චව් චව් මතක

 ඡායාරූපය:

චව් චව් මතක

එක මතකයක් ටයි මහත්තයා සිංහලෙන් හඬ කවා පෙන්නූ දොස්තර හොඳහිත කාටුන කතා මාලාවේ හැමදෙයක්ම බෑ ගා ගත්ත ගමන් ඉන්න චව් චව් ගැනය. මේ අච්චුවේ චව් චව්ලා අද කාලේ සේරු ගාණට මුණගැහෙන්නේ වැස්සට පස්සෙ වැලි බිම්මල් පිපින්නැහේය. අනෙක් චව් චව්, වැල් චව්ය. ඒවා අපේ ළමා කාලයේ බොහෝ සුන්දර අසුන්දර මතකයන් තුරුළු කරගෙන යාං වුණ අහර ගබඩාය. අපේ ගමේ හැම ගෙදරකම වැටවල් දිගේ විතරක් නෙමෙයි කොස් ගහට කෝපි පඳුරට පවා නැගගෙන ඒවා බදා වැළඳගෙන හුන් චව් වැල් බොහෝ විය. චව් නැති උන්දැලා තියෙන උන්දැලාගෙන් ඉල්ලාගත් අතර නොකියා කඩාගෙන ගියද තරහක් ආරෝවක් උපද්දගත්තෙ නැත්තේ කාගෙ වැලකත් ඕසෙට වච් පලගත් හින්දාය.

හොඳින් පැසී ඇතුළත ඇති එකම බිජුවෙන් අලුත් වැල් පොඩ්ඩෙකුත් උපද්දවාගත් චව් අම්මලා වැල් යට වැටී තිබෙනු දැකීම සුලබය. පලයේ හැටියට චව් වරිග දෙකක් තිබුණු අතර එකක ලෙල්ල ළා කොළ පාටය. අනෙක කිරිපාට සුදු චව්ය. කලාතුරකින් වෙළෙන්දෙක් ගමට ආවේ චව් මුදලට එක්කහු කරන් යන්නටය. ඒ වාගේ වෙළෙන්දන්ට ගම්මු හිනාවුණු අතර ඔන්න ඔහේ ඇන්න ගියත් මොකද මොන රටේද බං සල්ලිවලට චව් කෑවේ කියා කීවේ ඒවා තුට්ටුවක්වත් වටින්නේ නැතැයි හිතන්නට තරම් සුලබ නිසාය. චව් ගෙඩියකට මිලක් ලැබුණා නම් ඒ සත විසිපහකි. හැබැයි අවුරුදු පහළොවකට විතර පස්සෙ හැමදෙයක්ම වෙනස්වෙලා චවුගෙඩියත් ඩොලර් වගේ ආකාසෙට නැගලා අද එකක් රුපියල් විසිපහකි. ගණං උස්සන්නට ඉස්සර කාලේ චව් කෑ මතක ඇති දියතලාවේ මහ ඉස්පිරිතාලෙ රස්සාව කරන හර්ෂ විජේසේකර මහත්තයා පහුණු දොහක ඇහුවේ ඉවිලි ගැන ලිවිලි පොතක ලියැවෙන්නේ නැතිද කියා යි. අනේ ඉතිං නැතුං පුළුවනෑ. එදාට ඕං කියනවා එන්ඩ ඕනේ. ඒ දවසත් බොහෝම සුවඳ වේවි අපි පත චව් කොළේකින් වහලා ගෙන්ගෙට මාළුවක්පින්නක් හුවමාරුකරගනිද්දී දැනුනා වගේ.

