ඇල් හේනේ ඇල් වී ඇල වී නැත

 ඡායාරූපය:

ඇල් හේනේ ඇල් වී ඇල වී නැත

මේ සමයේ දිගාමඩුලු හේන් ගොවියෝ කාර්යබහුල වෙති. ජුනි 21 වැනිදා සිට සුර්යා සමකයට මුදුන් වන සැප්තැම්බර් 23 වන දාත් අතර කාලය ලංකාවට වියළි දේශගුණයක් පවතින අවධියකි. ඒ හේන කපා පුලුස්සන අවධියයි. පොසොන් හෝ ඇහැළ මහේ කපන හේන, පොසොන් මහේ අමුදරණ පෑවුමට පෙර ගිනි තැබිය යුතු යැයි පැරණියෝ කීහ. ඔවුන් එසේ කියන්නේ බිනර මහේ ආගන්තුක වැසි එන නිසාය. මේ නිසා බොහෝ ගොවීහු නිකිණි මහේදී හේන් ගිනි තබති. දැන් ඉඩෝරය හමාර වී අක්වැසි වැටෙන්නට පටන් ගෙන ඇත.

ඇල් වී වගාව සඳහා කොටන හේන ඇල් හේන නම් වේ. ඇල් හේන සඳහා වල් කොටන ලද්දේ ඇහැළ මහේදීය. ඉරිඟු, කුරහන්, අමු, මෙනේරි වැනි ධාන්‍ය වගාව සඳහාත්, ඇල් වී වගාව සඳහාත් දිගාමඩුල්ලේ හේන් ගොවියා යොදා ගත්තේ එකම දින වකවානුවකි. එකල දිගාමඩුලු ගැමියෝ ඇල් වී වපුරන ලද්දේ වප් මහ කළුවරටය. මාසේ මෝසම ලැබුවා සේ සැලකෙන්නේ වප් මහ අමාවකින් පසුවය. ඇල් වී වපුරන ලද්දේ ඉතා තුනීයටය. ‘වියතකට එක් ඇටයක් වැටුණොත් ප්‍රමාණවත්ය’ යන්න පැරැන්නන්ගේ මතයකි. කුරක්කන් පඳුරක් සේ මොටියන් දමා පඳුර හැදෙයි. එක් වී ඇටයකින් කරල් හත අටක් ලබා දීමට ඇල් වී සමත්ය.

මාස දෙකක් වයසැති හැටදා ඇල්, මාස පහක් වයසැති සුදු මඩ ඇල් හා රත්මඩ ඇල්, මාස හයක් වයසැති මඩ ඇල් හා කුඩා රත් ඇල් එදා වගා කළ ඇල් වී වර්ග අතර වේ. ප්‍රකට ජනශ්‍රැති වේදියකු වූ පීටර් විජේසිංහයෝ ඇල් වී වගාව පිළිබඳව 1962 අප්‍රේල් ශ්‍රී ලංකා සඟරාවේ මෙලෙස අදහස් දක්වයි.

“මේ වූ කලී ආයාසකර වැවිල්ලකි. බොහොම පිරිසිදුවෙන් කළ යුත්තකි. ඇල් හාලේ බත සමාන්‍ය හාලේ බතට වඩා රසවත්ය. සුවඳවත්ය, ගුණවත්ය, ගුණවීර්යවන්තය. ගෝනබරු මෙරට ප්‍රකට වූ ඇල් වී වර්ගයකි. ගෝනකුගේ අංකුර මෙන් මේ වීවල කිනිති විහිදී ඇත. බරු යන වචනයේ බර බවක් හඟවයි. නමට සරිලන පරිදි ගෝනබරු කරල් පැසී රන්වන් පැහැය ගෙන පාත් වෙයි. ඉදුණු පුවක් කොළ පැහැය ගත් පැසී නැමුණ ගෝනබරු හේනක දර්ශනය නෙතට රසඳුනක් වැනිය.”

