තරුණයන්ට ගේට්ටු විවර කිරීම

 ඡායාරූපය:

තරුණයන්ට ගේට්ටු විවර කිරීම

ජීවිතය පරදුවට තැබූ තරුණ නැගිටීමක් හා ඊට ප්‍රතිපක්ෂව ක්‍රියාත්මක කළ බිහිසුනු මර්දනයකින් පස්සේ තරුණයන්ට හා ඔවුන්ගේ ගැටලුවලට ගුවන් විදුලියේ මයික්‍ර‍ෆෝනය විවෘත කළ යුතු බවට මගේ සිත නිතර වද දෙන්න පටන් ගත්තා. මේ අතර තමයි මැලේසියාවේ ආසියා ශාන්තිකර කලාපීය ගුවන්විදුලි පුහුණු ආයතනයේ (AIBD) "ගුවන් විදුලියේ තරුණ වැඩසටහන් නිෂ්පාදනය" පිළිබඳ පුහුණු පාඨමාලාව හදාරන්න අවස්ථාව ලැබුණේ.

එයින් ලද දැනුම හා අත්දැකීම අනුව මට ආපසු පැමිණියාට පසු තරුණයන් වෙනුවෙන් වෙන් වූ වැඩසටහන් කිහිපයක් කරන්න අවශ්‍ය වුණා. ඉදිරිපත් කළ වැඩසටහන් යෝජනාවලට ඉඩ ලැබුණා. එහිදී එවකට මගේ ප්‍රධානියා වුණ ඩී. එස්. දයාරත්න මහතාත්, වැඩසටහන් ප්‍රධානියා වුණ සුගත් වීරසිංහත් සිහිපත් වෙනවා. මේ දෙදෙනාම අප ගැන විශ්වාසයක් තිබුණා.

මෙතෙක් පේරාදෙණිය විශ්වවිද්‍යාලය පදනම් කරගෙන කෙරුණ ‘සරසවියෙන්’ වැඩසටහනේ නිෂ්පාදනයත් මා යටතට භාර වුණා. මෙතෙක් ඒ වැඩසටහන කර තිබුණේ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් මැදිරියට ඇවිත් සහභාගි වුණ සාකච්ඡාමය වැඩසටහනක් විදියට. මට අවශ්‍ය වුණා එය වෙනස් කරන්න. මම කළේ ජංගම පටිගත කිරීමේ යන්ත්‍රය අරගෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ගොස් සිසුන් ජීවත් වෙන විධිය පටිගත කිරීමයි.

නේවාසික ශාලා තුළ ඔවුන් උයා පිහාගෙන කන ආකාරය. කැන්ටින්වලින් ‘අඩු කන’ හැටි. කාමරවල ‘ගජේ ගහමින්’ පාඩම් කරන හැටි පටිගත කරලා වැඩසටහන් හැටියට ප්‍රචාරය කළා. ඒවා ඇතුළේ ඔවුන්ගේ ඇත්ත ජීවිතේ වගේම ප්‍රශ්න ඇතුළත් කළා. ශිෂ්‍ය අයිතිවාසිකම් වෙනුවෙන් කරන උද්ඝෝෂණ, පිකටින් ආදිය පටිගත කළා. ඔවුන්ට විවෘතව ඒවාට පදනම් වුණ ප්‍රශ්න කතා කරන්න අවස්ථාව ලබා දුන්නා.

ඒ වගේම ජාතික වශයෙන් මතුවන ප්‍රශ්න ගැන තරුණ තරුණියන් විතරක් තමන්ගේ අදහස් දක්වන වැඩසටහනක් අලුතින් පටන් ගත්තා. ඒකට පොල්ගොල්ල අධ්‍යාපන විද්‍යා පීඨයේ තරුණ තරුණියන් සහභාගිවුණා. ඔවුන්ට නිදහසේ අදහස් ඉදිරිපත් කරන්න අවස්ථාව සලසා දුන්නා. ඒවාට එකට ගැටෙන්නට ඉඩ ඇරියා. සමාජයේ ආන්තික මට්ටමේ රැකියාවන් කරන තරුණයන්ගේ හඬ ගුවන් විදුලියට ගෙනාවා.

ත්‍රී රෝද රථ රියදුරන්, මහවැලි ගඟේ වැලි ගොඩදාන තරුණයන්, පදික වේදිකාවේ වෙළෙඳාම් කරන තරුණයන්, වාහන නවතා තැබීමට ටිකට් නිකුත් කරන තරුණියන් වැනි අයගේ ප්‍රශ්න, ජීවිත දැක්ම, දේශපාලන අදහස් වැනි දේ මේ වැඩසටහනට ඇතුළත් වුණා. සමහර අයගේ කතන්දර හරිම දුක්මුසුයි. අපි පිට ඉඳන් ඔවුන් ගැන හිතන දේට වඩා ඇත්ත කතාව හරිම වෙනස්. ඔවුන්ගේ හීන බලාපොරොත්තු, ජීවිත ඉලක්ක ගැන කියූ දේවල් මතක් වෙද්දි අදටත් දැනෙන්නේ කම්පාවක්.

