ලක්ෂ්මී ඇග්‍රවේල් ඉන්දියාව වෙනස් කළ ගැහැනිය

 ඡායාරූපය:

ලක්ෂ්මී ඇග්‍රවේල් ඉන්දියාව වෙනස් කළ ගැහැනිය

Vagabomb නැමැති අන්තර්ජාලයේ ජනප්‍රිය වෙබ් අඩවිය 2016 වසරේ ඉන්දියාව වෙනස් කළ ගැහැනුන් පහළොස්දෙනා අතරට ලක්ෂ්මී ඇග්‍රවේල්ගේ නමත් සටහන් කර තිබිණි. 2005 වර්ෂයේ යම් කිසි දිනෙක මේ 15 හැවිරිදි ලක්ෂ්මී ඇග්‍රවේල් සිය සංගීත පන්තිය වෙත යමින් සිටියාය. ඒ දිල්ලියේ ජනාකීර්ණ වෙළෙඳපොළක් හරහාය. ඒ මොහොතේ හදිසියේ ඇය වෙත කඩා පැන්න මිනිසුන් තිදෙනෙක් ඇගේ රූමත් මුහුණට ඇසිඩ්වලින් දමා ගසනු ලැබීය. ගිනිගත් මුහුණින් යුතු ඇය එකිනෙහිම මහ පොළොව මත ඇද වැටිණි. ඇයට සිහිය එන විට ඇගේ පිළිස්සුම් තුවාලවල වේදනාව අවම කරනු වස් ප්‍රධාන ශල්‍යකර්මයන් 9කට මුහුණදී තිබිණි. ලක්ෂ්මීට ඇසිඩ් ප්‍රහාරය එල්ල කළ මිනිසා පොලිස් අත්අඩංගුවට පත්විය. ඔහු දිල්ලියේ 32 හැවිරිදි ගුඩ්ඩා නොහොත් අල්ලියාස් නයිම් ඛාන්ය. ඔහු 15 හැවිරිදි ලක්ෂ්මීට ලොකු මුදලක් අතටදී ‘කසාද බඳිමු’යැයි කීවත් ඇය එය පිළිකුලින් යුතුව බැහැර කිරීම මේ වෛරයට උපත විය.

රෝහලෙන් පිටතට ආ මේ කෙල්ල සමාජයෙන් හුදකලා වී ගෙයි මුල්ලකට වී අඬමින් සිය ප්‍රහාරකයාට දිනුම ලබා දුන්නේ නැත. ඒ වෙනුවට සියලු ඇසිඩ් ප්‍රහාරවලින් ශාරීරිකව හා මානසිකව බිදවැටුණු ගැහැණුන් වෙනුවෙන් නැගී සිටීමට තීරණය කළාය. තමන් අකමැති ප්‍රතික්ෂේප කළ මිනිසුන් අතින් ඇසිඩ් ප්‍රහාරයන් ලබන ඉන්දීය ගැහැණුන්ගේ ප්‍රමාණය වසරකට 1000ද ඉක්මවන බව ඇය පුවත්පත් මගින් දැන සිටියාය. සටන ඇරඹිණි.

ලක්ෂ්මී ඇග්‍රවේල් ඇසිඩ් ප්‍රහාරයන් ලැබූ ගැහැණුන්ගේ ගෙන් ගෙට ගියාය. ඇය ඔවුන් සැනසුවාය. ඔවුනට ආත්ම විශ්වාසය ඇති කළාය. අනතුරුව එන මොහොතේ මෙසේ කීවාය.

“යම් මිනිසෙක් තමා කැමති ගැහැණිය ඇය තමන්ට අකමැති නිසා මරා දමනවා වෙනුවට ඇය සිය ජීවිත කාලයම විඳවනවා දැකීමෙන් තෘප්තිමත් වෙයි. ඔහු ඇගේ ආත්මය, ඇගේ සමාජ ජීවිතය, ඇගේ අරමුණු හා සිහින විනාශ කර දැමීමෙන් අපමණ සතුටු වෙයි. එහෙත් ප්‍රහාරකයාගේ බලාපොරොත්තු සුන් කරවමින් ඔබ නව ජවයකින් සහ සතුටු සහගත මුහුණකින් සමාජයට නැවත එකතුවන්නේ නම් ප්‍රහාරකයා පරාජය වෙයි. ඔහු සිය ජීවිත කාලය තුළම ඉන්පසු විඳවයි.

