බේගල් බබාලා සහ වාසිටි කෙල්ලෝ

 ඡායාරූපය:

බේගල් බබාලා සහ වාසිටි කෙල්ලෝ

බොරුව රස බව දැනෙන්නේ එය තළු මරන මිනිසුන් ඇති විටෙකය. "ඇත්ත තිත්ත" ය යන්න හැඟෙන්නේ එය පිළිකෙව් කරනා මිනිසුන් සමඟ වෙසෙද්දීය. ඇත්ත වසං කළ හැකි බොරුවේ ප්‍රභේද රැසකි. බොරු හෙළිකර ගැනීමට නම් ඇත්තට මුහුණ දිය යුතුය. බොරු රස විඳීමට හුරු මිනිසුන් ඇත්තට බියය. එවන් සමාජයක රජවන්නේ බොරුවය.

සංඛ්‍යාලේඛන සලකා බැලුවද සියදිවි නසාගැනීම් වල තාමත් අප පෙරමුණේ සිටී. කුසගිනි දරාගත නොහැකි ගැමියෝ පවුල් පිටින් සිය පණ නසා ගනිති. වගා ණය ගෙවාගත නොහී ගොවියෝ වස බී නසිති. කාමාතුරයින් කෙලෙසූ දියණියෝ ගෙළ වැළලා ගනිති. එහෙත් අපට මතක ඇත්තේ ප්‍රේමය දිනාගත නොහී දිවි නසා ගත් නළුවෝ ය. අභියෝග, පීඩන ඉදිරියේ පරාජය වූ වාසිටි කෙල්ලෝය. හේතුවට පහර දීමට නොදත් මේ "මරි මෝඩ" සමාජය තාමත් පහර ගසන්නේ සිදුවීම් වලට සහ පුද්ගල චරිතවලටය.

හිංසනය සහ පීඩනය පිටුදැකිය යුතුය. එහි තර්ක හෝ විවාද තිබිය යුතු නැත. මේ මුළු මහත් සමාජයම තාමත් වෙලී ඇත්තේ හිංසාවෙන් සහ පීඩනයෙනි. කතා කිරීමේ අයිතියට මුඛවාඩම් බැඳීම හිංසනයකි. ලිවීමට ඇති අයිතියට මාංචු වැටීම පීඩනයකි. නිදහසේ සැරීම, රිසිසේ ජීවත්වීම ඇහිරීම, ඊට තහංචි හෝ බාධක පැනවීම හිංසනයකි. පීඩනයකි. එනයින්, මෑත අතීතයේ සිට මේ දක්වා අප හිඳින්නේ අයිතීන්, වරප්‍රසාද හීන වූ, හිංසනයට, පීඩනයට නතුවූ සමාජ ක්‍රමයකය.

දරුවන්ට සමාජය විවර කළ යුතු ගුරුවරු දෙදෙනෙක් සිය සිසුවියක් කෙළෙසුහ. අපේ සදාචාර සමාජය ඒවා තළු මරමින් රස විඳිද්දී, ඒ අවුරුදු දහසයේ දැරිය නොසැලී ජීවිතයට මුහුණ දුන්නාය. හිස බූ ගා, ගෙවල් ගිණි තබා, අතවර කළ කලා ශිල්පීහු ඒවා දරාගෙන සමාජයට මුහුණ දුන්නෝය. පිහිවලින් ඇණ, කඩුවලින් කපා අඩත්තේට්ටම් කළ මේ රටේ මාධ්‍යවේදීහු රට හැරගොස් හෝ පණ ගැට ගසා ගත්හ. ලියුමක ලීවේ නම් ලියන්නට නම්ගම් තොගයක් ඔවුන්ටද තිබෙන්නට ඇත. සිය දරුපවුල් සමඟ ඔවුන්ද වේදනාවේ කඳුළු බොන්නට ඇත. හිතින් සිය දහස් වර මැරි මැරී ඉපදෙන්නට ඇත. අප හිඳින්නේ මර්දනයට පදම් කළ සමාජයකය. ඒ සමාජය ඔබේ මරණයෙන් පාඩම් ඉගෙන ගන්නේ නැත. මර්ධනයට එරෙහි වෙමින්, පීඩනය හමුවේ දරාගනිමින්, ජීවත්වනවා තරම් මේ සමාජයට රිදවිය හැකි අන් ක්‍රමයක් නැත.

