තරගයට පෙරදින සුන්දර තරුණියක් හා රාත්‍රියක්

 ඡායාරූපය:

තරගයට පෙරදින සුන්දර තරුණියක් හා රාත්‍රියක්

ක්‍රිකට් බුකීකරුවන්ගේ සෙල්ලම් - අවසන් කොටස

කැනඩාවේ හිටපු කඩුලු රකින ක්‍රීඩක හම්ෂා ටරීක් කළ හෙළිදරව්ව

අපි නැවත හෝටලය වෙත පැමිනුණේ පැය එකහමාරකට පමණ පසුවය. මට පළමු ටැක්සිය මගහැරුණේ බුලත් විටක් මිලට ගැනීමට තිබූ හෙයිනි. ඒ අනුව රාගවන් හා මගේ කණ්ඩායමේ අනෙක් මිතුරන් දෙදෙනා පළමු ටැක්සියේ නැගී පැමිණි අතර මම බුලත් විටක් හපමින් දෙවැනි ටැක්සියේ පැමිණියෙමි. මාමලා තිදෙනාද මා හා එම කුලී රථයේ පැමිණිමෙන් සිටිහය. ඒ එන අතරවාරයේ හෙට පැවැත්වෙන තරගයේ ක්‍රීඩා කරන ක්‍රීඩකයන් කවුරුන් දැයි ඔවුහු වක්‍රකාරයෙන් විමසූහ. එහෙත් එහි කිසිම සෘජුබවක් නොතිබූ හෙයින් සැක සිතීමට කාරණයක් ද නොවිණි. ඊට පිළිතුරු වශයෙන් මම කිසිවක් නොදන්නා බව කීවෙමි. ඒ අතර වාරයේ අප හෝටල් පරිශ්‍රය වෙත ළඟාවුනෙමු. 'අපි ඔබව බලාගන්න අවශ්‍යයි. ඔබ තවම පොඩි කොල්ලෙක්’ ඒ අතර වාරයේ එක් මාමා කෙනෙක් කීවේය. මම බුලත් විට රස විඳිමින් සිටි නිසා ඔහු කීවේ කුමක්දැයි එතරම් ගැඹුරින් කල්පනා කළේ නැත. 'අපි ඔබට කතාකරන්නම්’ එකෙක් කීවේය. හෝටල් පරිශ්‍රයට පැමිණෙන විට දිගු කබායක් හැඳ සිටි මිනිසෙක් මගේ ඡායාරූප කීපයක් ගන්නා අයුරු මම දුටුවෙමි. පුවත්පතකින් හෝ පෞද්ගලික අවශ්‍යතා මත එසේ ඡායාරූප ගන්නට ඇතැයි සිතා මම මගේ කාමරයට ගියෙමි.

පැය භාගයකට පසු යළි මට මාමලාගෙන් දුරකථන ඇමතුමක් ලැබුණේ හෝටලයේ ලොබියට පැමිණෙන ලෙස පවසමිනි. මම ලොබිය වෙත ගියෙමි. මාමලා තිදෙනා හා රූමත් තරුණියක් මා එනතුරු එහි රැඳී සිටියහ. තරුණිය අතිශය රූමත් මෙන්ම මගේ වයසට සමාන වයසක සිටි බව බැලූ බැල්මටම හැඟිණි. ඇය අවුරුදු 18-21 ත් අතර වයස් කාණ්ඩයේ එකියකි. 'ඔබ තනියම ඉන්න නිසා අද මේ කෙල්ලව කාමරයට රැගෙන යන්න පුළුවන්. හෙට තරගය ඉවරවෙලා ඊළඟ තරගයට තියෙන දින පහක කාලෙත් මෙයා ඔයත් එක්ක ඉඳීවි’ සුනිල් මාමා කීවේය. යෝජනාව පිළිගැනීමට හෝ නොගැනීමට මට අවස්ථාවක් උදාවී ඇත. සුනිල් මාමා වෙත හැරුණු මම, ‘මට ඒ වගේ දේකට සැහැල්ලු මනසක් නෑ. බොහොම ස්තුතියි. අනික අද රෑ හෝටලයේ ආරක්ෂාවත් තද කරලයි තියෙන්නෙ. අයර්ලන්තය එක්ක තිබෙන තරගයට සහභාගිවෙන්න ඉන්දියාව අද හෝටලයට එනවා’ යැයි කීවෙමි.

