප්‍රාණියාගේ සියලු ශක්තීන් උරාගෙන ඒ ප්‍රාණියා මරා දැමීමය. කොටින්ම  කීවොත් බලු මැක්කන් කරන්නේද ඒ දෙයමය. බල්ලා මැරුණොත් මැක්කාද මැරෙන බව  තේරුම් නොගන්නා මැක්කා බල්ලාගේ සියලු ශක්තීන් විනාශ කර දමයි. ඒ මැක්කාගේ  හැටිය. 


දේශපාලනයේද එසේය. තමන්ට කෙළින් එසේත් නැත්නම් ස්වාධීනව නැඟී  සිටින්නට බැරි උන් කරන්නේ තමන්ගේ ජීවිතය ගැට ගසා ගන්නට මොකෙක්ගේ හෝ ඇඟේ  එල්ලීමය. සමාජයේ ප්‍රසිද්ධ රුපියල් සීයේ දේශපාලකයා මෙන්ම පංචායුධ දේශපාලකයා  අද කරන්නේද එයමය. ඔවුන් තමන්ගේ දේශපාලන දිවිය සාර්ථක කර ගැනීම වෙනුවෙන්  පරපෝෂිතයින් වී දැන් කටයුතු කරයි. ඔවුන් කරන්නේ තමන් එල්ලී සිටින ජීවියා  පාවිච්චි කර ඔවුන්ගේ දේශපාලනය සාර්ථක කර ගැනීමය. නමුත් මේ රුපියල් සීයේ  දේශපාලඥයා මෙන්න පංචායුධ දේශපාලනඥයා කරන්නේ තමන් විනාශ කරන එක බව ඒ අය  එල්ලී සිටින අය දන්නේ නැත. එක්කෝ දැනෙන්නේ නැත . එහෙමත් නැත්නම් තේරුම්  ගන්නේද නැත. 


ලංකාවේ ආර්ථිකය වැටිලාය. ඩොලරය 200 ට යන්නේය, බඩු මිල  අහස උසට යන්නේය, දැන් කාලා හමාරය, ආර්ථිකය අර්බුදයක් අත ළඟය කියා කියමින්  යථාර්ථය සඟවමින් මේ අය කතා කරන්නේද ඒ නිසාය. එසේ කියමින් මේ අය කරන්නේ තමන්  ලේ උරාබොන ජීවියාගේ ඊරි මාංශයත් උරාගෙන කෑමය . එසේ ඊරි මාංසයක් උරාගෙන  කන්නට ඒ පරපෝෂිත දේශපාලකයන් පසුගිය සෙනසුරාදා කටයුතු කළේය. ඒ රටේ ආර්ථික  අර්බුදය ගැන කියන්නට වත්මන් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  මහින්ද රාජපක්ෂව මාධ්‍ය හමුවකට ගෙන ඒමය. ඒ ඔවුන් එසේ කළේ තමන්ගේ අතේ සිටි  තුරුම්පුවක් එළියට දැමූ බව සිතමින්ය. නමුත් සිදුවූයේ ඔවුන් හීනෙකින්වත්  නොහිතූ දෙයක්ය. ඔවුන් තුරුම්පුව යැයි විශ්වාස කරමින් එළියට දැමා තිබුණේ  ජෝකර් කෙනෙක්ය. වල්වාසියක්වත් නැතිවම තුරුම්පුව විසිවී ගියේ මැක්කන්ද  අන්දමන්ද කරමින්ය. 


තමන්ට ලියා දුන් ඉලක්කම් ගොඩක්  අමාරුවෙන් කියවා  ගත් මහින්ද මාධ්‍යවේදීයෙක් ඒ ඉලක්කම් එසේ වීමට හේතුව ඇහුවාම නිරුත්තර විය.  රුපියල කඩා වැටීම ගැන කතා කරන්න ආ මහින්දට තමන් බලාගෙන කියෙව්වේ මොකක්ද  යන්න ගැනවත් හරිහැටි අවබෝධයක් තිබුණේ නැති බව පැහැදිලි විය. තමන් බලය ආවම  ප්‍රශ්නේ විසඳනවා යැයි කීම පහේ පන්තියේ ළමයෙකුටත් කිව හැකි කතාවකි. පසුගිය  කාලයේ එක්තරා පුද්ගලික නාලිකාවක විකාශය වූ “පුංචිපහේ මං” වැඩසටහනේදීත් ඊට  වඩා තාර්කික උත්තර දුන් පහේ පන්තියේ ළමයි සිටියහ. උත්තරය දන්නේ නැති  ප්‍රශ්න අහනකොට මාධ්‍ය ආයතනය කුමක්ද යයි පෙරලා ප්‍රශ්න අසන තැනට මහින්ද සහ  ඔහුගේ පුරොහිත නඩය පත්වීමත් අහම්බයක් නොවේ. ඒක හරියටම කිව්වොත් තමන් උත්තරය  නොදන්නා විට “කෝල් අ ෆ්‍රෙන්ඩ්” උපකාරක අවස්ථාව ගන්නවා වැනිය. 


