කොස් පැහිලද? බලාපල්ලා

 ඡායාරූපය:

කොස් පැහිලද? බලාපල්ලා

ඕං ඩිංගිත්තක් එපිටහට ගිහිල්ලා ආයෙමත් කොස්ගොල්ලට ආවා. අපේ ගම්කරේ ඉතුරු වෙලා තියෙන වන රොදවල් අතරින් අලංකාරම රක්ෂිතය කොස්ගොල්ල කැලේ. මිනිස්සු ඒ නම තියලා තියෙන්නෙම ඒක කොස් යායක් හින්දා. ඉදෙන කාලෙට එතැන පහුකරලා යද්දි වැල වරකා පුසුඹේ බැරුවා. කොස් පැහෙනකන්ම ඉවසලා ඉන්න පුරුද්දක් ගමේ ඇත්තන්ට නෑ. මොකද පොළොසෙ හිටම කන්ඩ එපායැ.

අපේ ගම්වල වැඩිමනත් කෑවෙ පැහුණු කොස් මාළුව. සමහර පළාත්වල නම් කොස් තම්බලා කන්න නෙව වැඩිය ආස. හැබැයි සමහරුන්ට කොස් කෑවම බඩවල් පුරවලා දානවා කළගෙඩි වගේ. බඩ පිරිවිලි එන්නෙ නැතිලු කොස් ඇටත් හරිහරියට කෑව නම්. ඉස්සර නම් කියනවා පත කොස් ගෙඩියක් කාලා අඹ මුලක් පෑගුවත් ඇති කියලා ජීර්ණෙ පහසු වෙන්ඩ. කොයිකටත් දිරවගන්න අමාරු ඇත්තො කොස් ඩිංගක් කෑවම පරිස්සම්. නැත්නම් වෙන්නෙ බඩජාරිකමට කොස් කන්නැහේ ලුණු දමාපු මුහුදු බෙල්ලො ගිලලා ඉස්පිරිතාලෙ යන්ඩ වෙච්ච ‘මලේ කොල්ලට’ සිද්ධ වුණු සන්තෑසිය තමයි.

කොස් ගහක් කියන්නෙ ගමක බඩගින්න නිවන්ඩ පහළ වුණු කල්ප වෘක්ෂයක්. ඉස්සර අපේ ගම්වල අදට වඩා ටිකක් විතර අහේනියි. ඉතිං පැහුණු කොස් ගෙඩියක් කඩාගත්තම ඕක ඉරු කීපෙකට කපාලාලා කාටකාටත් බෙදනවා පුළුවන් හැටියට. මහා කොස් පත, පොරොවෙන් නැත්තං අලවංගුවෙන් ගහලා දෙබෑ කළේ. ඊට පස්සෙ අම්මලා නැන්දම්මලා වට්ටියක් ළං කරගෙන මන්නෙන් කප කපා කොස් මදුලු බේරනවා. කිරි රහට අමු කොස් මදුලක් දෙකක් කන්න අපිත් වටවෙලා බලා ඉන්නවා. කිව්වට විශ්වාස කරයිද මන්දා අමු කොස් කන බල්ලෙක් අපිට හිටියා සැන්ඩො කියලා. අපේ ගමේ කොයි බල්ලත් වරකා නම් කෑවා. උන් කාපු අනෙක් පලතුර අලිගැටපේර.

කොස් කන පහසුම ආකාරෙ තැම්බිල්ලනෙ. පහුණු දොහක තණමල්විල කොටවෙහෙරමංකඩ ඉස්කෝලෙ ලොකු සර් සුනිල් මහත්තයා අපි බලන්ඩ මහ රෑක ආපි. කහ දාලා තම්බපු කොස් මුලකුයි පොල් සම්බෝලෙකුයි ඔතාගෙන. එහෙම තමයි ඒ පැත්තෙ කොසුයි, අලයි කෝකත් කන්නෙ පොල් සම්බෝලෙ එක්ක. හැබැයි ඉතිං අපේ කෝංගල නැන්දලා කොස් තම්බලා, පොල් ගාගෙන මිරිස් මාළු හොද්දක් හැදුවා බල හරි හුරුල්ලො හරි දාලා. තංගල්ලෙ මාමා බල කරෝල දාලා පොල් මැල්ලුමක් උයාගත්ත කොස් කන්න. කඳුකරේ අපිට කොයින්ද නෑනො අලුත් මාළු. අපි කොස් තම්බලා කෑවෙ කරෝල කටු හොද්ද එක්ක. කොස් තම්බං කන්ඩ ආස බදුල්ලෙ සංජය අපේ ගෙදර ආවා හරක් මසුත් අරන්. අනේ ඒ මතක පුසුඹයි කොස් මාලුවක් අබ සුදු ලූනු එක්ක තෙල් දානකොට වගේ.