තිලක් ජයරත්න කියන්නේ මගේ ගුවන් විදුලි මාධ්‍ය ජීවිතේට වැඩියෙන් බලපෑමක් ඇති කළ චරිත දෙකෙන් එක චරිතයක්. දවසක් තිලක් අයියා එක්ක අපි ගියා ජේමිස් ටේලර් පළමු තේ පැලේ වගා කළ ලූල්කඳුර තේ වත්තට. එහිදී මට හමුවුණා දෙමළ තරුණයින් කිහිපදෙනෙක්.

ඒ අය වැඩිපුරම අහන්න කැමති, ලංකාවේ ප්‍රසිද්ධ දෙමළ වෙළෙඳ ගුවන් විදුලි නාළිකා කියලා කියද්දි මම ඇහුවා ඇයි ඒවාට ඒ තරම් කැමති කියලා. උත්තරය වුණේ "හොඳ සෝන්ග්ස් යනවා" කියන එක. සාමාන්‍යයෙන් දෙමළ ප්‍රජාව දෙමළ චිත්‍රපට ගීතවලට දැඩි ඇල්මක් දක්වනවා. මම ඇහුවා "ගුවන් විදුලිය ඕනේ සිංදු අහන්න විතරද" කියලා. ඔවුන්ට ඒක ඒ තරම් අවබෝධ වුණේ නෑ.

මම ආයෙත් ඇහුවා "ගුවන් විදුලියෙන් කතා කරන්න කැමති නැද්ද?" කියලා. එතකොට හැමෝගෙම මුහුණට ආලෝකයක් ආවා. "මොනවද එතකොට කතා කරන්නේ?" මම ඇහුවම ඔවුන්ගේ පිළිතුර වුණේ "අපේ ලැයිමට අවුරුදු 100කින් ලයිට් ඇවිල්ලා නෑ. වහලවල් තෙමෙනවා, ටකරන් දාලා නෑ. වතුර නෑ. ඒවා ගැන කතා කරන්න කැමතියි." මේක තමා ඇත්ත කතාව.

වර්තමාන ගුවන් විදුලිය කරන්නේ තරුණයා "අන්දවන" එක. ඒ ඇන්දවීම සඳහා භාවිතා කරන්නේ සරල විනෝදය. නමුත් ඔවුන්ගේ අදහස්, ප්‍රශ්න, හීන, ගැන ඉදිරිපත් කරන්න, ඒවා විසඳලා දෙන්න යැයි කෑගහලා ඉල්ලීම් කරන්න අවස්ථාවක් දෙනව නම් මේ ගුවන් කාලය කොයිතරම් ප්‍රයෝජනවත්ද?

අදටත් ලංකාවේ තියෙන සෑම ගුවන් විදුලි නාලිකාවකම අයිතිකරුවන් වන ආණ්ඩුව හා මුදලාලිලා, ඒවායේ ඉහළ නිලතල දරන උදවිය, ඒවායේ මාධ්‍යකරුවන් සිතන්නේ ගුවන් විදුලි වැඩසටහන් කියන්නේ වායු සමීකරණය කළ සුඛෝපභෝගී මැදිරියක, විදග්ධ හෝ ඉහළ හා ඉහළ මැද පාන්තික මිනිසුන් වාඩිකරවාගෙන කරන සාකච්ඡාමය වැඩසටහන්වලට කියලා.

නමුත් සැබෑ ගුවන් විදුලි වැඩසටහන් තියෙන්නේ මැදිරියෙන් පිට. මහපාරේ, ඈත ගම්වල, වතුකරයේ, හේන් කුඹුරුවල, කර්මාන්තශාලාවල, සටන් බිම්වල, වැඩබිම්වල. ඇත්ත මිනිස් හඬවල් කියන්නේ ඒවට. නිර්ව්‍යාජ ජීවිත පණ ගැහෙන්නේ ඒ තැන්වල.

ඒ මිනිස්සුන්ගේ සැබෑ ජීවිතය ගුවන් විදුලි මයික්‍රෆෝනයට හසු නොවෙන තාක් කල් මහජන දේපළක් වුණ ගුවන් විදුලි තරංගවලට ඒවායේ හිමිකරුවන් මේ කරන්නේ අපයෝජනයක්. ඒක සාහසික අපරාධයක්.

මාතෘකා