රාමුවෙන් පනින්න!!!

 ඡායාරූපය:

රාමුවෙන් පනින්න!!!

"පුරෝහිතතුමනි, මට හිතෙන විදියට මාගේ මුත්තණුවන්, ඒ කිව්වේ මහා ධර්මපාලතුමා තමයි අපේ රාජ්‍යය මේ තරම් හොඳින් ගොඩනගන්න මුල් වුණේ" රජතුමා පුරෝහිතට ආමන්ත්‍රණය කළා.

"ඔව් රජතුමනි. එතුමා තමයි අපේ රාජ්‍යය පාලනය විධිමත් කරන්න මුල් වුණේ. හරිම ධාර්මිකයි. මට එතුමාව යාන්තමින් මතකයි. හරි ප්‍රතාපවත්, හරියටම මේ සිත්තමේ පේන තේජස වගේමයි" පුරෝහිතතුමා රජතුමාගේ කතාව එකහෙළාම අනුමත කළා. රජතුමායි පුරෝහිතයි දෙන්න එක්ක රජ පැලැන්තියේ මුතුන් මිත්තන්ගේ ආලේඛ්‍ය සිතුවම් නරඹමින් ඉන්න අතරේ එහෙම කතාවක් ඇතිවුණා. දෙතුන් මාසෙකට වතාවක් දෙන්නත් එක්ක එකතුවෙලා තමන්ගේ රජ පරපුර දැක බලාගන්න ගමන් ඔවුන්ගේ විවිධාකාර කතාන්දර හාර අවුස්සන්නත් පුරුදුවෙලා හිටියා. ජීවමානව ඉන්නවා වගේ පණ පොවලා ඇඳපු සිතුවම් පෙළ දිගේ කතාව ගලා යද්දී, සිතුවම් ඇඳපු සිත්තරුන්ගේ දක්ෂතා ගැනත් විටින් විට කතා වුණා.

"රජතුමනි, ඔබතුමාගේ සිතුවමකුත් මේ අතරට එකතු කරන්න අදහසක් පහළ වුණා. ඔබතුමාගේ අදහස කොහොමද?"කතාව අතරතුරේ පුරෝහිතතුමා විමසා සිටියා. එකපාරම විදුලියක් වැදුණාක් වගෙ හරියට සිහිය එනකොට පුරෝහිතතුමාගේ කට ඉස්සර වුණා වැඩියි.

"නියම අදහස පුරෝහිතතුමනි. හෙටම වැඩේ පටන් ගන්න"රජතුමා එක පයින් කැමති වුණා.

තමා විහින්ම පටලවාගත්ත උගුලක හිරවුණා වගේ කරකියාගන්න දෙයක් නැතුව පුරෝහිතගේ උගුර කට වේළිලා ගියා. ඇත්තටම මේ රජතුමා ආබාධිතවයි සිටියේ. රට වෙනුවෙන් යුද වැදිලා වම් කකුලයි වම් ඇසයි ඔහුට අහිමි වෙලා තිබුණේ. බොරු කකුලක් පැළඳලා කිහිලිකරුවක ආධාරයෙන් තමයි එහෙ මෙහේ ගියේ. ඉතින් රජතුමාගේ මේ රූප ලක්ෂණ එක්ක කොහොමද සිතුවමට නගන්නේ කියලා පුරෝහිත බරපතළකම තේරුම් ගන්න කොට ප්‍රමාද වැඩියි. ඔන්න ඉතින් පහුවෙනිදා උදෙන්ම සිත්තරුන් සියල්ලක්ම රාජ සභාව ඉදිරියට කැඳවලා තිබුණා. වෙන්න යන්නෙ කුමක්ද කියලා එක එක අදහස් ඔවුන් අතරේ. රජතුමා අලුතෙන් කරන්න යන විහාර කර්මාන්තෙ සිතුවම් අඳින්න කියලත්, අලුත් වැඩෙන් ගානක් ගසාකන්න හිතපු ඇමතිවරු කිහිප දෙනෙකුත් මේ අතරේ හිටියා.

සිත්තරුන් ඉදිරියේ කාරණය ඉදිරිපත් කළාම තමයි ඔක්කොම බය බිරාන්ත වුණේ. රජතුමා මුළු රටේම මිනිස්සුන්ට කාලා ඇඳලා නිදහසේ ඉන්නත්, විනෝදයෙන් රාජකාරි කරගෙන ඉන්න පුළුවන් පරිසරයක් ගොඩනඟලා තිබුණු නිසා ජනතාව එතුමාට පුදුම ආදරයක්, පක්ෂපාත බවක් තිබුණා. එහෙම ඉන්න රජතුමාගේ සිතුවමක් ඇඳලා රාජ උදහසට ලක්වෙන්න කවුරු වුණත් කැමති වුණේ නැහැ. කාලය හෝරාවක් විතර ගෙවී යද්දි, රටේ නමගිය ශිල්පීන් එකා දෙන්නා විවිධ හේතු ඉදිරිපත් කරලා තමන්ගේ ජීවිතය රැකගන්න උත්සාහ කළා.

