හොංකොංහි මිනිස් කූඩු

 ඡායාරූපය:

හොංකොංහි මිනිස් කූඩු

ස්ථිරවම එය ඔබගේ නවාතැන වනු ඇත. සමහර විට එයම ඔබගේ මිනීපෙටිටියද වනු ඇත.

අප සාමාන්‍යයෙන් අසා ඇත්තේ ලේන් කූඩු , මයින් කූඩු ගිරා කූඩු හෝ කපුටු කූඩු ගැනය. නමුත් දැන් ලෝක තත්ත්වයන් වෙනස්ය. මිනිසා දියුණුය.

එහෙයින් ලෝකයේ නවතම කූඩු විශේෂයක් බිහිවී ඇත. ඒ මිනිස් කූඩුය. ( Cage Homes ) ඒවා ප්‍රථම වරට හඳුන්වා දුන්නේ ආසියාවේ දියුණු යැයි සම්මත හොංකොං රාජ්‍ය තුළය. හොංකොං රාජ්‍යය මෙම නිවාස සඳහා අර්ථකථනය කර ඇත්තේ නිදන කාමර යනුවෙනි.

එනම් එක් නිදන කාමරයක 12 ක් හෝ 12කට වැඩි ගණනක් ජීවත් වේ නම් ඒවා නිදන නිදන කාමරය. මේ නිදන කාමර යනුවෙන් හොංකොං රජය හඳුන්වා දෙන්නේ අඩි 6 ක් පළල අඩි 12 ක් දිග යකඩ කූඩුය.

ඒවා හොංකොං රාජ්‍යය තුළ නීත්‍යානුකුල නිවෙස්ය. ඒවායේ අයිතිකරුවන්ගෙන් හොංකොං රාජ්‍ය බදු මුදලක් ගනු ලබයි. මෙම වානේ කම්බිවලින් නිර්මිත කර්කශ කූඩු තුළ බලාපොරොත්තු අත්හළ මිනිස්සු සිය ජීවිතය ගත කරති.

එක් කාමරයක් තුළ එවැනි මිනිස් කූඩු 12 ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් තිබේ. හොංකොංහි හැට දහසකට අධික ජනතාව මුදල් ගෙවා සිරකූඩුවක් තෝරාගනු ලබන්නේ ඒ අන්දමටය.

හොංකොං යනු ලොව අධිකම මිල සහිත නිවාස වෙළඳපොළයි.

එය 2010 සිට පුරා වසර 8 ක් ලොව අධිකම නිවාස මිල ඇති රටවල් ශ්‍රේණිගත කිරීමේ සිටියේ අංක එකටය. එම රට වර්ග සැතපුම් 1064ක ලක්ෂ 60 කට අධික ජනගහනයක් ජීවත් වන දූපත් රාජ්‍යයකි.

මේ සීමිත බිමිකඩක අසාමාන්‍ය ජනගහන වර්ධනයට එකම සාධකය බවට පත් වූයේ 1950 - 1951 දී සිදුවූ චීන විප්ලවයයි. චීනයෙන් පලා ආ චියැං කායිෂේක්ගේ හිතවතුන් නෑදෑෙයා් බුරුතු පිටින් සමාජවාදී චීනයට බියෙන් විත් මෙහි පදිංචි වූහ.

එම චීන ජනතාවගේ ජනගහන වර්ධන වේගය අපි අද දකින නිවාස මිල ඉහළට යාම සහ කූඩු නිවාසවල වර්තමාන ප්‍රතිඵලයයි.

සමහර මිනිසුන් ජීවත් වන්නේ අඩි දෙකක් පළල අඩි 6 ක් දිගැති වානේ කූඩුවලය. හොංකොං රාජ්‍ය ප්‍රකාශනයන්ට අනුව මෙම කූඩුවල ජීවත්වන්නේ අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ය.

කාත් කවුරුත් නැති විශ්‍රාමිකයන්ය. තනිකඩ පුද්ගලයෝය. ඔවුනට රාජ්‍ය සුබසාධන නොමැත. ඒ රාජ්‍ය ප්‍රකාශනයයි. එහෙත් හොංකොං රජය එකක් අමතක කර ඇත ‘‘ ඒ ඔවුන් මිනිසුන් බවයි.

සිය ශක්ති ප්‍රමාණයෙන් රට ගොඩනැගීමට දහදිය කදුළු හෙළූ හැට දහසක් මිනිසුන් ‘‘ බවයි.

මේ එම දූපතේ කූඩුවක් නිවෙස් කරගත් මිනිසුන්ගේ කතාවයි. අප ඊළගට එන්නේ ලක්ෂ 25 මිනිසුන් ජීවත් වන මහල් නිවෙස්වල කතාන්දරයටයි.

මේ මහල් නිවෙස්වල ඇත්තේ එක් කාමරයකි. කුස්සියකි. ඒවා මහල් නිවෙස් යනුවෙන් ඔවුහු පවසති.

සෑම නිවෙසකම වැසිකිළිය ඇත්තේ කුස්සියේය. විවෘතවය. පවුලේ අයෙකුට වැසිකිළියට යාමට වුවමනා විට කුස්සියේ කපන කොටන උයන සියලු වැඩ නතර කරයි.

පවුලේ දෙමව්පියන්ට හෝ දරුවන්ට පුද්ගලිකත්වයක් කියා දෙයක් නොමැත.

ඇඳුම් අල්මාරිය රූපවාහිනිය. නිදන ඇඳන් සපත්තු සෙරෙප්පු දරුවන්ගේ පොත්පත් යන සියලු ලට්ට ලොට්ට එක කාමරයකය. දරුෙවා්ද වැඩිහිටිෙයා්ද සිය ඇඳන් කෑම මේසය වෙනුවට භාවිතා කරති.

ඒවා ශ්‍රී ලංකාවේ මුඩුක්කු පැල්පත්වලට වැඩිය වෙනසක් නැත. දරුවන්ගේ ඇඳන් සහ මවුපියන්ගේ ඇඳන් එක් තිර රෙද්දකින් වෙන්කර ඇත.

නිවෙස් අතර හෝ කූඩු අතර ජීවත් වන මිනිසුන් එකිනෙකා සමඟ කතාබහ කරන්නේ නැත. ඔවුනගේ ප්‍රධානම විනෝදාංශය රූපවාහිනියයි.

කොටින්ම මේ මිනිසුන් ජීවත් වෙනවායැයි කියන්නේ හුස්ම ගැනීමටය.

මෙසේ ජීවත් වන මිනිසුන්ගේ සංඛ්‍යාව එරට ජනගහනයෙන් තුනෙන් එකකි.

හොංකොං දිවයින නැරඹීමට එන විදේශිකයන් නියම හොංකොං රසවිඳීමට නම් මෙවැනි කූඩුවක හෝ මෙවැනි මහල් නිවෙසක නතර විය යුතුය.

ඒ සඳහා එරට සංචාරක ව්‍යාපාර විදේශිකයන්ව දිරිගන්වති. ඔවුන් එය හඳුන්වන්නේ දරිද්‍රතාවයේ සංචාරය Poverty Tourism යනුවෙනි.

සෑම වසර 5 කටම සැරයක් එරට දේශපාලනයේ අංක එකට ඇති ඡන්ද පොරොන්දුවකි ‘‘ සැම පවුලකටම කදිම නිවෙසක්... ‘‘

[උපාලි ජයසිංහ]

මාතෘකා