ඔහු තරුණිය වෙනත් හෝටලයකට රැගෙන යන ලෙස මට යෝජනා කළේය. හෝටලයේ මා සිටිනා තට්ටුවට පිටුපසින් පඩිපෙළක් ඇති බව ඔහු දැන සිටියේය. එහෙත් මම යළිත් එපා යැයි කීවෙමි. යෝජනාවට ස්තුති බව‍ද මේ මොහොතේ එවැනි ක්‍රියාවකට හිත වෙනස් කරගත නොහැකි බවද මම යළිත් කීවෙමි. මගේ තීරණය සම්බන්ධයෙන් ඔවුන් කිසිදු උරණ භාවයක් පෙන්වූයේ නැත. ‘කෙල්ලක් ඕනෑ වුණොත් මම කතා කරන්නම් ’

‘හොඳයි. ප්‍රශ්නයක් නෑ’ ඔවුහු පැවසූහ.

පසුවදා උදයේ තරගයට යෑමට පෙර අයි.සී.සී. දූෂණ මර්දන ඒකකයේ නිලධාරිෙයක් අප හමුවීමට පැමිණියේය. ඔහු කීවේ කිසියම් කරුණක් ගැන ප්‍රකාශ කිරීමට ඇත්නම් තරගයට පෙර ප්‍රකාශ කිරීම වඩා යෝග්‍ය බවයි. සෙසු ක්‍රීඩකයන් තමන්ට ක්‍රීඩා භාණ්ඩ ලබාදීමට උත්සාහ ගැනීම් පිළිබඳ ප්‍රකාශ කළහ. වෙනත් යමක් කියන්නට ඇත්දැයි එම නිලධාරියා අපෙන් විමසීය. අපි නැතැයි කීවෙමි. පිටියට පිවිස පූර්ව ව්‍යායාමයන්හි නිරත වන අතර මට මාමාලා තිදෙනා පිළිබඳ ඇති වූ සැකය දැඩිවන්නට විය. අපේ සහකාර කළමනාකරුවා වූ ජොනී බුජාන්ට කතාකොට දූෂණ මර්දන ඒකකයට කතාකළ යුතු බව පැවසීමි. ඔහු එදින උදයේ අප මුණ ගැසුණු නිලධාරියාම විය. ‘ඔබ යළි මට කතාකරන බව මම දැනගෙන සිටියා’ ඔහු කීය.

මම රාගව් හමුවීමේ සිට මාමලා තිදෙනාගේ කතාව සම්පූර්ණයෙන්ම කීවෙමි. ඔවුන් ඉන්නේ කොහේදැයි ඔහු එවිට මගෙන් විමසීය. ආසන්න හෝටලයක නැවතී සිටින බව මම කීවෙමි. එහෙත් ඔවුන් සිටින්නේ අප නැවතී සිටින හෝටලයේම බව නිලධාරියා ප්‍රකාශ කළේ මා මවිතයට පත් කරවමිනි. යළි එම මාමලාට දුරකථන ඇමැතුමක් ගන්නා ලෙස ඔහු මට යෝජනා කළේය. එහෙත් මම එයට මැදිවීමට අකමැති වීමි. කෙසේ නමුත් ඔවුන් කෙසේ හෝ සම්බන්ධ කරගන්නා ලෙස දූෂණ මර්දන නිලධාරියා තරයේ යෝජනා කළේය. අවසානයේ කාසියේ වාසිය උරගෑමට මිනිත්තු දහයක් තිබියදී පිටියෙන් පිටතට ගොස් මම සුනිල් මාමා සමඟ සම්බන්ධ වීමි. එහෙත් දුරකථනයට පිළිතුරු දුන්නේ අපගේ මිත්‍ර රාගව්ය. මම සුනිල්ට කතාකළ හැකිදැයි රාගව්ගෙන් විමසූ අතර රාගව් සුනිල්ට දුරකථනය ලබා දුන්නේය. මම තෙවැනි මාමාගේ අංකය ලබාදෙන ලෙස ඉල්ලීමක් කළේ පෙරදින රාත්‍රියේ රැගෙන ආ තරුණිය අද රාත්‍රීයේ හෝටලයට ගෙන්වා ගැනීමට අවශ්‍ය බව පවසමිනි.