ඇල් හේනවල කටයුතු ඉතා පරිස්සමින් චාරිත්‍රානුකූලව සිදු කෙරී ඇත. බොහෝ විට නැකැත් භාවිත කර ඇත. පෝය රික්තා දෙක මඟහැර ගජ, සූකර, ගව හා කුකුළු කරන අත්හැර වැඩ ආරම්භ කිරීමේ චාරිත්‍රයක් පැවත ඇත. ඇල් හේන්වලට කාන්තාවන්ට ඇතුළු වීම තහනම් විය. ඇල් හේන්වල කොහොඹ යකුන් පිදීම, කොළමඩින විට ‘කළවිටි පිරිත’ කීම එකල සිදු වූ බව ප්‍රකටය.

කෙසේ වුවද මෙකල ඇල් හේන නැත. ලෝකයේ සමස්ත වී ප්‍රභේදවලින් සියයට විසි හතරක් පමණ වූ මෙරට දේශීය වී ප්‍රභේද හොර රහසේ පිටමං වී ඒවායේ ඇතැම් ප්‍රවේණික ලක්ෂණද යොදා ගනිමින් නිපදවන ලද නව දෙමුහුම් වී ප්‍රභේද හමුවේ මෙරට ගොවීහූ ඇස් නීලංකාර කරගෙන ඇත. ඒ නව වී ප්‍රභේද අනිවාර්යය ලෙසම කෘෂි රසායන මත යැපේ. කෘෂි රසායන අහිමි වන විට වී වගාවද අත් හැරීමට සිදු වුවහොත් එය අරුමයක් නොවේ. වැස්ස නොමැති වීම නිසා වී ගොවිතැනින් ඈත්වීමට සිදු වීමට වඩා වැඩි අවධානමක් ඇත්තේ බීජ හා කෘෂි රසායන වෙනුවෙන් බහු ජාතික සමාගම් මත පරාධීන වීමට සිදු වීමය.

අඩු ජල පරිභෝජනයක් කරන බෝග වගාවන්ට හුරු වීමට ගොවියා මෙහෙයවිය යුතුව ඇත. එකල වැසි අඩු සමයට කුරහන් කපා ගත් පසු ගොවීහු ඉපනැලි කොටා පුලුස්සා තල වපුරති. තලවලට අඩු වර්ෂාව ප්‍රමාණවත්ය. මේ නිසා තල අස්වැන්න නෙළා ගැනීම පිළිබඳව බියක් නොතිබිණි. අතීත ගැමියා පොල් තෙල් වෙනුවට භාවිතා කර තිබුණේද තල තෙල්ය. ඉපනැලි කෙටීම කරන්නේ තල ඉසීමටය. ඉපනැලි කෙටීම සේම ඉපනැලි තැලීමද එසමයෙහි සිදුවී ඇත. ඉපනැලි තැලීම යනු හේනේ ඉපනැල්ල මත ස්ත්‍රියක හා පුරුෂයකු අතර ඇති වන අනියම් ලිංගික සම්බන්ඳතාවකි.

වැසි ඉල්ලා දෙවියන්ට කන්නලව් කිරීම, කොහොඹ යකුන් පිදීම, ගජ, සූකර ආදීන්ගෙන් ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් දේශීය වශයෙන් පැවති කෘෂි දැනුම සේම ක්‍රමවේදයන්ද උපයෝගී කර ගනිමින් නව නිෂ්පාදන රටාවක් උදෙසා දේශපාලනික තොවිලයක් අවැසිව ඇත. එමෙන්ම ජාන විද්‍යාත්මක දැනුම උපයෝගී කරගෙන මෙරට දේශීය බෝගවල හිතකර ලක්ෂණ වැඩි දියුණු කරගත හැකි නව විද්‍යාත්මක පරීක්ෂණ සඳහා යොමුවිය යුතුව ඇත. ඒ වෙනුවෙන් ප්‍රමාද වන මොහොතක් පාසා වකුගඩු අකර්මණ්‍ය කරන ආසනික් වැනි බැරලෝහද, පිලිකාකාරක ඔක්සිකාරකද ශරීරයට එකතු වන ප්‍රමාණය තව තවත් තීව්‍ර වනු ඇත. අහස දෙස බලා වැසි ඉල්ලා හූල්ලන මිනිසුන්ට අමතරව නුදුරු අනාගතයේදීම සමාගම් ළඟ දනින් වැටී බිත්තර බීජ ඉල්ලන ගොවි රජවරුන් දැකිය හැකි වනු ඇත.

මාතෘකා