කිරි කොස් මාලුව බොහෝම රස වුණාට පොල් ගහක් පළාතකවත් නැති අපි වැඩිපුරම කොස් කෑවෙ තෙලට. සමහර ගස්වල කොස් හරියට තැම්බෙන්නෙ නෑ. එහෙම වෙලාවට අම්මලා කියනවා මේව්වා ඇටකෑලි වගේ බං කියලා. පදමට තැම්බෙනවා නම් කියන්නෙ හුණු ඩිංග වගේ තැම්බෙනවා කියලා. කොස්ටික හැඳිගෑවෙන්ඩ උයාගන්ඩ ඕන නම් මදුලු එක්කම ඇට තැම්බෙන්න අරිනවා. ඕන නැත්නම් මුලිං ඇට බාගෙට තැම්බෙන්ඩ ඇරලා මදුලු පස්සෙ එක්කහු කරනවා. ගමේ උන්දැලා කා ගැන හරි කේන්ති ගත්තම කිව්වෙ "තොපිලා හැඳි ගෑවිලා පලයල්ලා" කියලා. හැබැයි පහුවදාට ඒ ගෙදරටත් කොස් ඉරුවක් යවනවා. තෙලට ඉව්වත් මිරිසට ඉව්වත් කොස්වලට මිරිස් දාන්නෙ අඩුවෙන්. අන්තිමේ රස පදම ගන්නෙ අබ, සුදු ලූනු, වියළි මිරිස් කරල් එක්ක තෙම්පරාදුවෙන්. කොස් මැල්ලුමත් පංකාදුයි කැකුළු බතට. මැල්ලුමට මදුලුයි, ඇටයි දෙකම හීනියට ලියා ගන්නවා. ඇතිලියකට, දුරුතුනපහ, කහ, කරපිංච, කුරුඳු පොත්තක්, වතුර ඩිංගක් දමාලා ළිප තබාගෙන ලියාපු කොස් දමාලා තැම්බෙද්දි අබ, පොල්, ගම්මිරිස් ඇට ඩිංගක් එක්ක අඹරාගන්න පුළුවන්. මගදි ඒ ඇඹරුම එක්කහු කරලා කූරු ගාලා මඳගින්නෙ පිස ගන්නවා. කැමති නම් ඕක තෙම්පරාදු කරගන්න එකයි ඇත්තෙ. කොස් වැඩිපුර තියෙනව නම් මදුලු තීරු ගහගෙන තම්බලා වේලලා අටුකොස් හදාගෙන පරිස්සම් කරගන්ඩ බැරුවයැ. ඒව්ව රස කැවිල්ලකට කදිමයි. උයනව නම් රහ මැල්ලුම. කොස් ඉරි, කොහිල්ල විතරක් නෙවෙයි සිබිඩ්ඩත් විසි කරන්ඩ එපා. හේතුව ඉස්සරහට කියන්නම්.

කොස් මදුලුවලට ටයිකෝට් අන්දමුද? මේ කාරියට කොස් මදුලු විස්සක් විතර ගන්ඩ ආයිබෝං. ඒව්වයෙ පැත්තෙන් පලලා මදුල නොඉරෙන්ඩ ඇටේ පන්නගන්ඩ ඕන. ඊටපස්සෙ තමුන් කැමති උයාගත්ත පිරවුමක් හීන් සැරේ අස්සට බස්සනවා. දැන් මේක හුමාලෙන් තම්බගත්තම නේපාලෙදි කාපු මොමෝ වගේ. වැඩි ලකයක් ඕන නම් බැටර් එකට දාලා, බිස්කට් කුඩු ගාලා හරි නැතුං හරි ගැඹුරු තෙලේ බැදගන්නවා.

[ලසන්ත ද සිල්වා]

මාතෘකා