‘ඒ නිසාද මට කතා කළේ?’ ඔහු විමසීය.

මම ඔව් යැයි කීවෙමි. ‘අද තරගය ගැන මොකුත් දන්නෙ නැද්ද?

‘ඊයෙ මම නිදාගන්න ගියෙ රෑවෙලා. ඉතින් මට වෙලාවට නැගිටින්න බැරිවුණා. ඒ නිසා කණ්ඩායමේ බස් එක මග ඇරුණා. මම මේ ලොබි එකේ ඉන්නෙ ක්‍රීඩාංගණයට යන්න බලාගෙන.

‘ආ. බය වෙන්න එපා. ඔබට කෙල්ලෙක් ඕනෑනම් තරගයෙන් පස්සෙ මට කතාකරන්න’ ඒ සියලු සංවාද දූෂණ මර්දන නිලධාරියා අසා සිටියේය.

ඒ අතර පන්දුවට පහරදෙන ආරම්භක පිතිකරුවන් කවුරුන්දැයි විමසුවේය. ඒ ඔහු මගෙන් සෘජුව ප්‍රශන්යක් ඇසූ පළමු අවස්ථාව විය. මම කනිෂ්ඨ ක්‍රීඩකයකු හෙයින් එවැනි දේ නොදන්නා බව පැවසීමි.

‘අද තරගයේදී කෙන්යාව පරද්දන්න පුළුවන් කණ්ඩායමක් කැනඩාව සතුවෙයි කියලා ඔබ හිතනවාද? මට ඒ වෙනුවෙන් මුදලක් ඔට්ටු අල්ලන්න පුළුවන් වෙයිද?’

‘මම දන්නෙ නෑ. ඒ මුදල ඔබේ. තීරණයත් ඔබේ’ මම පිළිතුරු දුන්නෙමි.

‘හොඳයි. තරගයෙන් පස්සෙ මට කතාකරන්න’ ඔහු ඇමතුම විසන්ධි කළේය.

එම තරගයෙන් අපි කෙන්යාව කඩුලු පහකින් පරාජය කරමින් තරගාවලියේ පළමු ජය ලැබීමු. ඉන් අනතුරුව හෝටලයට පැමිණ මම යළි සුනිල්ට දුරකථන ඇමතුමක් ගත්තෙමි. ‘මේ මම කතාකරන්නෙ. අර කෙල්ල ගැන’

‘ඔබ හෝටලයට ආවද? ’

මම ඔව් යැයි කීවිට ඔහු පැවසූයේ ඉක්මනින් අමතන්නම් කියාය. අපි යළි ඔහුට දුරකථන ඇමැතුමක් ගතිමු. ‘මම ඉන්නෙ දේවාලයෙ. මම ඔබට කතාකරන්නම්’ යැයි කියා යළි ඔහු දුරකථනය විසන්ධි කළේය. එහෙත් නැවත කිසිදිනක ඔහු මට ඇමතුවේ නැත. මෙම සිදුවීමෙන් පසු මට වැටහුණේ කණ්ඩායමක ප්‍රධාන ක්‍රීඩකයන් හා ප්‍රබල කණ්ඩායම් වලටත් මෙවැනි හිතමිතුරු රාගව්ලා හා ඔහුගේ හිත හොඳ මාමලා පැමිණෙනු ඇති බවය. මට තවත් එක්දෙයක් කීමට තිබේ. ඒ මේ බුකීකරුවන් හෝ ඔට්ටු අල්ලන්ගේ ඉලක්කය ප්‍රබල කණ්ඩායම් පමණක් නොවන බවය. ඔවුහු රූපවාහිනිය ඔස්සේ විකාශය කරන ඕනෑම තරගයක් සම්බන්ධයෙන් ඔට්ටු තැබීමේ ක්‍රීඩාවේ නිරතව සිටිති. දැන් නම් යම් සංචාරයක් තුළදී මගේ වටා ඇති සියලු දේ ගැන මම ඉතා සැලකිලිමත් වෙමි. කිසියම් ආගන්තුක බවක් දකින්නට ඇත්නම් ඒ පිළිබඳ නිසැකව වාර්තා කරමි. එවැනි අවස්ථාවකට මා පටලවා ගන්නට කිසිවිටකත් මම ඉඩකඩක් නොසලසා දෙමි.

ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය ඇසුරෙනි.

මාතෘකා