ජෝගි නටන, ආතල් ගන්න ඒකාබද්ධ විපක්ෂය

 ඡායාරූපය:

ජෝගි නටන, ආතල් ගන්න ඒකාබද්ධ විපක්ෂය

මහින්ද සුළඟ ඔබට මතකද? 2015 පෙබරවාරි මාසය අවසන් වන්නටත් පෙර නුගේගොඩින් මෙකී සුළඟ හමනවා යැයි කීවේ පෝය කිහිපයකින් ආණ්ඩුව ගෙදර යවන බව කියමින්ය. නමුත් ආණ්ඩුවට සිදුවූ දෙයක් නැත. ඉන්පසු 2016 අගෝස්තු මාසයේ ජන සටන නමින් පාගමනක් මහනුවර සිට කොළඹ පැමිණියේය. ඇතැමුන් නම් ඒ ගැන කියද්දී කීවේ කොළඹ සිට මහනුවරට කෝටි දෙකක ජනකායක් පැමිණි බවත් එය වත්මන් යහපාලන ආණ්ඩුව ගෙදර යැවීමේ ප්‍රබල වෙඩිමුරයක් බවත්ය. නමුත් ආණ්ඩුවට සිදුවූ දෙයක් නම් නැති වුවත් එසේ පාරම් බෑ අය අද පාර්ලිමේන්තුවේවත් නැත. කොටින්ම කියනවා නම් ආණ්ඩුව ගෙදර යවන්නට ජෝගී නැටූ ඒ අයට තමන්ගේ පාර්ලිමේන්තු ආසනයවත් බේරා ගන්නට පුළුවන්කමක් තිබුණේ නැත.

මේ අය තවමත් සිතා සිටින්නේ මහජනතාව මෝඩයාට ඇන්දවිය හැකි බවය. බත් පැකට්ටුවට, අරක්කු බාගයට ජනතාව රැවටුණු යුගය දැන් අවසන්ය. පස්වැනිදාට මහා සෙනඟක් කොළඹට ගෙනෙන්ට හදන ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් කියා ගන්නා ඔඩොක්කු කුක්කන්ට ඒ බව අවබෝධ කර දිය යුතුමය. දැන් මේ අය ආසන බලමණ්ඩලයකට එක් බස්රථය බැගින් ලබා දෙන්නට කටයුතු කරමින් සිටී. ඒ තමන්ගේ උදේඝෝෂණ ව්‍යාපාරයට ස්වේච්ඡාවෙන් කිසිවෙකුත් ඉදිරිපත් නොවන බව මේ ඒකාබද්ධ විපක්ෂයේ ලොකු පුටුවල වැජඹෙන අයවළුන්ට අවබෝධ වී තිබෙන නිසාය. දැන් මේ අය උත්සාහ කරන්නේ මොන දහම් ගැටයක් හෝ ගසා කොළඹට සෙනඟ ගෙන ඒමටය.

මහා ජනතාවක් කොළඹට ගෙන එන්නට විවිධ දහම් ගැට ගසන මේ අය ඔය කියන විරෝධතාව සංවිධානය කරන්නේ ආණ්ඩුවට චෝදනා පත්‍රයක්ද ඉදිරිපත්කරමිනි. ඒවා හොරකම් කළා, ජාතික සම්පත් වික්කා, මැතිවරණ කල්දැම්මා, ජාතික සමගිය නැතිකළා, ආර්ථිකය වැනසුවා, මව්බිම පාවාදුන්නා, ජනතාව රැවැට්ටුවා/තරුණයින් මුළා කළා, සදාචාරය කෙළෙසුවා, ප්‍රතිවාදීන් දඩයම් කළා ආදී වශයෙන් ඔවුන් ලැයිස්තු ගත කර ඇත. හොඳම දේ නම් ඒ අය තමන්ගේ නිවසේ කණ්ණාඩියක් ඉදිරිපසට ගොස් ඔය චෝදනා ඉදිරිපත් කිරීමය. ඊට හේතු කීපයකි.