ජනබලය නිසා බලයෙන් පහ වූ ඇත්තෝ එම බලය සොයා ජනතාව වීදී බස්සති. එම බලය සොයනු වස් ලයිට් කණුවල බඩ ගාති. පාරවල් දිගේ පෙරලෙති. පදික වේදිකාවල නිදති. කාණුවලට වැටෙති. ගම් පෙරලාගෙන කොළඹ පෙරලන්නට පැමිණි සමහර ඇත්තෝ, සුවසැරිවල පටවාගෙන ගොස් රෝහල් ඇඳන් මතද පෙරලූහ. "වෙරිකාරයා" ආසා බිම පෙරලෙන්නටය. ඌ මොන තරම් "බොරුකාරයෙක්" වුවත් අනිත් උන්ට පෙන්නන්නට කැමති තමා "කෙරුම්කාරයෙක්" බවය. බලයෙන් මත්වූ ඇත්තෝ සිහියෙන් විකල් වූ ජන බලයට පෙම් කරති. යකැදුරෝ මැදියමේ පන්දම් පාලී නටද්දී, ආතුරයෝ උන්නේ නිවෙස්වලය. "බොන බලය" ඇත්තේ වෙරි හිඳෙනතුරු බව කියන්නේ ඒකය.

අඳුරේත්, බමන ගතියේත් "ආතල්" කුඩුවන්නේ එළිවද්දී දැනෙන වේදනාවෙනි. තමන් පාසල් වැසූ බව, ආයතන වැසූ බව, පාරවල් හිරකළ බව, ආර්ථික මර්මස්ථාන අකර්මණ්‍ය කළ බව බලය හෙවූ ඇත්තෝ රූප පෙට්ටියෙන් නරිවාදම් දෙසද්දී, තමන් ඒවා කළේ තමන්ගේම මිනිස්සුන්ට බව දැනී ජනතාවට බලෙන් ඇඬෙන්නට ඇත. තමන්ට අරලිය ගස් මැදුරු, ජනපති මැදුරු වටලන්නට හැකියාව තිබූ බව, වෘත්තීය සමිති සමඟ ඒවා සාකච්ඡා කොට තිබූ බව බේගල් බබාලා කියද්දී, ජන බලය කතා පෙට්ටිය අසළ වැටී හිසේ රුදාවට, කකුල් රුදාවට තෙල් උලන්නට ඇත. හලාවත, රතුපස්වල, කටුනායක මැවි, මැවී පෙනෙන්නට ඇත.

ඔය අපට අවැසි බව පෙන්වන බලය ඇත්තෙන්ම අවැසි ඔවුන්ටය. අප හඳුනාගත යුත්තේ එය අපේ කරපිටින් ගෙනයන ඔවුන්ගේ බොරුවය. බලය ඇති කාලයේ රජ සැප එක්ක නිදිවදිමින් හිඳ, ඒවා අහිමි වූදා හීනෙන් බයවෙන "බේගල් බබාලා" අප වටහාගත යුතුය. මේ දේවත්තලා රා පොවන්නේ අපේ නාලාගිරිලාට බවත්, ගල් පෙරලන්නේ අපේ හිස මත බවත් අමතක නොකළ යුතුය.

ඇවිද්ද පය දහස් වටින්නේ ආණ්ඩු පෙරලන්නට ඇවිදීමෙන් නොවේ. අප පෙරළිය යුත්තේ අප තුළ ඇති මන්ද මානසික වහල් භාවයයි. "කක්කා" ගොඩක හිඳගෙන අප ඉන්දියානුවන් පාරේ "කක්කා" දමනවායැයි සිනාසෙද්දී, ඔවුන් "සමරිසි" අයිතියටත් කැත නැතුව නීතීයෙන් ඉඩක් හදා තිබේ. අප රිසි දේකට ඉඩ නැති මේ වහල් දූපතේ හිඳිනවාට වඩා මෙය ඉන්දියාවේ කොළණියක් වූවා නම් මොකදැයි කියා සිතෙන කාලය තව වැඩි දුරක නොවේ.

මාතෘකා