චව් කන්ඩ පටන්ගන්නෙ වැලෙන්. ළපටි කොළයි, යාං වෙන දළුයි අර අත්පහුරුයි එක්කම බිඳලා ගනිපු චව් දළු මිටියක් දැක්කත් කෙළ ගිලෙනවා. හදිස්සියකට මැල්ලුමක් තෙල් දාගන්ඩ පේවෙලා කුස්සිය අද්දරම එව්වා තිබුණනෙ. ඉතිං වසක් විසකුත් නැති එකේ අතින් කඩලා ලුණු විතරක් දාලා ඇතිළියක වහලා මැලවෙන්ඩ ඇරලා මිරිස්කරලක්, ලූනු බිකක් බැදුණු තෙලක මුහුකරගන්නවා. ආයෙ මොනවද ඉතිං රහ. සමහර ඇත්තො චව් දළු ලියලාල පොල් ඩිංගිත්තක් හෙම මුහු කරලා මලවා ගන්නවා. චව් ගෙඩිය නම් වැඩිපුරම කෑවෙ වෑංජනේ. ඒ වුණාට බත් අතරට අතුරු කැමක් වුණා චව් තැම්බිල්ල. වැහි දවස්වලට හෙම හැන්දෑවෙ ලොකු චව් ඇතිළියක් සමහර වෙලාවට කොස්ඇටත් දාලා තම්බලා පොල් අඩලයකුත් ගාගෙන වටවෙලා කන පුරුද්දක් අපිට තිබ්බා ආයිබෝං. කිව්වට මොකද චව් තම්බං කාලා වේලපිරිමහගත්ත මිනිස්සුත් හිටියා. කවුරුත් විපරමින් හිටියෙ චව් ඇටේ ඩැහැගන්ඩ. ගෙඩියටම තිබ්බෙ එක ඇටයයි නෙව. තැම්බුණාම චව් ඇටේ හරිම පුසුඹයි. රහ හරියට කජු මද වගේ. හම්බවුණොත් කාලා බලන්ඩකෝ.

චව් ගෙඩි පිටි වෙන්ඩ පැහෙන්ඩ කලියෙන් වෑංජනේ උයනවා නම් පරිප්පු හරි කොස්ඇට හරි දාලා කිරට තමයි හොඳ. අපේ ගම්කරේ චව් වැල් ගාල් වගේම තිබ්බා ඇට කන දඹල වැල්ගාලුත්. මුද්දර දඹල, කොස්පොතු දඹල වගේ නම් ඒවාට පට බැඳලා තිබ්බෙ පෙනුමෙ හැටියට. කඩල ඇටයක තරමේ සුදුපාට ඇට තියෙන දඹල වර්ගෙකුත් තිබ්බා. දඹල ඇට චව් එක්ක මුහුකරලා උයාගත්ත වෑංජනේත් හරිම රහයි. සීයෙට සීයක්ම ඕර්ගනික ප්‍රෝටීන් සාගරයක් ඒ කැම. චව්යි පරිප්පුයි කළවම් කරලා උයාගත්තම රොටී කන්ඩ මල් හතයි. හොඳට පැහුණු චව් උයාගත්ත විදි දෙකක් තිබ්බා. එක්කො තෙලට නැත්නම් කිරට. ක්‍රම දෙකට කොස් උයන්නා වාගේ. පොල් හිඟ දේසෙනේ. කවුරුත් වැඩිපුර චව් ඉව්වෙ තෙල් දාලා. මයෙ හිතේ වැඩියෙ රහත් ඒ විදිය තමයි. ලෙලි ඇරපු චව් ගෙඩිය කොටු කපාගෙන දුරුමිරිස්, කහ, ලුණු දාලා වතුරෙන් තැම්බෙන්න තියනවා. තැම්බුණාම ලූනු, සුදු ලූනු, අබ පුපුරුවලා තෙලට දාගන්නවා. ලේසියි නේද? චවු ගෙඩිය ලෙල්ල පිටින් ලොකු කුට්ටි කපාගෙන චව් කළු පොල් මාළුව උයාගන්ඩත් පුළුවන් නෙව. කොස් ඇට කළු පොල් මාළුව උයනවා වාගේමයි. චව් කලිං තම්බගන්නෙ නැති එක ඇරෙන්ඩ. චව්ගෙඩිය බෑ කපලා හිරමණෙන් ගාලාත් උයාගන්ඩ පුළුවන්. ඒ විදියට ගාලා අරන් පුහුල් දෝසි හදනවා වගේ රසවත් චව් දෝසි හදාගන්ඩ උත්සාහ ඇරං බලන්ඩ ආරාධනා කරනවා නෝනලාට. කාලයක් ගියාම චව්වැල කොළ වැටිලා නාකි වෙනවා. එතකොට අම්මලා මුලට ළං වෙලා බලනවා පොළව පැළිලද කියලා. පැළිල නම් "ඕං බොල අල තියෙනවා" කියනවා. අලවංගුවෙන් පස බිඳලා ගලවගන්න අල වෑංජනයක් හදනවා.

[ලසන්ත ද සිල්වා]

 

මාතෘකා