රජතුමාටත් බලන් ඉදලා ඇතිවෙලා අන්තිමේ සිත්තරුන් ඇමතුවා.

"මෙච්චර ලස්සන සිතුවම් පිරුණ වෙහෙර විහාර, දේවාල ආදී කලාකෘති නිමවන රටේ, රජතුමාගේ සිතුවමක් අඳින්න කෙනෙක් නැද්ද?"

"අවසර රජතුමනි. ඔබේ අවසරය ලැබේ නම් මම එය රිසි පරිදි ඉටුකොට දෙන්නම්" පිරිස අතරේ හිටපු ළාබාලම තරුණයා ඉදිරිපත් වෙද්දී අනෙක් සියල්ලන්ම සැනසුම් සුසුමක් හෙළුවා.

"පුතා, නුඹ තරුණ වැඩියි, තව ජීවිතේ ගොඩක් දුර යන්න තියෙනවා. නිකම් රාජ උදහසට ලක්වෙලා අකාලේ මිය පරලොව යන්න හදන්නේ ඇයි?" වයොවෘද්ධ සිත්තරෙක් මේ තරුණයාට අවවාදයකුත් දුන්නේ බොහොම අනුකම්පාවෙන්. නියම කරගත්ත වෙලාවක රජතුමාව සිත්තම් කරන්න මේ තරුණයා මාලිගාවට ආවා. දින කිහිපයකින් ඔහු රජතුමාට තමන් ඇදපු සිතුවම පිළිගැන්වූවා. රජතුමා තමන්ගෙ සිතුවම දැකලා විස්මයට පත්වුණා විතරක් නෙවෙයි තරුණ සිත්තරා රාජ සභාවට ගෙන්නලා බොහෝ ප්‍රසාද පිරිනමලා ඉහළින්ම අගය කරන්න කටයුතු කළා. මොකක්ද ඒ සිතුවමේ ඇඳලා තිබුණේ?

රජතුමා අසරුවෙකුගේ පිට උඩ ඉඳගෙන දුන්නෙන් ඉලක්කයක් ගන්න ආකාරය. රජතුමාගේ ආබාධිත කකුලත්, ඇසත් නිර්මාණශීලීව වසන් කරන්නට ඉන් ඉඩ ලැබී තිබුණා. තමන් රට වෙනුවෙන් ප්‍රකට කළ රණශූරත්වයට එය ගෞරවයක් ලෙසයි රජතුමාට හැඟුණේ. රජතුමාගේ සිතුවම අනෙක් සිතුවම් පෙළ අතරේ රඳවන දවසේ පුරෝහිතතුමා මේ තරුණයාගෙන් මෙහෙම ඇහුවා.

"කොහොමද ඔබට මෙවැනි අවදානමක් ගන්න සිතක් පහළ වුණේ?"

"පුරෝහිතතුමනි, මට මම උගත් ශිල්ප ගැනත්, මගේ දක්ෂතාව ගැනත් ලොකු විශ්වාසයක් තියෙනවා. වඩාම වටින දෙය නම් මට යමක් වෙනස් විදියට දකින්න පුළුවන් විදියේ මනසක් තියෙන එකයි" තරුණ සිත්තරා සාරගර්භ පිළිතුරක් දුන්නා. යමක් දෙස වෙනස් කෝණයන්ගෙන් බලන්න යොමු වෙන නිර්මාණශීලී පුද්ගයයන් සතුව ඕනෑම ගැටලුවකට විසඳුමක් ලබාදෙන්න හැකියාව තියෙන බව ඉන් පසක් වෙනවා. සාම්ප්‍රධායික සීමා මායිම්වලට කොටුවෙලා ඉන්නෙ නැතුව යමක් පුළුල් මනසකින් දකින්න අවශ්‍ය චින්තන රටාව ගොඩ නඟාගැනීම ඔබව දක්ෂයින් අතරේ නිසැකවම විශිෂ්ටත්වයට ඔසවා තබාවි.

නව ලෝකය බිහි කළ සියලුම විශිෂ්ටයන් අපට කියා දෙන්නෙ කුමන බාධා අඩුපාඩු තිබුණද එතුළින් පවා විශිෂ්ට නිර්මාණ බිහි කළ හැකි බවයි. ඉතින් රාමුවෙන් පිට පනින්න. විශිෂ්ටයෙක් වෙන්න, වෙනස්ව සිතන්න.

[මේනක මදුජිත්]

මාතෘකා