(අලුත් පරපුරේ) කලාකරුවන් අරබයා

 ඡායාරූපය:

(අලුත් පරපුරේ) කලාකරුවන් අරබයා

අප විසින් අවබෝධ කරගෙන සිටින පරිදි ‘කලාකරුවන්’ යනු, නිරන්තරයෙන්ම නිර්මාණශීලී කටයුතුවල නියැලෙන, එමෙන්ම සමාජය පිළිබඳ සාධනීය විවේචනාත්මක දැක්මක් සහිත වන සහ සමාජ ඉදිරිගාමී අදහස් ඇති පුද්ගල කොට්ඨාසයකි.

නිර්මාණශීලී අදහස් දැරීම යනු, එතෙක් පැවති සමස්තයට පයින් ගසා වෙනම සිතීමක්ද යන්න විමසා බලමු...!

ලංකාවේ නූතන චිත්‍රකාලා සම්ප්‍රදායේ ඉතිහාසය දෙස බලමු. ඇම්. සාර්ලිස් යුරෝපීය ක්‍රම අනුකරණය කරමින් නමුත්, ඇන්දේ බෞද්ධ කතාවස්තුය. එමෙන්ම 43 කණ්ඩායමට, වෙනත් කණ්ඩායමකට හෝ නූතන චිත්‍ර ශිල්පීන්ටද දේශීය ජන ජීවිතය හෝ දේශලපාලනික පසුබිම, නැතිනම් දේශජත්වය මඟ හැර යෑමට නොහැකි විය.

එකී ඉතිහාසය තුළ එම ශිල්පීන් කෙදිනකවත් කැලණි විහාරයේ චිත්‍රවල හෝ සීගිරි චිත්‍රවල කළුතෙල් ගාන්නට යෝජනා කළේ නැත. එමෙන්ම මොනාලිසා උඩුරැවුලක් සහිතව ප්‍රතිනිර්මාණය කළ සිත්තරා ‘ඔරිජිනල් මොනාලිසා’ චිත්‍රය ප්‍රදර්ශනය කරක ලූවර් කෞතුකාගාරය ගිනිබත් කරන්නටද යෝජනා කළේ නැත.

කලාකරුවා, ඔහුගේ භූමිකාව සහ ඔහුගේ සමාජ සවිඥානිකත්වය ගැන කතා කිරීමේදී, අපට ළඟම රටෙන් කදිම නිදර්ශනයක් හමු වේ. එනම් ඉන්දියානු නූතන චිත්‍ර කලා සම්ප්‍රදායේ පුරෝගාමියෙකු වූ රාජා රවි වර්මා ගේ චිත්‍රකලා භාවිතය ඇසුරෙනි.

“මිනිසෙක් මරා දැමීමට යම් දඩුවමක් නියම කළ හැකියි එහෙත් වසර දහස් ගණනක් පැරණි සංස්කෘතියක් ඝාතනය කිරීමට වෑයම් කිරීම සඳහා පැනවිය යුත්තේ කිනම් දඩුවමක්ද?” ඔහුගේ චිත්‍රකලාව සම්බන්ධයෙන් විරසකව සිටි මූලධර්මවාදී හින්දු භක්තිකයෝ ප්‍රශ්න කළෝය.

රාජා රවි වර්මාට එරෛහිව එල්ල වූ ප්‍රධානම චෝදනාව වූයේ ‘පුරාණ කතා’ විකෘති කරමින් ඒ තුළ එන දෙවිදේවිතාවියන්ගේ රූප ඉතා අශ්ලීල ආකාරයෙන් නිරූපනය කිරීමයි. අජන්තා, ඒල්ලෝරා, කජිරාවෝ යන උදාහරණ දක්වමින් තමාගේ නිර්මාණ කාර්යය තුළ එම ස්ථානවල නිරූපණය කර ඇති දේට වඩා යමක් නිරූපණය නොවන බව රාජා රවි වර්මා ප්‍රකාශ කළේය.

එමෙන්ම ඉන්දියාව යනු ‘කාමසූත්‍ර දේශය’ බවත්, නාරිලාලිත්‍ය සැමරීමට එය උත්කර්ශයට නැඟීමට තමන් අතීතයේ සිට පුරුදු පුහුණුව සිටින බවත් ප්‍රකාශ කළේය. එහෙත් ඔහුගේ කලා භාවිතය පිළිබඳ විසංයෝජනීව බැලුවහොත් අපට පෙනෙන්නේ ඔහු තම කලා භාවිතාව මගින් ඉන්දියානු සංස්කෘතිය තම රට තුළ මෙන්ම කලාපීයවත් ඔසවා තැබීමට උත්සාහ කළ ආකාරයයි.