ඒ  මාධ්‍ය හමුවේ පෙනී සිටි ඔස්තාද්ලාගේ ජානමය පුරුද්දය එය විය. සැබැවින්ම ඒ  ඔවුන්ගේ  පුරුද්දය. තමන් රට පාලනය කරන කාලයේ ඔවුන් ඒ උපකාරක අවස්ථාව ලබා  දුන්නේ මාධ්‍යවේදීන්ටය. එහෙමත් නැත්නම් තමන්ගේ එදිරිවාදීන්ටය. ඔවුන්ට  උපකාරක අවස්ථා දෙකක් ලැබුණි. එකක් රාජපක්ෂලාට හිතවාදී මාධ්‍යකරණයේ නිරත වී  ජීවිතය බේරාගෙන වරදාන වරප්‍රසාද ලබා ගැනීමය. අනෙක් උපකාරක අවස්ථාව වූයේ  රාජපක්ෂලාගේ වැරදි දිගින් දිගටම කතා කර රාජ්‍ය ත්‍රස්තවාදය ලවා මරණයේ  වරෙන්තුව ලියා ගැනීමය.

 
ඒ කාලයේ මාධ්‍යවේදීන් තෝර තෝරා ඝාතනය කිරීමේ  පුරුද්ද රාජපක්ෂලාට තිබිණි. පසුගිය සෙනසුරාදා මාධ්‍ය හමුවේදී රාජපක්ෂ  පැළැන්තිය සිදු කළේද මාධ්‍ය ආයතනවලට අයුතු තර්ජනයක් විනා වෙනකක්  නොවේ. රාජපක්ෂලාගේ ආණ්ඩුවක් තිබුණා නම් මෙහෙම ප්‍රශ්න කරන්න ලැබෙන්නෙ නැත.  මාධ්‍යවේදියා මරණ සහතිකය ලියාගෙන ප්‍රශ්න ඇසිය යුතුය. නමුත් එදා  මාධ්‍යවේදියා ඇසූ ප්‍රශ්නවලින් ලොක්කා පමණක් නොව සහයට ඩැනීලාද කපෝති වී  ගියේය. රාජපක්ෂලා ගෞතම බුදුන්ටත් ඥාතිකම් කියූ බවට ප්‍රසිද්ධියේ  කියූ නලාකාරයෙක් එදා වැජඹුණු ආකාරයත්, ලසන්ත වික්‍රමතුංගලාට, ප්‍රගීත්  එක්නැලිගොඩලාට, කීත් නොයාර්ලාට, පෝද්දල ජයන්තලාට අත්වූ ඉරණමත් සංසන්දනය  කරබැලීමේදී රාජපක්ෂලා දුන් උපකාරක අවස්ථා ප්‍රයෝජනයට ගත්තවුන් සහ  ප්‍රයෝජනයට නොගත්තවුන්ට අත්වූ ඉරණම අවබෝධ කර ගත හැකිය. 


මේ යථාර්ථය  රටේ ජනතාව තේරුම් ගත යුතුය. ඔවුන් තේරුම් ගත යුතු එක් දෙයක් තිබේ. ඒ “ ගඟක  ගිලෙන කාන්තාවක් බේරාගත්තා” යැයි කියමින් ඒ කාන්තාව බේරා ගත් පුද්ගලයාට  අදාළ කාන්තාව දූෂණය කිරීමට අයිතියක් නොමැති බවය. ඒ කතාව කීවේ රාජපක්ෂලා  යුද්ධය අවසන් කළ බව කියමින් වේදිකා පලන්නට තවමත් කටයුතු කරන නිසාය. 


ඔය  කොයි නැටුම් නැටුවත් ඔවුන්ට අවසානයේ අවධාරණය කරන්නට දෙයක් ඇත. ඒ මේ රටේ  මිනිස්සු තීන්දු ගන්නේ තමන්ගේ හෙට දවසේ සුබ සිද්ධිය වෙනුවෙන් මිසක එක පවුලක  පෝෂණය වෙනුවෙන් නොවන බවය.

 

[දිලංක ගුණතිලක] 

මාතෘකා