ඒවා නම් ලංකාවේ එදා මෙදා තුර සිදුවූ ලොකුම හොරකම් සිදුවූයේ මහින්ද රාජපක්ෂ පාලන සමයේදී නිසාය. මිග් ගනුදෙනුව, සිල් රෙදි චංචාව, ග්‍රීක් බැඳුම්කර, ක්‍රිෂ් ගනුදෙනුව, ශ්‍රී ලංකන් මිහින්ලංකා වංචා ආදී චෝදනා ලැයිස්තුගත වන්නේ රාජපක්ෂ පාලන සමය ඉදිරියෙනි. එ අනුව හොරකමේ කප්පිත්තන් ඔවුන්ය.

අනෙක් චෝදනාව වත්මන් රජය ජාතික සම්පත් විකිණූ බවත් මව්බිම පාවාදුන් බවත්ය. ගෝල්ෆේස්හි යුද හමුදා මූලස්ථානය පිහිටි භූමිය සින්නක්කරවම විකුණුවේත්, ඇමරිකානු ඩෝල් සමාගමට රටේ වටිනා ඉඩම් ලබා දුන්නේත් වත්මන් ආණ්ඩුව නම් නොවේ.

මැතිවරණ කල්දැම්මා යැයි මේ ආණ්ඩුවට තවත් චෝදනාවකි. අවාරේට පොල් වැටෙන්නා සේ තමන්ට වාසිදායක ප්‍රදේශ බලමින් මැතිවරණ පවත්වමින් රටේ මුදල් අනවශ්‍ය පරිදි වියදම් කළේද වත්මන් ආණ්ඩුව නොවේ. වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් සිටින්නේ එදා රජපක්ෂ පාලනය විසින් විකෘති කළ රටේ මැතිවරණ සිතියම විධිමත් කිරීම පමණි.

ජාතික සමගිය නැතිකළා යැයි වත්මන් ආණ්ඩුවට චෝදනා කරන රාජපක්ෂ හෙංචයියන්ට අලුත්ගම විනාශය අමතක වූවාට එය අපට අමතක නැත. ආර්ථිකය වැනසුවා යැයි වත්මන් රජයට චෝදනා කරන රාජපක්ෂ කල්ලියට ඔවුන්ගේ පාලන සමය තුළ ආර්ථිකය කළමනාකරණ කළ ආකාරය මතක් කරදෙන්නට අවශ්‍ය නැත. මන්ද රටේ ජනතාවට ඒවා හොඳින් මතක නිසාය.

ඒකාබද්ධය දැන් වත්මන් ආණ්ඩුවට කියන්නේ ජනතාව රැවැට්ටුවා/තරුණයින් මුළා කළා කියාය. විදුලි පුටුව, ජාත්‍යන්තර අධිකරණ යැයි කියමින් ඡන්ද කොල්ලකෑමට ජනතාව රැවටූ ආකාරය අපට හොඳටම මතකය. එසේම තාරුණ්‍යයට හෙටක්/ නිල්බලකාය වැනි සංවිධාන අටවාගෙන තරුණයන් රැවටූ අකාරය කිසිවෙකුටත් අමතක නැත. රටේ සදාචාරය කෙළෙසුවා යැයි වත්මන් රජයට චෝදනා කරන්නන් දළදා මාළිගාව අවට නයිට් රේස් පදිමින් නාටිකාංගනාවන් නැටවූ සැටිත් කැසිනෝ ව්‍යාපාරිකයන්ට බදු සහන දී කැසිනෝ කලාප මෙරට තුළ ඇති කරන්නට රාජපක්ෂ පාලනය කටයුතු කළ ආකාරය අපට අමතක නැත.

ප්‍රතිවාදීන් දඩයම් කළා යැයි වත්මන් රජයට චෝදනා කරන රාජපක්ෂ කල්ලිය හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට, හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට සැළකූ ආකාරය යළි සිහිපත් කළ යුතුව ඇත.

ඒ අනුව බලන විට සැප්තැම්බර් 05 මේ අය නටන්නට යන්නේ ජෝගියක්ම පමණි. මේ එළැඹ තිබෙන්නේ ඉදිරියට යන රටට වල කපන දේශපාලන ජෝගිකාරයන්ට ජනතා ප්‍රතිචාර දැක්විය යුතුම කාලයයි.

[දිලංක ගුණතිලක]

මාතෘකා