ජන මතකයේ පැවති ඉන්දියානු පුරාණෝක්තිවලට ඔහුගේ තෙලි තුඩින් ජීවය කැවුණි. බහුතරයක් ඉන්දියානුවන්ගේ ආත්මයට ආමන්ත්‍රණය කිරීමට තරම් එම චිත්‍ර සජීවී වුණි. රාමායන සහ මහාභාරත කතා විශේෂයෙන් ශාකුන්තලය වස්තු විෂය කරගෙන ඔහු විසින් ඇඳි චිත්‍ර ඉතා ප්‍රබල නිරූපණ විය. රවී වර්මා තම යුරෝපීය ආභාසය තුළ වුවත්, ඉන්දියානු සභ්‍යත්වය මැනවින් තේරුම් ගත්තෙකු බව පෙනේ.

ඔහුගේ එම ප්‍රබල නිරූපණය නිසාම තමයි රවි වර්මා, “රජා” රවී වර්මා ලෙස ගරු බුහුමනට ලක්වූයේ. එනම් චිත්‍ර ශිල්පියෙකුගේ, නැත්නම් පොදුවේ කලාකරුවෙකුගේ කාර්යය ‘රජෙකුගේ කාර්යයට‘ දෙවෙනි වන්නේ නැති බවයි, එයින් කියැවුණේ.

එමෙන්ම එකී තත්ත්වය සමඟම පැමිණෙන වගකීමෙන්ද කලාකරුවෙකුට නිදහස් වීමට නොහැකියි. කලාකරුවෙකුගේ නිර්මාණ ප්‍රවේශය මෙන්ම ඔහු ගතකරන ජීවිතයද වැදගත් වන්නේ ඒ අර්ථයෙනි. එනම් ඔහු කියන කරන සෑම දෙයක්ම ඔහුගේ භාවිතාවේ කොටසක් බවට පත් වේ.

කලාකරුවා විෂයෙහි මෙකී තත්ත්වය, ප්‍රගතිශීලී බව හුවා දක්වන අපේ රටේ අපේම පරම්පරාවේ කිහිප දෙනෙක් වෙත ප්‍රක්ෂේපණය කර බැලුවොත් පෙනෙන්නට තිබෙන්නේ සමාජය, සමාජීය අර්බුද සහ ඒවාට ගත හැකි විසඳුම් පිළිබඳ නිරවුල් දැක්මක් ඔවුන් තුළ නොමැති බවයි.

පසුගිය කාලය තුළ අසන්නට ලැබුණු පරිදි රුවන්වැලි සෑය විශාල පාපකර්මයක් ලෙස නම් කරනු ලැබිය. මීතොටමුල්ල කුණු කන්ද නාය යද්දි, ජේතවනාරාමය කුණුවලින් වැසිය යුතුයි යන යෝජනා කෙරිණි. එම අදහස්වලින් පැහැදිලි වන්නේ යම් අදහසක් නිරවුල්ව ප්‍රකාශ කිරීමට තරම් ශක්‍යතාවක් නොමැති වීමේ අඩුවයි.

සත්‍ය වශයෙන්ම ‘සිතන ආකාරයේ’ ප්‍රශ්නයක් යනු ‘අත්දැකීම් ග්‍රහණය කරගන්න ආකාරයේ’ ප්‍රශ්නයකි. නැවතත් ඒක කියවීමේ සහ භාවිතාවේ ප්‍රශ්නයක් බවට පත් වේ. රවි වර්මා වැනි කෙනෙකු කලාව මඟින් මතු වන්නේ තමන් අයිති සංස්තෘතිය සහ සමාජය පාගාගෙන නොවේ.

එයට ද්වේශ කරමින් නොවේ. ඇත්තෙන්ම ඔහු කරන්නේ තමන්ගේ නිර්මාණශීලී චින්තනය ඔස්සේ එකී සංස්කෘතියට සහ සමාජයට නව අර්ථ සම්පාදනය කිරීමයි.

අපේ රටේ ‘අලුත් පරපුරේ කලාකරුවන්ගෙන්’ ආයාචනය කරන්න තියෙන්නෙ මෙච්චරයි. ඉක්මනින්ම ආධුනික භාවයෙන් අත්මිදෙන්න!

චීන කතාවක එන පරිදි, තම අන්ධ මිතුරාට, ඔහු දැඩිව ප්‍රකිත්ෂේප කරද්දීත්, පහනක් සොයාදෙන්න වෙහෙස වුණ පුද්ගලයාගේ අන්තිම ආයාචනය තමයි, මේ වෙලාවේ මතක් වෙන්නෙ.

“ඔබ අන්ධ බව ඇත්ත, එහෙත් පහන අතැතිව සිටින විට ඔබගෙන් අන් අයට සිදුවන අනර්ථය ඉන් වැළකේවි.”

ඔබ අනවබෝධයේ ගිලී සිටියාට කමක් නැහැ, එහෙත් අන් අයගේ පරිස්සමටවත් මඳක් සවිඥානිකව සිතන්න පුරුදු වෙන්න.

[දිනේෂ් දේවගේ]

මාතෘකා