අඳුර තුළ මිහිදන් වූවෝ

 ඡායාරූපය:

අඳුර තුළ මිහිදන් වූවෝ

“නිදහසේ සුසුම් කැටි

ගුලිවෙලා සැඟවගත්

ගන අන්ධකාරයේ කිසිවෙකුගේ බව සොයන

කිසිවෙකුගේ ඡායාව

පරිතාප පතුරාන

ඔබ මොබ ව සැරි සරයි”

- ආදවන්

මේ ගතවෙමින් පවතින්නේ අතුරුදහන්වූවන් පිළිබඳ සැමරුම් කාලයකි. එහෙත් දිවිගමන තුළ සැමරුම් නොදිනු විරුවන් වූ නොවූ කෙතරම් පිරිසක් සූරියකන්දේ හෝ චෙම්මනියේ හෝ මාතලේ පසුකඳු යට රහසේ නිදා සිටියේද? තවත් එවැන් ගිණිය නොහැකි පිරිසක් මෙබිම තුළ සඟවා සිටිනවා ඇතිද?

සරත් සමයේ බිම පතිත පත්‍ර මෙන් ලොවට හොරා පස තුළ නිදන් කළ ඔවුන් විඳි දුක්, සන්තාප, වේදනා කවදා නම් අප දැනගනීද? වැඩපළේ, අතුරු මඟකදී හෝ මැදියම් රැයේ සොඳුරු සිහිනයක අතරමැදදී නිදි යහනේදීම පැහැරගෙන යන ලද ඔවුන් සතුව, පසු දා ලොව හා බෙදාගන්නට කෙතරම් රහස් තිබෙන්නට ඇතිද? අවසානයේ නොදන්නා බිම්කඩක, පාළු බෙයදක නිරාහරාව ගුලි වී සිටිමින් විඳින ලද අටෝරාශියක් පිරිපත මැද ඔවුනගේ සමීපතමයන් පිළිබඳ මතකය තුළම උණුසුමට ගුලිවෙමින් එකී පිරිපත ඔවුනට අත්නොවේවා යන සිතුවිල්ලෙන් පසුවන්නට ඇතිද? අවසානයේ අංශුමාත්‍රමය ඉඟියක් නොතබා අඳුර තුළ මිහිදන් කළ එවැන්නන් කොපමණ සිටීද? අවසානයේ ඔවුනගේ සමීපතමයන්ට ඔවුන් පිළිබඳ මතකය පිරි අවකාශය තුළ ශේෂ වූයේ සෝ සුසුම් පමණක් නොවේද?

ඉන් ඔබ්බට ඔවුනට පිළිසරණක් වීම සඳහා අප රටක් වශයෙන් කෙරම් සුදානමද යන්න අප සිතා බැලිය යුතු නොවන්නේද? ඔවුන්ට අහිමි වූවන් මියගිය බව හෝ කොතැනක හෝ සිරකර සිටින්නේය යන්නද නොදැන දිවිගෙවීමෙන් ඔවුන් විඳින ශෝක පිරිපත සමාජයක් වශයෙන් අප විසින් සාමූහිකව බෙදා ගත යුතු නොවන්නේද?

මේ දක්වා ලංකාව තුළ නොයෙක් ආකාර‍යෙන් අතුරුදහන් ‘කළ’ පුද්ගලයින්ගේ සංඛ්‍යාව අවසාන ගණන් කිරීම්වලට අනුව 60,000ත් 100,000ත් අතර පිරිසකි. 1989ත් 1990 අතර කාලය තුළ සිදු වූ තරුණ නැඟිටීම් මර්දනය කිරීම හරහා මෙන්ම රටෙහි පැවති තිස්අවුරුදු යුද්ධය තුළදී දේශපාලනිකව සහ මිලිටරි වශයෙන් අන් ආකාරයෙන් අතුරුදහන් කළ වූවන් එකී පිරිසට අයත්ය. එම පිරිස අතර මානව හිමිකිම් සුරැකීම පිළිබඳ හඬනැගූවෝ, මාධ්‍යවේදීන් සහ ප්‍රජා නායකයන් ඇතුළු නන්විද ප්‍රගතිශීලීන්හූ සිටිති.