ඇය මේ වින්දිතයන් උදෙසාම Chhanav Foundation නැමති සංවිධානය ගොඩනැගුවාය. ඒ හරහා ඇසිඩ් ප්‍රහාරයන්ට ලක් වූ ගැහැණුන්ට මෝස්තර නිරූපිකාවන් විය නොහැකියි, රූප රාජිනියන් විය නොහැකියි යන සමාජ මතය බිඳ දමමින් ඇසිඩ් ප්‍රහාරයන්ට ලක්වූ කාන්තාවන්ගේ මොස්තර නිරූපණ ප්‍රදර්ශන හා රූප රාජිනී තරග ඉන්දියාව පුරා පැවත්වුවාය. ඒවා සමාජ මාධ්‍ය සහ ඉන්දීය මුද්‍රිත මධ්‍යවල හා විද්‍යුත් මාධ්‍යවලට රසබර කතා විය. හොඳ ප්‍රවෘත්ති විය. නව වටයකින් ලක්ෂ්මි ඉන්දියානු සමාජයට මේ ඇසිඩ් ප්‍රහාරයට ලක් වූ ගැහැණුන් ගැන සිතීමට බල කරනු ලැබීය. ඇය රූපවාහිනි සත්කාරක වැඩසටහන් මෙහෙයවන්නියක් වුයේ එසේය.

ඇය මේ සමාජ වෙනස් වීම සිය අරමුණු වෙතට යාමට මාර්ගයක් කර ගනු ලැබීය. ඇය දිල්ලියේ සිවිල් සමාජය තුළ උගත් සමාජ මතයකට බලපෑම් කළ හැකි මිනිසුන් 2700කගේ අත්සනින් යුතු පෙත්සමක් රැගෙන 2014 දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයට කඩා වැදුණාය. පෙත්සමෙන් ඉල්ලා තිබුණේ ‍ෙවළෙඳපොළේ ඕනෑ කෙනෙකුට ගත හැකි ඇසිඩ් වෙළෙඳාම තහනම් කරන ලෙසත් ඇසිඩ් ප්‍රහාරයන් ලැබු සියලු වින්දිතයන්ට රජය වන්දි මුදලක් ගෙවිය යුතු බවත්ය.

පෙත්සම සළකා බැලු ශ්‍රේෂ්ඨාධිකරණය අවුරැදු 18 ට අඩු කිසිවෙකුට ඇසිඩ් විකිණීම තහනම් බවත් අවුරැදු 18 වැඩි සියලු මිනිසුන් මින් ඉදිරියට ඒ සඳහා සිය හැඳුනුම්පත ඉදිරිපත් කළ යුතු බවත් නීතියක් පනවන ලදී. සියලු ඉන්දීය ප්‍රාන්ත මහ ඇමතිවරුන් කැඳවා ඇසිඩ් විකිණීම තවදුරටත් නියාමනය කිරීම, වින්දිතයන්ට ප්‍රතිකාර කිරීම, රැකවරණය සැලසීම හා වන්දි ලබාදීමට පාර්ලිමේන්තුව හරහා නීති කෙටුම්පත් කළ යුතු යැයි නියම කළේය. ඒවා ඉන්දියානු පුරුෂ මූලික සමාජයක ඉන්දියානු කාන්තාවක් දිනාගත් අනගි ජයග්‍රහණයක් වේ.

ඇයට සිය කඩවසම් පෙම්වතා ආලෝක් ඩික්සිත් මුණ ගැසෙන්නේ මේ සටන් ව්‍යාපාරය තුළය. ඔහු මේ ගැහැනියගේ බාහිර ශරීරය තඹේකට ගණන් ගත්තේ නැත. ඔහු මෝහනය වූයේ ඇගේ ඉලක්කසහගත අරමුණුවලටය. ඒ සඳහා තිබුණු ආත්ම විශ්වාසයටය. එබැවින් ඔවුහු කිසිවෙකුට නොදන්වා 2014 දී විවාහ වූහ. ඔවුන් දෙදෙනා දැන් අවුරුදු දෙකක පුංචි දියණියකගේ දෙමාපියෝය. ඇගේ ධෛර්යයේ සහ ආත්ම විශ්වාසයේ තරම කොතෙක්ද යත් ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ආර්යාව මිෂෙල් ඔබාමා ලෝකයේ ධෛර්යවන්තම කාන්තාව සම්මානය පිදුවේ ඉන්දියාවේ ලක්ෂ්මී ඇග්‍රවේල් නැමති මේ නිර්භය සමාජ මතවාදයන් වෙනස් කළ හැකි ගැහැනිය වෙතය.

ඒ 2014 දීය. ලක්ෂ්මී ඇග්‍රවේල් සිය Chhanv Foundation හරහා මේ මොහොතේද ඇසිඩ් ප්‍රහාරයට ලක් වූ කාන්තාවක් හා කතා කරමින් ඇයව මානසිකව සුවපත් කරමින් ඉන්නවා විය හැකිය. දැන් එය ඇයට බොහෝ පහසුය. ඉන්දියාවේ ජනප්‍රිය රූපවාහිනී චැනලයක් වු NDTV හි ඇය විශේෂාංග නිවේදිකාවකි.

[උපාලි ජයසිංහ]

මාතෘකා