කටකාරී

 ඡායාරූපය:

කටකාරී

“මොකද්ද ඩොක්ටර්, තාමත් මගෙ බඩ රිදෙනවා,ලේ එකක්වත් බලන්නකෝ” අවුරුදු අටක පමණ දැරියක් මම ඇය පරීක්ෂා කරන අතරේ කීවාය.

“ලේ බැලුවට බඩ රිදෙන එක හරියන්නෑ පුතේ” මම ඇගේ හෘද ස්පන්දන වේගය මනිමින් කීවෙමි.

“ස්කෑන් එකත් නෝමල්ලු, අරයගෙත් නෝමල්ලු, මම හිතන්නෙ මැෂින් එක කැඩිලද කොහෙද ?”

“ඒ මොකෝ?”

මම ඇසුවෙමි.

“ඉතින් මගෙ බඩ තාම රිදෙනවනේ. මැෂිම හොඳ නම් ලෙඩේ පේනවනේ.” ඇගේ ප්‍රශ්නවලට මමත් නිරුත්තරය.

ආයේ ටිකකින් ඇය මා අමතයි.

“මේ.... ඔයාට ඔය බටේ දිගේ ලෙඩ ඇහෙනවද?”

“නෑ පුතේ සද්ද ඇහෙනවා”

“අම්මෝ මම හිතන ඒවත් ඇහෙනවා ඇති” ඇය තමන්ටම කියා ගනී.

“අම්මෙ මම ඩොක්ටර් කෙනෙක් වෙනව, එතකොට මටත් අහන්න පුළුවන් බටෙන්” ඇය ජයග්‍රාහී හිනාවක් ඇතිව අම්මාට කියයි.

ඊළඟ දිනයේ තවත් කතා මාලාවක් ඇගෙන් ඇසේ.

“ඇත්තටම බඩ රිදෙනවා හොඳේ. මම රඟපාලා තෑගි ගන්නද? ඔයාලා මට සල්ලි දෙනවද මම රිදෙනවා කිව්වම. නෑනේ ... ඉතින් මං ඇත්තම ඇත්ත කියන්නෙ ඩොක්ටර් ඇන්ටි.” ඇගේ උදරාබාධයට නිසි හේතුවක් නොමැති තැන ඇය අපට දොස් කියයි.

“මේ මං මේ බෙහෙතත් බිව්වා. කලින් අර අතන ඩොක්ටර් අර රෝස පාට පෙතිත් දුන්නා. ඒත් හරිගියෙ නෑමයි”

සෑම දිනකම සායන වටයේදී සිනා රැසක් අපේ මුව මත කැන්දන්නට ඇයට පුළුවන් විණි.

“මොකද අනේ රිදෙනවා කීවම බඩම ඔබන්නේ ... එබුවම රිදෙනව කියලවත් දන්නැද්ද? දැන් ඔයා මේ බඩ ඔබන තුන්වෙනි ඩොක්ටර්. මේක නවතින්නෙ කවද්ද? රිදෙනවා කිව්ව ගමන් ඔක්කොමලා කරන්නේ බඩ ඔබන එක" ඇගෙන් චෝදනා රැසකි.

“අනේ ඩොක්ටර් මෙයාගේ කට ඔහොමමයි. සමාවෙන්න” ඒ අම්මා අපෙන් සමාව ඉල්ලනවා.

“ඒකට කමක් නෑ අම්මා, හරිම හොඳ පෞරුෂයක් තියෙන දරුවෙක්. එයාට ඒ භය නැතිකමට හෝ කතාවට තරවටු කරන්න එපා. ඒක යටපත් කරන්න හදන්න එපා”

මම ඒ අම්මාට කීවා.

එක දවසක් ඔහොම කතා ගොන්නකින් පස්සේ මම වෝඩ් රවුන්ඩ් ඉවර වෙලා මේ පැංචි අපේ මේසේ අසලින් එහෙ මෙහෙ යද්දි අඬගහලා වෙද නළාව දාලා දුන්නා කන් දෙකට. හෘදය තියෙන තැන සද්දෙ අහන්න දුන්නා.එයාගේ බඩේ සද්දෙ අහන්න දුන්නා... ෂූ ෂූ ගානවා කියලා හරි සතුටක් ලැබුණා ඒ දරුවාට. බඩ ඇතුෙළ් මුහුදක් තියෙනවා කියලා මිස්ලා හිනාවුණා..

"ඒ ඩොක්ටර් ඇන්ටී විතරයි මට නළාව දුන්නේ සද්ද අහන්න, බඩ ඇතුෙළ් හෝ ගානා පොකුණ වගේ" එයා අනෙක් යහළුවන්ට කියනවා.

ඒ අස්සේ මට කෑ ගහනවා "ඩොක්ටර් ඇන්ටි තැන්ක් යූ...., ගුඩ් නයිට්" කියලා.

ඇයගේ මුඛරිකම ගැන, පෞරුෂත්වය ගැන සහ නොනවත්වා කතා කිරීම ගැන අපි හරි පැහැදීමෙන් හිටියේ.“ඒක ඕනෑවට වැඩී, ඉස්කෝලෙදී බැනුම් අසයි” කියලා ඒ අම්මා බයෙන් කතා කළේ ඒ ගැන.

ඒ අම්මාට අපි කීවා ඇයව කථික, විවාද, ගායනා, නාට්‍ය වැනි සෞන්දර්ය විෂයයන්වලට යොමු කරන්න කියලා. ගුරුවරුන් මෙහෙම දරුවන්ව නිසි මඟට යොමු කරාවි යැයි මම විශ්වාස කරනවා. ඒත් හැමදාම අපට අසන්නට ලැබෙන්නේ දක්ෂ දරුවන්ට වන අසාධාරණය පමණි. කොළඹ ප්‍රසිද්ධ බාලිකා පාසැලක ගුරුවරියක සහ ඇගේ දියණියන් හට වූ අදමිටුකම් ගැන පසුගිය දිනක පුවත්පතකට කරන ලද හෙළිදරව්ව අපව උස්සා පොළොවේ ගසනසුලු එකකි. තම දරුවන් සමාජයේ උසස් යැයි නමක් දිනූ පාසැලකට ඇතුළත් කරන්නට දෙමාපියන් නොකරන දෙයක් නැත. හැදියාව හොඳ කරන්නට හෝ ඉංග්‍රීසිය හොඳ කරන්නට හෝ සමාජයේ නමක් දිනාගන්නට කියා හෝ එවන් උසස් පාසැල්වලට දරුවන් යවන්නේ නම් ඒවායේ පාලන තන්ත්‍රය සහ ගුරුවරුන්ගේ හැසිරීම සහ මනුස්සකම සාධනීය මට්ටමක තිබිය යුතු නොවේදැයි මම අසමි. මේ එක් සිදුවීමක් පමණක් නොවේ. මාද ඇතුළුව මා දන්නා බොහෝ දෙනාට මෙවන් ගුරුවරුන්ගේ නොපනත්කම් ගැන කතා කරන්නට කියන්නට බොහෝ අත්දැකීම් ඇති බව දනිමි. ලෝකයක් තනන්නට ඉන්නා ගුරුවරුන්ම ඒ ලෝකයට විෂ එකතුකරන්නේ නම් එය කොයි තරම් නම් ශෝකාන්තයක්ද?

වෛද්‍ය [බෝධිනී සමරතුංග]

මාතෘකා