ලංකාව රටක් වශයන් පළමු වරට මෙම අතුරුදහන් කළවුවන් පිළිබඳ ගොළුවත පසුගිය සතියේදී සංකේතීයව බිඳදැමුවේය. ඒ දශක ගණනක් තිස්සේ හඬා දොවාගත් කිරි කඳුළක් වන් ‘අතුරුදහන්වූවන්ගේ කාර්යාලය’ විසින් අතුරුදහන් වුවන් සැමරීමෙනි. මෙරට රජ්‍ය මැදිහත් වීමකින් එවැන්නක් සිදු කළ පළමු අවස්ථාවද වෙයි. සැබවින්ම එය අප රටක් වශයෙන් අප ගෙවා පැමිණි මෑතකාලීන අඳුරු අතීතය පිළිබඳ කළ ප්‍රත්‍යවේක්ෂාවක්ද වන්නේය. අනු අයුරකින් එවැනි ස්වයං ඇඟයීමක් රටක් හෝ සමාජයක් වශයෙන් එහි අනාගතය නිවැරදි කරගැනීම සදහා ගන්නා ඥානාන්විත උපායමාර්ගයක් වශයෙන් ද සැලකිය හැකිය.

‍එහෙත් රටක් වශයෙන් අප අතුරුදහන්වූවන් පිළිබඳ සොයා බැලීම සඳහා විධිමත් විද්‍යාත්මක වැඩපිළිවෙළක් මෙතෙක් සකසාගෙන නොමැත. මෙය ‘අතුරුදහන්වුවන්ගේ කාර්යාලයේ’ ඉදිරි වැඩපිළිවෙළ සඳහා සෘජුවම අදාළවන මාතෘකාවකි. එනම් ඒ සඳහා වඩාත් විද්‍යාත්මක වැඩපිළිවෙළක් සකසා ගැනීම හරහා අතුරුදහන් වූවන් ලකෂයකගේ දැනට ජීවතුන් අතර සිටින ඥාතීන් සඳහා යම් සහනයක් සැපයීමට ඔවුනට හැකියාව ලැබෙනු ඇත. ඒ සඳහා බොහෝ දුරක් එයට ගමන් කළ යුතුව ඇත.

නිදර්ශනයක් වශයෙන් මේ සඳහා ආරම්භයක් වශයෙන් රටේ දැනටමත් අඩුවක්ව පවතින වෝහාරික පුරාවිද්‍යාත්මක විමර්ශන කටයුතු වර්ධනය කිරීම සඳහා අනුග්‍රහය දැක්වීම කෙරෙහි අවධානය යොමුකළ හැකිය. වොහාරික පුරාවිද්‍යාත්මක විමර්ශනයකදී මූලික වශයෙන් මිනීවළක පිහිටීම, එහි ව්‍යාප්තිය තක්සේරු කිරීම හා අවසන් වශයෙන් කැනීම් කටයුතු හා දත්ත උද්දරණය මෙන්ම මෙම දත්ත නිවැරිදිව වාර්තා කිරීම මෙන්ම එම දත්ත විශ්ලේෂණය සහ පසු විශ්ලේෂණය ආදි ක්‍රියාපිළිවෙත කෙරෙහි අවධානය යොමු වන අතර ඒ සියල්ලක් මඟින්ම අදාළ වින්දිතයන් ඝාතනයට ලක් කළ ආකාරය හා එකී ඝාතනය සිදු කළ කාලය පිළිබඳ සාපේක්ෂ කාලරාමුවක් ගොඩනැඟීම සිදුවෙයි.

ශ්‍රී ලංකාවේ සිදු වු සාපරාදී අතුරුදහන්කිරීම් සහ වළලෑම් පිළිබඳ අධ්‍යයන ඉතිහාසය තුළ විධිමත් වොහාරික පුරාවිද්‍යාත්මක විමර්ශනක් පළමු වරට සිදුවුයේ 2012දී සොයාගත් මාතලේ සමූහ මිනිවළ ආශ්‍රයකොටගෙනය. එම විමර්ශනය මඟින් සාපරාධී සමූහ අපරාධ, විද්‍යාත්මකව විමර්ශනය කිරීම සඳහා මූලික විධික්‍රම දියුණු කිරීමට මුලිකම උත්සහය ගනු ලැබූ අතර මේ වන විට මන්නාරමෙහි සිදු වන කැනීම් කටයුතු මඟින් එය වඩාත් වර්ධනය කරමින් පවතී. එහෙත් තවමත් මෙවැනි විමර්ශනයක් සඳහා සකස් කර ගත් සම්මත කාරක ක්‍රියාපිළිවෙතක් (standard operating procedures) සකස් කර නොමැති අතර ‘අතුරුදහන්වූවන්ගේ කාර්යාලයට’ ආයතනක් වශයෙන් වඩාත් සත්‍යවාදී වීමට අවශ්‍ය නම් ඒ සඳහා බොහෝ දේ කිරීමට අවකාශය ඇත. අවශ්‍ය වන්නේ මෙවැනි සාපරාධී ක්‍රියා වැළැක්වීම සඳහා වුවමනාවක් සහිතව විවිධ ක්ෂේත්‍රවල වැඩ කරමින් සිටින නිර්මාණශීලී මානව සම්පත් එකතු කර ගැනීම පමණකි.

[දිනේෂ් දේවගේ]

මාතෘකා